විටෙක ඔහු සිනාසී
මතක පොත දිගහරින්නේ ය. මං ගැන ඔහු සතු මතක මට විස්මය ගෙනෙයි, මන්ද යත් ඒ අප පෙම් කළ
අවධියට පෙර ඒවා නිසාවෙනි. මගේ අම්මා ඔහුගේ දහම් පාසලේ උගැන්නුවේ ලු. චාරිකාවකදී මං
ඇගෙන් මිදී කොලු කෙල්ලන් රෑනට වැටී (මට මතකයක් නොවේ, ඔහු කියන පරිදිනම් මට වයස අවුරුදු
තුන හතරක් වන්නට ඇත) බසයේ ඔහු ළඟින් දැමූ බංකුවක ඉඳ උන්නේ ලු. අතොරක් නැතුව කියවමින්,
මා දන්නා ගීත සියල්ල ගැයුවැයි ඔහු කියයි. කොහෙන්දෝ සොයාගත් කොල කැබැල්ලක "මං අකුරු
ලියන්න දන්නවැ"යි කියා දන්නා තරමක් අකුරු ලිය ලියා පෙන්නුවේ ලු.වැඩුණු වයසේදී
අම්මා සමඟ හෝ තනිව, පාසල් යන අතර මා දුටු තැන් ඔහු අපූරුවට සිහි කරයි. (බොහොමයක්ම මට
අමතක ය.) සමහර දිනෙක මා හැඳ සිටි ඇඳුම් පවා ගලපා කියන්නට ඔහු දනී. "ඔයා බොරු කියන්නෙ.
ඔච්චර මාව මතක තියෙන්න විදියක් නෑ ඔයාට" කීවද, ඔහු කියන හැඩ රුවට ගැලපෙන ඇඳුම්
මට තිබුණේ යැයි ඔහුට නොකියමි. ඒ මතක පොත ගැන අපමණ රහස් / ගැහැණු ආඩම්බරයක් මට තියේ.
එහෙත් මට ඔහු ගැන මතක අතලොස්සකි.(පෙම්
කරන්නට පෙර..) ඒ ඔහු අහම්බෙන් (ඔහු නම් සැලසුම් කළේ යැයි දනිමි.) හිතට වද දුන් දා සිටය.
ඇත්තම කියන්නට මට වැඩියක්ම මතක ඔහුගේ පෙර තිබුනු සුන්දර හිස කෙස් විලාසිතාව සහ අදත්
එක සේම මට උන්මාදනීය ඒ සිනාව යි. ඔහු අදටත් මට කිය කියා අවුස්සන "එයාට කියන්න
මං කණට ගහන්නෙ කියලා" යි ඔබේ මේඝ දූතයාට කියූ කතාව යි.
මතක ගොන්න අවුස්සා දස වසක ප්‍රේමයේ සොඳුරු
තැන් සිහි කරමි. තනි වූ නිමේෂයන් හි ඒ මතක පිරිමැද, හෙට ඔහු ළඟ හිදින සිහින දකිමි.
තව කල් ගෙවී වයසින් මුහුකුරා යන්නට පළමු මේ බොළඳ ආදරය, බොළඳ කෙල්ලක ලෙස වනපොත් කර තබමි.(වියපත්
වුවද ප්‍රේමය තරුණ මුත් පැසුණු ගැහැණියක ලියන බොළඳ පෙම් කතාවක් ලෝකය නුහුරට දකිනු ඇත.
කිසි තැනෙක, කිසි විටෙක ඔහු මට අවමන් කර
නැත. මගේ සෙනෙහස අවතක්සේරු කර නැත්තේය. මං කරන කියන තකතීරුකම් ළඟ තරවටු කර කෑ ගසනවා
මිසක, පැය දෙක තුනක් කතා නොකර මට දඬුවම් කරනවා මිසක, පිරිසක් වෙතොත් කිසිවෙකුට නොදැනෙන්නට
රවා බලනවා මිසක ඔහු මගේ ආත්මාභිමානය පළුදු කර නැත්තේ ය. මා නොවැදගත් යැයි මට හැඟෙන්නට
හැසිරී නැත. ඔහු මගේ අම්මා මෙනැයි මං ලෝබ නැතිවම කියන්නේ එහෙයිනි. "ගොන් වැඩමයි
කරන්නෙ. මෝඩි.." කියා නිතර දොස් කීවාට මගේ තකතීරුකම්, අකීකරුකම් උහුලාගෙන අදත්
ඔහු මා දරා ඉන්නේ, පෙම් කරන්නේ... ලෝකය කෙසේ මා අර්ථ දැක්වුවද මගේ ඇතුලාන්තයේ සිටින
සැබෑ කෙල්ල, ගැහැණිය හඳුනාගත් එකම ප්‍රාණියා (අම්මාට පසු) ඔහුම පමණක් වන නිසා ය.
නොසඟවා මෙහි ලියමි, ඔහු මගේ විශ්වයයි. ඔහු
මගේ සිනහවයි. ඔහු මගේ අරමුණයි. ඉතින් ඒ හින්දාම මේ දිගු සසර කොතැනක හෝ හමුවෙමැයි සිතා
මට නිහඬව සිටින්නට නොහැක.( තිලිනි ලියනාරච්චි-Unwritten poems, මං නුඹේ සුන්දර පද පෙළ කියවීමි). අයිතිවාසිකම් කියමි.
ඉඳහිට ඒ අයිතිය ඉල්ලා නෝක්කාඩු කියමි, සණ්ඩු සරුවල් කරමි..ඒ ඔහු මගේ හින්දා ය.ඒ සසර
පුරාම මට ඔහු උවමනා හින්දා ය. සසර දිගු හින්දාම, එකදු භවයකවත් මට ඔහු අහිමි කරගන්නට
උවමනා නැති හින්දා ය.
හරිම ලස්සන ලියවිල්ල. ඔබ වාසනාවන්තියක්
ReplyDeleteස්තූතියි ඉයන්... දිගටම මේ පැත්තෙ එන්න. අඩුපාඩු කියන්න. මට වටින්නෙ ඒකයි.
Delete