Tuesday 12 April 2016

කෙල්ලන්ගේ සිහිවටන එකතු කිරිල්ලේ පිස්සුව




බ්ලොගය අමාරුවෙන් හදාගත්තට මොකෝ දවස් ගාණක් තිස්සෙ මට කුරුටු ගාගන්න නිමිත්තක්වත් හිතේ එකලාසයක්වත් නෑ. මං ඉතිං ලියන්නෙක් නෙවේ වෙච්චිකොට මට යමක් කුරුටුගාගන්නනම් ඇතුළාන්තයෙන් එන රිදීමක් ඕනෙ. කියවන ඔබ එකඟ නොවෙන්නත් පුලුවන්. ඒත් සමහර වෙලාවට මගෙ හිතේ අහුමුලුවල ඉසියුම් වේදනාවක් ගේන කෙනිත්තිල්ලක් එනව, හරියට නියපොත්තක් අගින් කවුරුහරි කොණහනව, හූරනව වගේ හැඟීමක්. ඒ රිදිල්ල සමනය වෙනකල් මට ආවේසෙකින් වගේ ලියන්න හිතෙනව. මං අමාරුවෙන් කුරුටු ගාගන්න හැඟීම් එළියට එන්නෙ එහෙමයි. දවස් ගාණක් බලන් ඉඳලත් එයාකාර ආවේගයක් හිතට නාපු එකේ මට හිතුණ රෝස පාට හීනෙක පාට උලන්න. ( මං හීන වලට පාට ගාපු හැටි, ඒම නැත්තං මගෙ හීන කැටගරිය බලන්න මෙතනිං යන්නකො)

බෝඩිමේ බිත්තිත් දාඩිය හලාගෙන, මං වටකරං මට ඔරවනව. මට පාළුයි...නිරායසයෙංම මගෙ හිතට ගොඩ වෙන්නෙ "එයා". කෙල්ලෙක්ට ෂෝයි කියල මං විහිළු කරන ඒ දිග ඇස් මට පිටිපස්සෙං එබිකං කරනව. (ඒ ආදරේ කෝලං බලන්න මෙතනින් යන්නකො.)

රස්නෙ හුස්ම බෙල්ලෙ පිටිපස්සට වදින පුරුද්දට මං ඇකිලිලා යනව. අපේ දඬුමොණරගෙ පිටේ එයාට පිටිපස්සෙන් වඳුරු මොටෙක් වගේ එල්ලිලා යද්දි අංශුවක්වත් අත නෑර පපුවට ඔබාගන්න ආසවෙන් කොළඹ ඉඳන් කුරුණෑගලට යනකල් මිලියන වාරයක් එයාට නොදැනි ඒ උරහිස ඉඹ ඉඹ පපුවට ෆුල් ටෑන්ක් පුරවගත්තු “ඔයාගෙ සුවඳ” මගෙ වටේ දැනෙන්න ගන්නව. නොදැනිම මං මගෙ හීන ලෝකෙ.

මේක කියවන්නෙ එක එක වයස් මට්ටං වල අය, නොදැන  නෙමෙයි මං. දැං තට්ට පෑදිල, බඩ ඇවිත්, ආදරේ අඳුනන්නෑ වගේ උන්නට ඒ හැමෝම ජීවිතේ එක කාලෙකදි මටත් වඩා බොළඳ සහ ආදරනීය විදියට ආදරේ විඳපු ඈයො. ඒ මතක පොත් දිග ඇරෙන්නත් එක්ක කියවන්නකො.

අවුරුදු 25ක්ම උණාට මොකද, ආදරේ අවුරුදු දහයක් පරණ වුණාට මොකද... මට තාම තියෙන්නෙ කෝඩුකාර ආදරවන්තියකගෙ හීන, හිච්චි බිච්චි කෙල්ලකගෙ හීන. "ආදරේ අඳුනන්නැති මගෙ ගල් ගෙඩිය" මුලාදෑනිය වගේ වවං ඉන්න රැවුල් කොණේ එල්ලිල ඔන්චිලි පදින්න, ඒ දිග ඇස් අස්සෙ - ඇහිපිල්ලමක් යටට වෙලා නිදාගන්න හිතෙන හීන වල ඉඳං, ගල් ගෙඩියාට රසට උයල කවන්න, පොඩි බබෙක් වගේ ඒ නාකි සීයව හුරතල් කර කර බලාගන්න තරමෙ මහ ගෑණියකගෙ හීන මට තියනව. නොකිව්වට හැම කෙල්ලක්ටම තියෙන හීන මේ...

කෙල්ලොන්ට තියෙනව එක එක විදියෙ පිස්සු. සමහරු මල් වවනව, බලු පැටවු පූස් පැටවු දරුවො වගේ හදාගන්නව. සමහරු ඇඳුම් පැලඳුම් එකතු කරනව. මගෙ මිතුරියක් හිටිය, එයාගෙ ආසාව සෙරෙප්පු එකතු කරන්න. මට විස්වාසයි එයාගෙ සෙරෙප්පු එකතුව අර්ධ ශතකයක් පන්නල ඇති. ආයෙ පිස්සියක් හිටිය, එයාට තිබුණෙ ජපානෙ ගැන පින්තූර, විස්තර එකතු කරන පිස්සුවක්. ඉස්කෝලෙ කාලෙ පිස්සුවෙන් වගේ ජපානෙ ගෑවිල තිබුණු කොළ කෑලි, පින්තූර කෑලි පවා එකතු කළා. හැබැයි කෙල්ල ඒ හීනෙ හැබෑ කරන් ජපානෙ ගිහින් ආව. ආයෙ හිටිය පිස්සියක්, හැරී පෝටර් තමයි ජීවිතේ. හැරී පෝටර් පොත් ටික පිස්සුවෙන් වගේ එකතු කළා. පැන්සල් පෙට්ටිය පුරාම හැරීගෙ ස්ටිකර් අලෝගෙන. ඔන්න ඕමයි කෙල්ලන්ගෙ පිස්සු.

මට ඒ කාලෙ ඉඳන් තිබුණු පිස්සුව තමයි අපේ මනුස්සයගෙ (මෙහෙම කිව්වට මේ අපේ මනුස්සය වෙන්න ඉන්න මනුස්සය හොඳද) පරණ බඩු එකතු කරන එක. හිකිස් ගාල හිනා පැන්නට මොකෝ තාමත් මං ළඟ තියෙනව ඒ ආසාවෙන් එකතු කරගත්තු ගැජමැටික් ටික. වැඩිපුරම මං ළඟ තියෙන්නෙ එයැයිගෙ අතේ තිබිල ගලවගත්තු පරණ වෙච්චි පිරිත්නූල්, කොල්ලො දාන අත් පළඳනා එහෙම. ඉස්සර මං පන්සල් යනව කියල ගියාම මෙයා සැදී පැහැදී ඉන්නව පිරිත් නූලක් ගේනකල්. අම්මට, කේලං කියන නංගිච්චිට හොරා හාමුදුරුවන්ගෙං ඉල්ලගන්න ( ඉල්ලගන්න කීවට එක නූලක් දුන්නම හාමුදුරුවො, ඊළඟ නූලත් අතට දානකල් හෙල්ලෙන්නෑලු) පිරිත් නූලක් කෝමහරි අරං එන විත්තිය දන්නවනෙ. සමහරවිට ඒක යවන්නෙත් එයාගෙ යාළුවෙක් අතේ. (හැංගි හොරා කරපු ආදරේ ගැන සමහර විස්තර මෙතන තියනව.) ආයෙ කවදමහරි මාව දකිනකල් ඒ ඔක්කොම බැඳගෙන අතේ…, අලුත් නූලක් දෙන්නෙ මං අර දුඹුරු වෙච්චි නූල් ටික රාජසන්තක කරගෙන තමයි. ඒ කලෙ තදටම තිබ්බ අතේ වියපු පටි බැඳිල්ලක් කොල්ලන්ගෙ. මං දැනං හිටිය ඒ එක නූලක් වියන හැටි. මං ඉතිං ඒ වියන ඒවත් ගැටගහල කිළුටු වෙද්දි මගෙ සුරක්ෂිතාගාරෙ.

ඉස් ඉස්සරෝම මං එයා දැකපු දවසෙ ඇඳන් හිටපු කබල් ටී ෂර්ට් කටුවත් ඒ කෞතුකාගාරෙ තියෙනව. කටුව කිව්වට ඒව මට රත්තරං වටිනව. මොබයිල් ෆෝන් නැතුව, අහම්බෙකින් කැමරා දැකපු ඒ දවස් වල, අපිට එකතු කරගන්න සෙල්ෆි තිබුන්නෑනෙ. අපේ සිහිවටන වුණේ මේව තමයි. ඉස්සර මෙයා කොතැන දැක්කත් ඔලු ගෙඩියෙ කැප් එක නම් වරදින්නෑ. බලෙන් ගලවගත්තු හඩු කැප් තොප්පියකුත් මං ළඟ තියනෝ..

හොඳම කොටස ඒක නෙවෙයි. මට කොච්චරක් පිස්සුද කියනවනං ඒ කාලෙ,  අහම්බෙං 'එතුමගෙ' උරහිසේ වැටිල තියනව දැකල පැනලා අහුලගෙන ලේන්සුව අස්සෙ හංඟන් ආපු කේශ ධාතු දෙකකුත් මගෙ කෞතුකාගාරෙ තියෙනව. ඒක නැතිවෙයි කියල බයට අනේ මං ඒ කාලෙම ඒක මගෙ පුද්ගල හැඳුනුම්පතේ කෙලවරකිං අලවගත්ත. යාළුවො බඩ අල්ලං හිනාවෙද්දි අනේ මං ඒක සෑයක් හදන්න තරං ආදරෙං පරිස්සම් කළේ. තාමත් ඒක අයිඩෙන්ටිය කොණේ තියෙනව, සැලකිල්ලෙන් බැලුවොත් මිසක් පේන්නැති නිසා උවදුරක් නෑ.

මේක ලියල වගකිවයුතු පුද්ගලයන්ට පාරෙ යන්නත් නෑයි කියල බැණුං කෝටියක් තියෙයිද දන්නෑ. කෙල්ලන්ට පිස්සුනෙ කියල පිරිමි දරුවො කියනව ඇත්තෙත් කෙලි හීන මෙයාකාර හින්ද වෙන්නැති. අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ, හැම කෙල්ලම මං වගේ නට් කේස් එකක් නෙවෙයි... බෝම සීරියස් ගෑණු දරුවොත් ඉන්නව. පිරිමි දරුවො ආදරේ කරන්න පටං ගන්න කලින් චුට්ටක් හොයල බලන්න වෙයි. සීරියස් ගතිගුණ තියන කෙනෙකුට මේ වගේ නට් කේස් එකක් ලැබුණොත් ...? දන්නෑ. නැගල යන්නත් ඉඩ තියනව. මගෙ පෞද්ගලික අදහස නං කෙල්ලක් වුණාම චුට්ටක් මේ වගේ පිත්තු තියෙන්නත් ඕනෙ ඕං. අනේ ඒ වුණාට මහප්‍රාණ නොපිරිච්ච කෙලි ජීවිතේක හීන හරි ලස්සනයි, අහිංසකයි. මේ තරං නාකි වෙලත් ඒ රෝස පාට හීන ලෝකෙට  කෙල්ලො ආදරේ ඒකනෙ.

ප.ලි. : එයා,මෙයා, මනුස්සය කිය කිය ලියන එක හරිම අමාරුයි. හිතුවට හිතුවට රැජිස්ටර් කොරන්න නමක් තාම හිතා ගන්න බැරි වුණානෙ. කමත්වා කස්ටිය. පැටලිල්ලක් නැතුව කියවගන්න පුලුවන්ය කියල හිතෙනව.

13 comments:

  1. හිත ඇතුලේ පරිස්සමට ඔබෙ ආදරෙ හැන්ගුව මම
    ටොෆි කොල චොකලට් කොල වල දින ලියලා තිව්වා මම
    වෙන කෙනෙක්ගෙ වෙලා උබත් ඉවත ඇදී ගියපුවාම
    තනි හිත ලග චොකලට් කොල ඉකිගසනවා රෑ මැදියම

    ReplyDelete
    Replies
    1. මං නොලියපු ටික කොමෙන්ටුවේ තියනව නංගි. මගෙ ළඟත් තියෙනව දින ලියපු බස් ටිකට්, චොකලට් දවටන බ්ලාහ්.. බ්ලාහ්...
      මේ කියන විදියට ඒ හීනෙ අත් ඇරිලනං, ඉවසල ඉන්න. හැමෝටම ආදරේ අයිතිවාසිකං තියෙනව. ආයෙත් හීන අරං වසන්තයක් එයි.

      Delete
  2. හැම කෙල්ලක්ම එක වගේ කියලත්,හැම කොල්ලෙක්ම එක වගේ කියලත් මනින එක වැරදි බවයි මගෙ නම් අදහස.මොකද පුද්ගලයෙක් නිර්මාණය වෙන්නෙ එයා හැදෙන වැඩෙන පරිසරය,ජානමය සාධක වගේ නොඑක් දේවල් එකතු වෙලා නිසා.

    ඒ කොහොම වෙතත් සැමරුම් එකතු කිරීම නම් පිස්සු වැඩක් කියල මං දකින්නෙ නැහැ.ආදරණීය මිනිස්සුන්ට පොඩි පොඩි දේ පවා මතකයන් නිසා.අපේ අම්මයි තාත්තයි තවම මගෙ පළමු කෙස්රොද පවා අරන් තියාගෙන ඉන්නවා.බොහෝ අයගෙ ජීවිතවල එහෙම සැමරුම් ඇති.ඉතින් මතක සැමරුම් ජීවිතේ කොටසක්ය කිවත් වැරදි නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේට මං 100%ක්ම එකඟයි වැසි දැරිය. කවමදාවත් අපි එකවගේ වෙන්නෙ නෑ. මං කියන්න උත්සාහ කළේ හැම ගෑණු ළමයටම තියෙනව මේ වගේ සුන්දර හීන කියන එක. ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  3. හෙහ් හෙහ්. ඔයා ඒ තරම්ම පිස්සු කෝච්චියක් නේද? ඒ ඔයාට දැනෙන විදිහනෙ. ඔයා ආදරය කරන ඔයාගෙ ආදරයත් මේ වගේ පිස්සු කෝච්චියක් වෙන්නැති. නැත්නම් අවුරුදු දහයක්ම?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ කසුන්, ඒක පිස්සු මරාලෙකට සීරියස් කේස් එකක් එකතු වෙලා. නැත්තං මගෙ පිස්සු වල හැටියට පිස්සු ඩබල් වුණොත් අමාරුයි. මෙයා සීරියස්. ඒකනෙ මං කියන්නෙ, "ආදරේ පෙන්නන්න දන්නැති ගල් ගෙඩිය". ස්තූතියි මේ පැත්තෙ ආවට. ආයෙම එන්න.

      Delete
  4. හුරේ.. මං වගේම පිස්සියක් හම්බුනා.....ඒත් ඉතින් සෙල්පි ඇවිත් ඒ සැමරුම් පුරුද්ද අත ඇරැනා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ සයිබරේදි ගහට ගහක් හමුවෙනවාලු කියල.😉😉 සතුටුයි අඳුනගන්න ලැබුනු එක. ආයෙම එන්න මං බලන්න.

      Delete
  5. ආ ඕවා එකතු කරාට මොකෝ.. දැන් කාලේ කෙල්ලෝ විනෝදාංශයට එකතු කරන්නේ "කොල්ලන්වනේ"
    No of boyfriends වැඩි කෙනා තමා දිනුම්..

    එයා මෙයා නැතුව හොඳ නමක් දාමු..
    සම්ප්‍රදායිකව කොල්ලෝ කැමතියි කෙල්ල "මහත්තයා", "බබා", "අයියා", කියනවට..

    ReplyDelete
    Replies
    1. හැම ගෑණු ළමයම ඒම නෑ යසිත්. ඒ වගේම ඒම පිරිමි ළමයිත් ඉන්නව.. ඒක ඉතිං ගෑණු පිරිමිකමේ ප්‍රශ්නයක් නෙවේ, එක එක්කෙනාගෙ පෞරුෂයේ අවුලක්.
      ඒම බෑ ඉතිං.. ලක්සන නමක් හොයාගන්න එපැයි. ඔයා හරි. මටත් දැනිල තියෙනවා ඒව කියද්දි කැමති වගේ..😆😆😆

      Delete
  6. මේ ක්ලිප් එකේ 3.22 ඉඳන් බලන්න. මේ වගේ එකතු කිරීම් ගැන Friends සීරීස් එකේ දෙබසක්

    ReplyDelete
  7. හ්ම්ම් මම ලගත් ඔහොම එකතු කරපු දේවල් ගොඩයි...අවසානය කියන්න කැමති නෑ මම . අපි අපෙන් වෙන් උනේ නෑ.ඔහුගේ ඉරනම ඔහුට නපුරු උනා.නමුත් කියවද්දි මට අතීතය මතක් උනා.මේක කියවල..(දැනට අවුරුදු 8 කට පෙර ) අවසානයට මට ගෙනත් දුන්නු කැඩ්බරි චොක්ලට් එකේ දැවටුමත් මම ලඟ තාමත් .ඔබලාට සුභ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ කොමෙන්ටුව දැක්කෙ මම අද. ස්පෑම් ලිස්ට් එකට වැටිල තිබුණෙ. කණගාටුයි ඇත්තටම, මීටපස්සෙ ජීවිතේ තැවුල් නැති, සතුටින් ගෙවෙන එකක් වේවා කියල පතනව. ස්තූතියි සුබ පැතුමට

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...