සිංහල අලුත් අවුරුද්ද සුටුස් ගාද්දි ඉවරවෙලත් ගිහින්. දවස් තුන හතරක තිබුණු කලබලේ හිමිං හිමින් අඩුවෙලා යනව. අම්මේ තිබිච්ච කලබල. හිතුණෙ මේ ටිකේ ඇවිදලම කකුල් දණහිස් ළඟටම ගෙවිල යයි කියල. අපේ ගමේ කියන්නා වගේ, ඒ තොවිලෙත් ඉවරයි ඉතිං. දැං ඉතිං ආයෙම අර දඩිබිඩි ජීවිතේ පටන් ගන්න වෙනව. හෙට කියන්නෙ සඳුදා, හෙට ඉඳන් ආයෙ හති වැටෙන ජීවිතේ. අම්මප හිරිගඩු පිපෙනව මතක් වෙද්දිත්.
අලුත් අවුරුද්දෙ රූපවාහිනී නාලිකා තරඟෙට අවුරුදු උත්සව තියද්දි තොරතෝංචියක් නැතුව කියවන නිවේදිකාවකගෙ හඬ මට අහම්බෙන් ඇහුණා. ඈ කියනව වක්කඩේ දණ්ඩි පැටවු පොරකන, එරබදු ගමේ ඇවිත් දෙවැට රතු පාටින් පුරවන, කොහෝ හඬ ගම දෙවනත් කරන, පුංචි ඈයො පංච දාන...... මෙයාකාර කාරණා ගොඩක් ගේන අලුත් අවුරුදු ඇවිත් කියල. ඇගේ වචන හරි අපූරුවට ගලං ගියා. (මේ මට මතක මගෙ වචන මිසක් ඇය කියූ කාව්‍යමය බස නෙවෙයි.)
ඒත් නිවී සැනසිල්ලෙ හිතුවම මට හිතුනෙ ඒ කතන්දර ඉස්සර අවුරුදු ගැන මිසක්, දැන් අවුරුද්ද ගැන නෙමෙයි කියල. මං ඉන්නෙ ගමක... ගමක කිව්වට පට්ටම ගමක (බොරළු පාරවල් විතරක් තියෙන, එක ලංගම බස් එකක් දුවන, කතන්දර වල තියන සිරාම සිරා ගමක) නෙමෙයි. ඒ උණාට ගමේ බාගෙකම මායිම කඳු වැටි. අපේ ගෙදර ළඟිං පටන් ගත්තු ගමං කිලෝමීටර දෙකතුනක්ම වැටිච්ච වෙල් යාය ඉවර වෙන්නෙ කිරිසුදු වෙහෙර වහන්සේ නමක් වැඩ ඉන්න පන්සල ළඟින්. ආයෙම පන්සලට එහායිනුත් පටං ගන්නෙ ඒ විදියෙම වෙල් යායක්. ඉතිං ගමක් කියන්න මේ ඇතිනෙ. විස්වාසෙං කියන්නෙ, මෙච්චර ගමේ මං උන්නු දවස් පහ හයේ ඇහුණෙ නෑ කොහෝ නාදයක් අද වෙනකල්. අද හවස හයට විතර එකපාරටම අතරමං වෙච්චි කොහෙක්ද මන්දා, බොහොම ඈතින් ඇහුණ කොහෝ නලාව. ඇහෙද්දිම මගෙ හිතට සතුටක් දැනුණට මොකද, මට හිතුණෙම ඒක ඇඬිල්ලක් මිසක, වසන්තෙට ආවැඩිල්ලක්නං නෙමේ කියල. නිරායසයෙංම මට මතක් උණේ මගෙ පුංචිත්තං කාලෙ, කොහා කෑගහන වාරයක් ගානේ කෑ ගහන්නෙ මං. ටික වෙලාවකිං අහළ පහළ මගෙ රස්තියාදු සනුහරේම කොහාට ඇටෑක්. අන්තිමේ කොහාට මාරාවේස වෙලා 'අනේ කෙල්ලෙ පල' කියන්නා වගේ අන්තිම කොහෝ සද්දෙ මං දිහාට විසිකරල යන්න යනව. කොහාට ඒ වසන්තෙ අමතක ගාණයි, දැං කොහෝ සද්දෙත් මලානිකයි.
එරබදු යායට පීදිච්චි දෙවැටවල් පාළුවෙලා ගිහිල්ල. ඉස්සර රතු පාටට පෙති හැලිච්ච දෙවැට දිගේ, බිම හැලෙන ඇහැළ මල් වල රේණු කලංකෙ, රේණුවෙ නැම්මට අමුණල දිගට දිගේ මාල, තෝඩු එල්ලං කිරි අම්ම පස්සෙං නාන්න වෙලේ ළිඳට ගියපු අතීතෙ හිතට එනව. ඒත් එරබදු අමනාපෙං... පිටගං ගිහිං.
ඉස්සර අවුරුද්ද කියන්නෙ කජු වාරෙ. කජු මල් අස්සෙං රිංග රිංග කජු නාඹර කඩන කිරි අම්මගෙං අනන්ත අප්‍රමාණ බැනුං අහනව මං, එයා කජු කඩන කෙක්කට ලොකුකමට උදව්වට අතගහල. පාලු වත්තෙ කජු ගස්, රතූම රතු කජු පුහුලං අත්වල එල්ලං උන්නෙ ඒ දවස්වල අපි වෙනුවෙංමයි. වටේ පිටේ කෙලි සනුහරේම ඇදගෙන මං කජු ගස්වල. ගවුං කෑලි පුරාම කජු කහට, ඇඟ පුරාම ඉවසන්න බෑ, ගස් ගඳ. ඒ කාලෙ අවුරුද්දට කජු නාඹර ව්‍යංජනේ තුං හතර පාරක්ම කාල. දැං.... කජු ගස්වල මලුත් නැති තරං. කජු පුහුලමක් කහට පෙරාගෙන කන්න,කජු නාඹර මාලුවක් රහ කර කර කන්න ලැබුණෙම නෑ මේ වතාවෙ.
තිත්ත පැටව් නටන්නෙ කෝමද වක්කඩේ..., නොමිලේ දෙන පොහොර ඕවර් ඩෝස් ගහල, කෘෂි රසායන කුඹුරට ඉහල නෙවේ- නාවල. හිස් බෝතලෙත් වක්කඩේ පාවෙනව. ඉස්සර අප්‍රේල් වැහි ඇල්ලෙ අපි අම්මට හොරෙං වක්කඩට පනිනව. මහ වැස්සට හෝ ගාල ගලන දිය පාර මඩ පාට වෙන්නෙ, වක්කඩවල් කඩාගෙන එන්න තියෙන විසේට. අම්මට අහු උනාම තමයි වැඩේ. කෝටුවකුත් අරං එන්නෙ වක්කඩ ළඟට.ගෙදරට යනකල් ගැහි ගැහී, කෝටු පාර වදිනවට බයයි, මඩකරියො වගේ මඩ වතුරෙ ජබිගහල හීතල.
ඔක්කොටෝමත් එහා... කරදඬු උස් මහත් වුණාට පස්සෙ අවුරුද්දත් කොට වෙලා. පුංචි කාලෙ අවුරුදු චාරිත්‍ර මහ ගොඩක් වගේ දැනුණ, සත්තයි.. අවුරුදු හරි දිගයි. දැං අවුරුදු උදාවයි, ගිනි මොලවන්නයි, ගණුදෙනු කරල ආහාර අනුභවයයි විතරයි. පුංචිත්තා කාලෙ මං හරි දිගට දැනුනනෙ. ඒ කාලෙ වගේ අවුරුද්දෙ විසිතුරකුත් නෑ මට. අවුරුද්දකට මාසෙකට විතර කලිං අම්ම, නංගි එක්ක ටවුමට ගිහිං කදමලු පිරෙන්න අලුත් ඇඳුම් අරං, "කඩේ බත්" කාල ආපු ලස්සන අවුරුද්ද, වැඩ අල්ලන වෙලාවට මාර සීරියස් වෙලා පොතක් කියවපු අවුරුද්ද, කැවිලි පිඟානක් අරං අම්මගෙ සායෙ කොණක එල්ලිල ගම වටේ ගියපු, වැඩිමල් කවුරුහරි කමක්නෑ වැඳල පොතක් සබන් කෑල්ලක් ඉල්ලගෙන ඒකට සතුටිං පිම්බුණු අවුරුද්ද හොරු අරං ගිහිං. ආයෙ ඉතිං පොඩි කෙල්ලක් වෙන්නත් බැරිකොට, ඒව මතක විතරක් වෙලා තියේවි.
මේ අවනඩු අස්සෙ ඒ ලස්සන "අලුත්ම අලුත්" අවුරුද්ද කොහෙන් හොයන්නද... මට හිතෙන්නෙ මේක දැං වාණිජ අරමුණු නිසාම කැලැන්ඩරේ එල්ලං ඉන්නව මිසක, මිනිස්සුන්ට උවමනා නෑ අලුත් වෙන්න. ලබන අවුරුද්දෙත් මේ වගේ අවුරුදු ඒවි. කොහා වසන්තෙට කලින් ඇවිත් බෙරිහං දෙන්නැතිවෙයි... එරබදු ගහට නින්ද යාවි...කජුගස් අපිව අමතක කරාවි...ඒත් කැලැන්ඩරේට වරදින්නැති එක විස්වාස නිසා ලබන අවුරුද්දෙත් "අලුත් නැති අලුත් අවුරුද්දක්" ඒවි.
නැති බැරි වෙලාවෙ පිහිට වෙලා මේක කරගන්න උදව් වුණේ ජංගමයා... අඩුපාඩු එමට. සමා වෙන්ට ඕනෙ.
ReplyDeleteමේ අවුරුද්දෙ කොහා ඉස්ටැයික්.. එකෙක් දෙන්නෙක් හීනෙන් ඇහැරිලා වගේ බයෙන් බයෙන් කොහෝ කිව්ව නම් තමයි.මිනිස්සුන්ගෙ ඇස් වල හිස් බවක් පිරිල තිබුනෙ.හැබැයි වියදම් කරන්න පුළුවන් විදිහට ඇඳුමක් කැඩුමක් නම් අරන් තිබුනා.ටීවී අවුරුද්ද වත් ලකේකට තිබුනෙ නැද්ද මන්දා...
ReplyDeleteමහ රෑ නැකැත් තිබුන එකත් සමහරවිට හේතුවක් වෙන්න ඇති.
ජයවේවා..!!
මටත් එහෙම හිතුණා ගස්. ඒත් මට ඇහුණා හුඟදෙනෙක් කියනව මෙදාපාර නැකැත් තිබුණු විදිය හොඳයි කියල. ලබන සැරේ අවුරුද්දවත් අලුත් අවුරුද්දක් වේවිද බලමුකො...බලාපොරොත්තු තියාගමු.
Deletedan issara wage awurudu rahata denenne ne.
ReplyDeleteඇත්ත ළමයො.. අලුත් අවුරුදු පරණ වෙලා ගිහින්...
Deleteමේ ගැන මගේ අදහස නම් වෙනස්. අවුරුද්ද තියෙන්නේ කජු ගහේ, කොහාගේ හෝ කැවිලි පෙවිලි වල නොවේ. ඒක තියෙන්නේ අපේ හිතේ. අපේ හිතේ සතුටක් ඇතිවුණාම ඒ සමඟම අපිට පිටින් පේන දේට අපි ඒ සතුටෙ ක්‍රෙඩිට් එක දෙනව. ඊට පස්සෙ ඒ පිටින් පෙනෙන දේ දැක්කම එම සතුටම ඇතිවෙන්නෙ ඕන කියල අපි උපකල්පනය කරනව. එක්තරා වයසකදි අපේ හිත සතුටු වෙන්නේ වෙනස් කාරණා නිසා. එවිට කලින් ඇහුණ සද්ද සහ දැකපු දේවල් සිදුවුණාම අර කලින් 'පුරුදු' සතුට එන්නෙ නැහැ කියල හිතනව.
ReplyDeleteපොඩි කාලෙදි අවුරුදු කාලේ ඉස්කොලේ නිවාඩු. සමහර අය ගමේ ගිහිල්ල. වගකීම් නැහැ. හැම ප්‍රශ්ණයක්ම දෙමව්පියන් බලාගන්නව. කැවුම් කොකිස් කන්න හම්බුවෙන්නේ ඒ කාලෙට විතරයි. වැඩිමල් ආච්චි අම්මල, මාමල නැන්දල අපිව හුරතල් කරනව. වෙනද තියෙන නීති ටික නැහැ. අවුරුදු 15-20 කට පස්සෙ අවුරුදු කන්න වියදම අපෙන්, ළමයින්ගෙ ප්‍රශ්ණ, දියකඩිත්ත ගාව වැටිල අපේ ළමයි තුවාල කරගනියි කියම ලත වෙන්නෙ අපි. කැවුම් ඕනම දවසක කඩේ තියෙනවා. මේ දෙක සංසන්ධනය කරන්න කොහොමත්ම බැහැ.
//අවුරුද්ද තියෙන්නේ කජු ගහේ, කොහාගේ හෝ කැවිලි පෙවිලි වල නොවේ. ඒක තියෙන්නේ අපේ හිතේ.// මේකට මං එකඟයි ඉයන්.
Deleteඉතිං මං උත්සහ කළේ මගෙ පුංචි කාලෙ අවුරුද්ද දැං එක්ක සසඳන්න තමා.ඒ ලොකු වෙනසට මං හේතු කියල දකින කාරණා මං ලිව්ව.
//වගකීම් නැහැ. හැම ප්‍රශ්ණයක්ම දෙමව්පියන් බලාගන්නව. කැවුම් කොකිස් කන්න හම්බුවෙන්නේ ඒ කාලෙට විතරයි. වැඩිමල් ආච්චි අම්මල, මාමල නැන්දල අපිව හුරතල් කරනව. වෙනද තියෙන නීති ටික නැහැ. අවුරුදු 15-20 කට පස්සෙ අවුරුදු කන්න වියදම අපෙන්, ළමයින්ගෙ ප්‍රශ්ණ, දියකඩිත්ත ගාව වැටිල අපේ ළමයි තුවාල කරගනියි කියම ලත වෙන්නෙ අපි. කැවුම් ඕනම දවසක කඩේ තියෙනවා. // මේ කියන දේවල් නිසා තමයි මගෙ ළමා කාලෙ ලස්සන අවුරුද්ද දැං වෙනස්, මට අලුත් විදියට දැනෙන්නෑ කියල මං කියන්න උත්සහ කළේ..
ඔබ හරි. ජීවිතේ ඒක එක කාලෙට සිද්දවෙන වෙනස්කම් අපි පිලිගන්න ලෑස්ති නෑනෙ, ඒකයි මේ තරං බලාපොරොත්තු කඩවීම්.
මං ලියන්නෙක් නෙවේ...අඩුපාඩු ඇති. මෙහෙම පෙන්නල දෙන එකට ස්තූතියි ඉයන්.
රවී ගේ පෝස්ට් එකේ ඉයන් දාපු ලින්ක් එක හරහා මේ පැත්තට ආවේ. හොඳ උත්සහයක්.. දිගටම ලියන්න. ජය ශ්‍රී!
ReplyDeleteස්තූතියි කල්‍යාණ මිත්‍ර මේ පැත්තට ආවට. ස්තූතියි ඉයන්ටත්. දිගටම එන්න.. අඩුපාඩු කියන්න. මං හොඳටෝම අලුත් මේ පැත්තට.
Deleteපුලුවනිනම් ඔබේත් රවීගේත් ලින්කු සටහන් කරන්න. හොයාගෙන ගොඩවෙන්නවත් අමාරුයි තවම මට. දණගාන බිළින්ඳි නොවැ.
Deletewww.kalahitha.blogspot.com
Deletewww.ranrandil.blogspot.com
ජය වේවා. අපිට තිබුන අවුරුදු දැන් ඉන්න අයට නැ. ඔයාට සුබ පතනවා හොද ගමනකට.
ReplyDeleteස්තූතියි සලිත... අඩියෙං අඩිය හොයාගෙන කළුවරේ අතපත ගගා යන ගමනක් මේ... ඔබේ කොමෙන්ටුවත් මට හයියක්. දිගටම එන්න...
Deleteඉස්සර වගේ දැන් අවුරුදු රහක් නෑ තමයි. වයසත් එක්ක වගකීම් වැඩි වෙනවා, ලෝකය දිනෙන් දින වෙනස් වෙනවා..සුබ අලුත් අවුරුද්දක් වේවා කියා පතනවා..
ReplyDeleteමටත් හිතුණෙ ඒ ලස්සන නැතිවුණේ වැඩිහිටි විය එක්ක තමයි. එසේම වේවා ලලිත්. නිතර ඇවිත් යන්න එන්න...
Deleteඅසූව දශකයේ අග සහ ඒ දශකය පුරාවට ඉපදුණ අපිට තියෙනනෙ අමුත් නොස්ටැල්ජියාවක්. ඇතතටම හිතල බැලුවොත් හුගක් දේවල අන්තිම ආතල එක (වචනෙට සමාවෙන්ට ඕන) අන්තිමට ගත්තෙ අපි. දැං කාලෙ බීරංගයක් ගහපු. උණ වෙඩිල්ලක් වල කජු පාරක් ගහපු එකෙක් ඉන්නව නං ඒ අපිම තමයි. ඉතිං අපිට අවුරුද්ද අර විදියට දැනෙන එකේ අමුත්තක් නෑ...
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා...
ජයෙන් ජයම වේවා
ඇත්ත මහේෂ්. ඔබ කියන අවුරුද්දනම් මටත් ලැබිල නෑ... මං අනූව දශකෙ. අපේ දරුවො ඉන්න කාලෙට උන්ට මෙහෙමවත් ලස්සනක් ඉතුරු වෙන එකක් නෑ... ස්තූතියි මේ පැත්තට ආවට. ආයෙ එන්න...
Deleteඅද තමයි මෙහාට ඉස්සෙල්ලාම ගොඩ වුනේ මට දැනෙන විදිහට.
ReplyDeleteඑකක් කියන්නද? ඔය තොරතෝංචියක් නැතුව කියවන නිවේදක නිවෙදිකාවන්ගෙන් 99.9% ක් ම ඔය කියන ගමේ අවුරුදු සිරිය දැකලාවත් විඳලාවත් නැහැ. එයාලා කියන්නේ උපකල්පන. එහෙම නැත්නම් එයාට වඩා කලින් හිටිය අය කියපුවා කොපි කරගෙන.
අන්න මහේෂ් රත්නායකගේ කමෙන්ට් එකෙන් අවුරුදු සුවඳ එනවා. ඒ කාලේ අපිට අවුරුද්දට ගෙදරින් ලැබෙන සරම තමයි හරිම වටින්නේ. ඕක ඇඳගෙන ඉන්නවාට වඩා කරන්නේ, ගැලවෙන ගැලවෙන පාරට නැවත ඇඳීම. අනික් එවුන්ගේ සරම කඩලා දිවීම.
ස්තූතියි මෙහෙට ගොඩ වුණාට. ඔබේ කොමෙන්ටුවත් මට වටිනව. ඇත්ත විචාරක. ඒ කාලෙ අම්මගෙන් ලැබෙන අවුරුදු ඇඳුමෙ සතුට, දැන් අපිම අරං එන කොයිතරං ඇඳුම් ගොඩකින්වත් ලැබෙන්නෑ...ඇත්ත ඔබ කියන්නෙ. දැන් කාලෙ නිවේදිකාවක් වීමේ සුදුසුකම එක දිගට කියවාගෙන යන්ට පුලුවන්වීමම වෙන්නත් පුලුවන්. ටීවි අවුරුද්දට වචන වලින් පණ දෙන්ට හදපු බොහොමයක් නිවේදිකාවන්ගෙ කතා අහල අපෙයි පණ ගියෙ.. ඒ තරං අජූතයි.
Deleteමමනම් දන්න කියන කාලයකින් අවුරුදු සමරල නැහැ. මගෙ උපන්දිනේට උනත් අම්මල කථා කරල සුබ පතන්ට කලින් මම කථා කරනව. මොකටද මිනිස්සුන්ට කරදර දෙන්නේ නේ කියල. දැන් නම් මිනිස්සු අවුරුදු සමරන්නේ කරන්ට දෙයක් නැති කමට කියලයි මට තේරෙන්නෙ. හරියට මිනිස්සුන්ට පැටවපු බරක් වගේ. ප.ලි. (මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම...!!!)
ReplyDelete//දැන් නම් මිනිස්සු අවුරුදු සමරන්නේ කරන්ට දෙයක් නැති කමට කියලයි මට තේරෙන්නෙ. හරියට මිනිස්සුන්ට පැටවපු බරක් වගේ//
Deleteමේකනම් මටත් හිතිල තියෙනව. ඒත් ටිලාන් ඒම කියල අතාරින්නත් ලෝබයි. එකතු වෙලා කතාබහ කරන්න,එකට එකතු වෙලා කෑමක් කන්න තියෙන දවසනෙ. ඇත්තම කිව්වොත් වැඩ, කලබල අස්සෙ නිස්කාන්සුවෙ තප්පරයක් දෙකක් ඉන්න, අම්මල එක්ක ගෙදරට වෙලා ඉස්සර වගේ කයියක් ගහ ගහ ඉන්න හම්බුණෙ, මාස දෙකකින් විතර පන්සල පැත්තෙ ගොඩවෙන්න හම්බුණෙ මට නං නොනගතේ වෙලාවෙ තමා.
ඕන් ලේපාට හීන බලන්න ආවා. මේක දැක්කා. කියවන්න පුලුවන් උනේ අද.
ReplyDeleteඔයා කියුවා වගේ කොහා කෑගැහුවේ අවුරුදු පහුවෙලා. අනික මට හිතෙන්නේ දැන් කොහා අවුරුද්දටම කියලා කෑගන්නෙත් නෑ. සමහර ප්‍රෙද්ශවල කොහා ඉන්නවා. මට මතකයි ජනවාරි මාසේ දවසක කොහා කෑගැහුවා. මං ඒ වෙලාවෙත් හිතුවා. පිස්සු හැඳිච්චි කොහෙක් හරි කොහාට කාලෙ මාරු වෙලා හරි වෙන්න ැති කියලා..
ටීවි එකේ දැන් අවුරුදු ඉවරයි.. දැන් වෙසක්. වෙසක් ඉවර උණු දවසේ ඉදලා පොසොන්... ඔයා කියුවා වගේ හැමදේම වාණිජකරණයට නතු වෙලා. කරන්නන්වාරේ හැම දේම කරන්නේ...
බොහොම ආදරෙං හීන ගොල්ලට පිලිගන්නව. ආ එක සතුටක්. ආයෙ එන්න.
Deleteඔයා කියපු කොහා කලින්ම කෑල්ලක් හොයාගන්න ඇවිදින් එහෙනම්. Climate change, Global warming වගේ පරිසර වෙනස්කං එක්ක වැහි රටාව, සත්තුංගෙ කුරුල්ලංගෙ චර්යා රටා වෙනස් වෙලා කියල මං හිතන්නෙ.
ජීවිතෙත් මාර්කටින් වෙච්චිකොට වෙසක් පොසොන් කවර කතාද නිර්මාණි...
ලේ....................
ReplyDeleteමේ පැත්තට ආවේ අදයි. අටමාගේ මැෂිමට ගිය වෙලාවේ තමා දැක්කේ... කොහොම හරි කමක් නැහැ හොයාගත්තානේ.... ටිකක් විතර පරක්කුයි වගේ නේද????????
මුලින් ම මේ බ්ලොග්කෙරුවාවට පැමිණීම ගැන සතුට පළ කරන්න කැමතියි..... දෙවැනුව දිගට ම ලියන්න කියලා ආරාධනා කරන්න කැමතියි......... එහෙනං ලස්සනට හදාගෙන ඉන්න බ්ලොගයට ජයෙන් ම ජයවේවා කියලා නැවත හමුවෙනකල් සුභ පතන්නත් කැමතියි.....
ආ.... අපේ සින්ඩියටත් දා ගත්තා.... ඒක අපිටයි ඒ පැත්තට එන අයටයි පහසුවක් වෙන නිසා.. අනික් සින්ඩි වලටත් යන්න......... බ්ලොග් කියවන්නන්ට පහසුවක් වේවි......
http://kurutugegeepawra1.blogspot.com/
අපෝ මොන පරක්කුවක්ද... මම බ්ලොග් පිටුව හදාගෙන මාසයක්වත් නැතිකොට.... සුබ පැතුම් සේරෝටම බොහොම ස්තූතියි. සින්ඩියෙන් දුන්න අතහිතටත් තුති. ජයවේවා...
Deleteඅවුරුදු ගැන තාම හැමෝගෙම හිතේ තියෙන්නේ ෆැන්ටසියක්, ඉස්සර අවුරුදු සමරපු ය ඒ මතක ඇතුලේ ජීවත් වෙනවා , ඒ මතක නැති මිනිස්සු කාගෙන් හරි අහගත්ත දේවල් ඔස්සේ ගිහින් ෆැන්ටසියක ජීවත් වෙනවා . මට හිතෙන හැටියට නම් කවුරුවත් කවදාවත් අවුරුදු විඳලා නා. හැම දාම හැමෝම මනෝ ලෝකෙක ජීවත් වුනා .
ReplyDeleteඅපි හැමෝම බලන් ගියාම ජීවත් වෙන්නෙ ෆැන්ටසියක තමයි ඉවාන්...අවුරුදු විතරක් නෙමේ,හැමදේම ගැන එහෙමයි.
Delete//මට හිතෙන හැටියට නම් කවුරුවත් කවදාවත් අවුරුදු විඳලා නා// මේ කොටසටනම් මං එකඟ නෑ. අපේ අම්මලට තාත්තලට, පහුගිය දශක වල ඈයොන්ට විරුද්ධ වෙන්න පුලුවන් මේ කතාවට. හැමෝම අවුරුදු විඳල නෑ, ඒත් අවුරුදු එකිනෙකාට සාපේක්ෂ වෙච්චිකොට හිත් පිරෙන අවුරුදු ඇත්තටම විඳපු ඈයො ඕනෙතරං ඇති.
රූපවාහිනියෙ පෙන්වන අවුරුදු දැන් ඇත්තටම කොහෙද තියෙන්නෙ කියලා හිතෙනවා. දැන් තියෙන්නෙ කාලෙකට පස්සෙ නෑදෑයෝ ටික මුණ ගැහෙන, විනෝද වෙන අවුරුද්දක්...
ReplyDelete// දැන් තියෙන්නෙ කාලෙකට පස්සෙ නෑදෑයෝ ටික මුණ ගැහෙන, විනෝද වෙන අවුරුද්දක්//මටනං මේක තමා ඇත්ත සිතූ.
Deleteඉයන් තමයි පාර කිව්වේ දිගටම එන්නම්කෝ ඇවිත් යන්න
ReplyDeleteඑල එල මෙන්ඩා...සාදරයෙං පිළිගන්නව. දිගටම එන්ට ඕනෙ හරිය.
Delete