Friday, 22 April 2016

දේවදූතිය (1 කොටස)


                   ලමැද කිරි බර දරනු නොහී කැක්කුම් දෙද්දී රිදුමින් මුසපත්ව දෙ ඇස විවර කරමි. දුහුවිලි එතුණු පංකාවක්, සුදු තීන්ත පොතු ගැලවුණු ඇඳ විට්ටමත් එක බැල්මට හසු විණ. සෙම්ප්‍රතිශ්‍යාවකටත්  ජීවකයින් නිවසටම කැන්දූ ගෘහපතීන් අප්‍රසිද්ධ දරු ප්‍රසූතියක් වෙනුවෙන් සිටු දියණිය ප්‍රාදේශීය රෝහලකට ගාල් කර තිබුණෝ ය.  අම්මා ගෙනවුත් ඇන්දවූ ඇගේ සුදු බෙඩ් ජැකට්ටුව කිරෙන් පෙඟවී තිබේ. මේ වේදනාව අස්සේ මට අම්මා සිහිවීම අරුමයක් නොවේ. සියල්ලෝම එක් පසෙක හිඳ යුද්ධ කරද්දී මට උන්නේ ඈ විතරමය. දෑස් විවර වූ මොහොතේ පමණක් නොව, සිඟිත්තිය වදා අවසන් වන තුරුම ප්‍රසව වේදනා මැද්දේ මට මැවි මැවී පෙනුනේ ඇගේ රුවයි. මා බිහි කළ දා ඕ මෙතරම්ම වේදනාවක් මා නමින් උහුලන්නට ඇත. ඒ ලේ කැක්කුමට පිටුපානු නොහී ඕ මගේ පලිහ වූවාය. කරදඬු උස්මහත් පුතුගේ හා සැමියාගේ තර්ජන මැදද ඇය මා වෙනුවෙන් උන්නාය. අපමණක් වේදනා මැද මා ප්‍රසව කාමරයට කුදලාගෙන යද්දී අත අල්ලා දහිරිය දෙන්නට උන්නේ ඇයම පමණි. දරු ගැබ විනාශ කර දමන්නට එකඟ නොවූ වරදට සිඟිත්තියගේ ජීව විද්‍යාත්මක පියා නෑවිත් උන්නේය. දෑහේ මූණේ තියා මලක් සේ හැදු දූ පොඩිත්ත කරගත් හිතුවක්කාරකමටත්, වුණු දේ වුණාවේ කියා දරු ගැබ හලා කෙල්ලක ලෙස ගෙදරට එන්නට අකමැති වූ හින්දාත් තාත්තාත් අයියාත් මා අතහැර දැම්මෝය.

                   දෑසට කඳුළක් ගෙවදියි. මේ තරම් කඳුළු අම්මා සිහිවීද, යටි කය පුරා ඔඩු දුවන වේදනාවටද, කිරිබරට ඇදුම් දෙන ලය දරා ඉනු නොහැකි වීද, ජීවිතේ අසීරුම මොහොතේ මා හැර ගිය කළලයේ වර්ණදේහ අඩක හිමිකරුවා- මිතුන් සිහිවීද නැතහොත් එළියට අවුත් නෙක නෙක පාට හැඩතල ඇසින් උරාගන්නට වරම් නොලබාම, තලු මරා ඈටම පිම්බී කිරෙන් ඉතිරී ගිය ම'ලමැද උරා බොන්නටත් ඉඩ නොතියාම මා සිඟිත්තී අවසන් ගමන් ගිය හින්දාද නොදනිමි. ඈට පණ දෙන්නට අබ මිටක් සොයා අම්මාට ගමන් යන්නට ගත සවිය එන්නටත් මතු ඕ මෙලොවින් පිටමංව උන්නාය.බොඳව ගිය කඳුළු ඇස් ඔසවා මුල්ම වරට ඈත මෑත බලමි. වාට්ටුවේ දොරකඩට නෙත් යොමා අම්මා කොහිදැයි සොයමි.

                      දෑස රැවටීද..., විශ්වාසයක් නොවේ. රෝගී ඇඳෙහි යකඩ ඇඳ විට්ටමට හිස තියා, ඇඳේ නුහුරු පැත්තේ ඔහු බලා හිඳියි. හිස අද්දරම අකුණක් පිපිරිණ. ඔහු ඇවිදින් ය.
"මිතුන්..."
කෙඳිරිල්ල මගේය. දෑස් යළි යළි පිසදා බලමි, සිහිනයක් නොවේ, වේදනාබර සිනහවක් වතේ තවරා ඔහු ඇවිත් උන්නේය. විශ්වාස කරන්න.. මගේ වේදනාවන්ගෙන් අඩක්ම සැණින් මැකී යයි, හිතට සවියක් දැනේ, අසරණ හිත තවත් මා ළඟ නොවී.

පසුතැවිල්ලක් තැවරුණු සිනාවකින් ඔහු මහිස අත තියයි.
"රිදෙනවද මැණික..."
දෙවන හෙණ ගෙඩිය පුපුරා ගියේ ය. ' තමුසෙ, ඕයි, සරනි...' මේ ඔහුගේ උපරිම ආදරේ වචන ගොන්නයි. පෙමින් බැඳී ගෙවුණු වසරටම මෙවැනි වදනක් කියුවාම ය.  මගේ හිත පුපුරා ගියේ මේ කරුණාවටය. සියලු කායික වේදනාවන් රැලි වැටුණු සුදු ඇඳ ඇතිරිල්ල උඩ ගොඩ ගසා, යන්තමින් ඇදි ඇදී අවුත් කෙලින් වී ඔහුට වාරු වීමි. මෙතෙක් දස මසක්ම තනිකමට, කාත් කවුරුවත් නැති අසරණකමට යකඩ ගැහැණියක්ව උන්නෙමි, තනිවම කුසේ දරු ගැබ රකින්නට යුද වැදීමි. දැන් හොඳටෝම හති ය. තව දරන්නට සවි ඇති මුත් පෙම් කළ හිත සවියට ඇවිදින්ය. ඒ හිත පාමුල සියුමැලි ගැහැණියක වී, ඉටිපන්දමක් සේ ඇවිලී යන්නට පුලුවන. පරඬලාවක් සේ දැවී අලුවී යන්නට පුලුවන. ඉතින් දැන් එළඹෙන්නේ හදේ වේදනා නිවාගන්නා නිමේෂයයි.

"දූ නැතිවෙලා මිතුන්..."
හද පතුල පිරුණු වේදනා ගිනි කන්දක්ව පුපුරා යයි, මං ඉඩ හලෙමි. දෑස පොඟවමින් ගලන කඳුළු ඔහු ලය තෙමමින් පල්ලම් බසී. වෙනදා මගේ කඳුළක් මායිම් නොකරන ඔහු, හඬා වැලපී අවසන් වන තුරුම මා ලයට තුරුලු කර උන්නේ ය.

මතු සබැඳි....

ප.ලි. : කතා ලිවීමට නොව කතා හැදීමට හැකිකම් ඇත. මේ ලියා ප්‍රසිද්ධියේ අතහැරි පළමු කතාවයි.

36 comments:

  1. ඇත්තටම අගෙයි.... බොරුවට නොවෙයි...
    ආයෙත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි ඇගයුමට. ඉතිරි කොටසුත් කියවන්නකො ඒනම්.

      Delete
  2. දන්නවද මේ වගේම හිත සසල කළ කතාවක පුංචිම කොටසක් මමත් අත් වින්දා ඉඩ ලැබුණු ගමන් කියන්නම්

    ReplyDelete
    Replies
    1. එළ එළ...අරු, මේල් බලන්ටෝ.

      Delete
  3. අම්මා ගැන කියපු ටිකේ දි මට ඊයේ රෑ නාට්‍යක අම්මා ගැන කියපු දෙයක් මතක් උනා..
    “බත් කළා ඉවර උනාම මදිද අහන, බත් ඉතුරු කලාම අයි රස නැද්ද අහන අම්මා.. හැමදේටම ඉන්නේ එයා විතරයි.."

    ReplyDelete
    Replies
    1. අනිවා...අම්මල ඒම තමයි නිර්මාණි.

      Delete
  4. Replies
    1. ඒ කිව්වෙ? කියන්න දෙයක් නැති තරං අජූවයි කියනෙකද?

      Delete
    2. ඒක නෙමෙයි. මටත් ඉන්නව මාස හයක පුතෙක්. ඉතිං දරු උපත සහ ඒ අවට දේවල් මට ගොඩක් සංවේදියි.

      Delete
    3. අනේ... වනේ වන හතුරෙකුටවත් මේම දුක් එන්නෙපා කියල කියමු. පුතුට අපේ ආදරෙත් දෙන්ට...

      Delete
  5. ඇත්තටම පට්ට. ගොඩක් තැන් දෙපාරක් කියවලා තේරුන් ගත්තේ. අගෙයි අගෙයි ඉතුරු කොටසත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. හිටිං යකෝ.. සිංහල ටයිපිං බැරුවා, කන්වර්ටරේකින් ගේම රෝල් කරගන්නෙ. ටයිප් කොරගන්නත් එපැයි හිටං.

      සලිතගෙ බ්ලොග් එකේ ලින්ක් එක එවන්නකො, මට හොයාගන්න බෑ.

      Delete
    2. ඔන්න ලින්ක් එක එව්වා. මහන්සිය බලන් නැතුව කොටහන්. http://apithopi.blogspot.com/2016/04/2.html

      Delete
    3. අම්මච්චියේ, නම දැක්කම සලිත වෙලා ගිය මං. හරි හරි, ඕං 'පන්නං එනවා'.

      Delete
  6. මේ දේ තමයි මට බැරිම දේ.දිග වාක්‍ය වලින් කතාවක් ලියන එක.ඒක කරන්න හදන හැම වෙලේම මම කැලේ පනිනවා.ඔයා ඒ දේ නියමෙට කරලා තියනවා.ඒත් එපාම කරපු දේ තමයි ඉක්මනට ඉවර කරපු එක.කතාවක් හිතට වැදුනට පස්සේ ඒක කියවලා ඉවරවෙනකම් ඉවසිල්ලක් නෑ.ඒ නිසා අනිත් කොටසත් ඉක්මනට දාපියෝ......

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. අවුරුදු සරු වෙලා අතේ පදාසයක් පිච්චිල අෆ්ෆා. මුකුත් කරගන්න බෑ. කොට වුණේ ඒක වෙන්නැති. ඉවසල ඉන්ට පුරුදු වෙන්ටෝන, ඕම බෑ.

      Delete
  7. ලස්සනයි........... ලියන විදිහ ඇතුලේ අමුතු ගතියක් දැනෙනවා..... ඒ ඔබේ ශෛල්‍යයද මොකක් ද වෙන්ටෑ.... අගෙයි

    ReplyDelete
    Replies
    1. අනේ එව්වනං මං දන්නෑ හරිය. නවකතා, කෙටිකතා, සමය, ලක්ෂණ... මුකුත් දන්නෙ නෑ. ඔහෙ ලියනව. ඉගෙනගන්ට කියල ට්‍රයි කොළා. අන්තිමේ නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ, එක්සෑම් ලිව්වෙත් නෑ, තේරුණෙත් නෑ... හා හා හා... ස්තුතියි කුරුට්ටෝ...ඇගයුම වටිනව ගමකට.

      Delete
    2. /////නවකතා, කෙටිකතා, සමය, ලක්ෂණ... මුකුත් දන්නෙ නෑ. ඔහෙ ලියනව. ///////

      ඒකට කමක් නැහැ. දිගටම ලියන්න. අනිත් දේවල් හෙමින් ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඔක්කොම දැණගෙන ලියනකොට කතා නෙමේ ලියවෙන්නේ ලිපි. ඔහේ ලියාගෙන ගිහින් ඉගෙණගත්ත අය තමයි දවසක හොඳ ලේඛකයෝ වෙන්නේ. සුබ පැතුම්!!

      Delete
    3. ඒකත් ඇත්ත තමයි ඇරුණ.. ස්තූතියි. ආයෙත් එන්නකො.

      Delete
  8. ඇත්තමයි. සන්වේදී කතාවක්. මට රූප වගේ මැවිලා පේනවා. ඉදිරි කොටස් ලියන්න. ඒ කතාවට ටිකක් සමීප කවියක් මා ළග තියෙනවා. ඉදිරියෙදී බලාගන්න පුලුවන් වෙයි. මගේ සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... කොටස් කීවට එච්චරම දිගට ලියවෙන එකක්නම් නෑ. පළවෙනි වතාවනෙ. තාම පුරුදු වෙනෝ.

      Delete
  9. ඔක්කොම වෙනකන් බලා ඉඳලා ඇවිත් නේ.. කමක් නෑ.. මේ වෙලාවෙ හරි ආවනෙ..ඊලඟ කොටසත් කියවලාම කොමෙන්ට් එකක් දාන්නම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගස්.. ඒත් අන්තිම මොහොතෙ හරි ආ එක මටනම් ලොකු දෙයක්.

      Delete
  10. පලවෙනි පාර බොග පැත්තෙ ආවෙ...ලස්සනයි බොල...ඉතුරුවත් ඉක්මන්ටම දාහන්......

    මේ උබැහැ කුරුණෑගල නේද.....මාත් කුරුණෑගල....උඩ දුමී අයියත් කුරුණෑගල.....මහේශ් අයිය පොල්ගහවෙල....හැක් හැක්....

    ReplyDelete
    Replies
    1. හෑ... ඔක්කොම කුරුණෑගලද? ඕ..යේස්... අසල්වාසියො ඒනං. හලෝ දුමී..හලෝ මහේෂ් අය්යෙ...ඇතුගල්පුරේට ජයවේවා... ඉත්තූතියි ආවට, එන්ටෝනෙ ආයෙත්.. මට හයියක් ආ එක.

      Delete
  11. Replies
    1. එළ මචාං... ආයෙ එන්ටෝ.

      Delete
  12. හරි ලස්සනට ලියලා තියෙනවා. ආරම්භයට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්... ජය වේවා. ඉතුරු ටිකත් කියවන්නකො.

      Delete
  13. ඉතුරු ටිකත් දාන්නකෝ එහෙනම්.. :)

    ReplyDelete
  14. දුක්බර ආරම්භයක් බලමු ඊළඟට මොනව වේවිද දන්නේ නැහැනෙ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි මේ පැත්තෙ ආවට. දිගටම එන්නකො

      Delete
  15. තව කෑල්ලක් තියෙනවා වගේ දැක්කෝ...... ඒක බලන්ටත් මෙහෙමම යනෝ.....

    ReplyDelete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...