Thursday 13 October 2016

වර්ණ- දිනේෂ් උමගිලියගේ වයිරසයට හසු වුණෙමි. (හින්දි+ Top Ten)

පුංචි විවේකයක් ලැබුණම බ්ලොග් එකට ගොඩවෙලා කියවල දුවනව මිසක් අලුත් යමක් ලියාගන්න ඉස්පාසුවක් තිබ්බෙම නෑ. කටුසු තෙමේ බුකිය හරහා නෝක්කාඩුවකුත් එවල තිබුණ. ස්තූතියි ඒ තල්ලුවටත්.

අහම්බෙන්, වැඩ ටිකක් එහෙ මෙහෙ කරන් බ්ලොග් රෝලට එබුණම වර්ණ බ්ලොග් පිටුවෙ අපූරු වැඩක් ලියවිල තිබුණ. ගිය වතාවෙ ඉයන් තුමාගෙ ගීත වයිරස් එක මඟ ඇරුණු එකට හිතේ අමාරුවකුත් තිබුණු නිසා ඒ වාඩුවත් මේකෙන්ම පිරිමහන්න හිතාගත්ත. මේ වර්ණ දිනේෂ් අයියගෙ තේරීම් ටික.

මට පුංචි වෙනස්කමකුත් කරන්න ඕනෙ හැබැයි. දිනේෂ් අයියා සඳහන් කරල තිබුණෙ හින්දි ගීත විතරයි. මට මගෙ ප්‍රියතම හින්දි ගීත අතරට මං බොහොම ආදරෙන් අහන දමිළ ගීත තුනකුත් එකතු කරගන්න ඕනෙ. හේතුව මං සිනමා පිස්සියක්, වෙනසක් නැතුව ඉංග්‍රීසි, හින්දි, දෙමළ, තෙලිගු, මලයාලම් හැම සිනමා පටයක්ම බලනව. ඒවයින් අහුලගත්තු, මගෙ හිත හොරකම් කරපු ගීත ගොන්නක් මේ.....

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ මං ආදරේ කරන ගීත ගොන්නක්. සමහරවිට ඔබේ තේරීමට වඩා වෙනස් ඇති. සමහර ගීත වෙනස්, ගොඩක් දෙනා අහන රටාවෙන් වෙනස්. අලුත් ගීත, පරණ ගීත කලවමේ. ගීතයේ අරුත අපහැදිලි වුණාට සංගීතයෙන්, ගයන කටහඬින් හදවත කම්පනය කරන ගීත වෙන්නත් පුලුවනි. ඒ නිසා අහල බලන්න. ඒ වගෙම කියවන ඈයොත් ගීත එකතුවක් තියල යනවනම් කැමතියි.

1. මං පුංචි කාලෙ අම්මට හොරෙන් නොබල, අම්ම හා කියල බලපු පලමු හා එකම චිත්‍රපටිය මේ. රෝජා.... රූපවාහිනියෙන් බැලුවෙ මං පුංචිම කාලෙ. බලපු පලවෙනි දා කතාව නොතේරුනාට මේ ගීතය හිතේ නැවතුණා. අදටත් මං හරිම ආසවෙන් අහන ගීතයක්.

"රෝජා මගේ පෙම්වතියේ.. ඔබ මගේ ජීවිතය.මගේ දෑස් ඇත්තේම නුඹ දකින්නටයි.නුඹ පිළිබඳව ඇති ලාලසාව මගේ හිත හැරදා නොයයි. නුඹ නොමැතිව මා කෙසේ නම් ජීවත් වන්නද...නුඹ මාගේ දෑස් තුලය, නුඹ මාගේ කණ්ණ්දුළු තුළය...මා දෑස් පියාගත් විටකද නුඹ මාගේ හදවත තුළය.මගේ සිහින තුළය... මගේ සුසුම් තුළය...රෝජා."
අසමාන කටහඬ එක්ක මුහු වෙන ඒ.ආර් රහුමාන් ගෙ සංගීතය හිත සනසවනවා.


2. 1995 වසරෙදි ප්‍රචාරය වුණු Bombay චිත්‍රපටියේ ගීතයක් මේ.
මට හිමි එකම දේ නුඹ පමණයි.නුඹ නැතිව කෙසේ ජීවත් වෙන්නද? මේ තරම් හිතේ ගිනි අවුලවා කුමට, මා වෙත එන්න. ඕ.. මාගේ ජීවිතය, මගේ හුස්මටම යාවුණු ආදරිය. නුඹ ආදර සඳ, මා ඔබ එනතුරු මඟ බලන මහ පොළොව."
මේ ගීතය ඇසුරු කරගෙන මේ තනුවටම සිංහල හා දමිළ ගීතත් ගැයෙනවා. නමුත් මට මේ මුල් ගීයේ තරම් රසයක් දැනුනෙ නෑ ඒ ගීත ඇතුළෙ.


3. මේකත් හරි අපූරු ගීතයක්. මං මේ ගීතයට කොයිතරම් ආදරේද කියනවනම් මගෙ නැගණිය ලවා ඇගේ සංගීත ප්‍රසංගයකදි මං මේ ගීතය ගායනා කරන්න කියල බල කළා. සම්පූර්ණ සිනමා පටයම මට බොහොම සංවේදී වුණා.
Bhool bhulayaai චිත්‍රපටයෙන් මේ ගීතය. සිංහල උපසිරැසියක්නම් හොයාගන්න බැරි වුණා මට.


4. මේ ගීතයේ සැබෑ ගීතය Humpty Sharma Ki Dulhania චිත්‍රපටයෙන්. මේ ලින්කුව හරහා ඒ ගීතය බලන්නටත් පුලුවන්. https://www.youtube.com/watch?v=DEUubbuW0t8
ඒත් මං මෙතෙන්ට අමුණන්නෙ ඒ ගීතය ආලියා භාත් unplugged ගායනා කරන එක. මං වඩා කැමති මේ ගීතය ඇගේ හඬින් අහන්නයි.
"මට නුඹ නැතිව ජීවත් වීමට වුවමනා නැත.
මං නුඹට කුමක් පැහැදිලි කරන්නද. නුඹ නැතිව මගේ හදවත අතරමං ය. නුඹ මගේ ආදරය ගැන දන්නේ මොනවාද...මං නුඹ වෙනුවෙන් මඟ බලා සිටියෙමි. නුඹ මගේ හදවතයි, නුඹ මාගේ ජීවිතය යි."


5. 1942 වසරෙදි අනිල් කපූර් රඟපෑ A love story චිත්‍රපටයේ ගීතයක් මේ. ඒ කාලෙ බොහොමයක් දෙනාගෙ හීන කුමාරයා වුණු කුමාර් සානු තමයි මේ අසමාන හඬේ අයිතිකරු.
"මං මේ කෙල්ල දකින වෙලාවට මට ඈව පේන්නෙ හරියට පිපීගෙන එන රෝස මලක් වගේ. කවියෙකුගෙ සිහිනයක් වගේ. ආලෝකයේ දිදුලන කිරණක් වගේ. කැලෑවක මුව පොව්වෙක් වගේ. රෑක සඳ එළිය වගේ. සුමුදු වදනක් වගේ. විහාරයක දැල්වෙන ඉටිපන්දමක් වගේ. ..."


6. මේ මගෙ දමිළ ගීත කිහිපයෙන් එකක්. මං දන්නව බොහොමයක් දෙනා දමිළ චිත්‍රපට බලන්න අකමැති. නමුත් මේ ගීත අහන්න කියල මං හරිම ආදරෙන් ඉල්ලන්න කැමතියි. මේ වෙනස් රසයක්, 100% ගැරන්ටී බ්‍රෝ. Irudhi suttru මේ චිත්‍රපටියත් අපූරුයි. කාලෙකින් ආර්. මාධවන්ගෙ අපූරු රංගනයක්.
"ඒයි රණ්ඩුකාරයො.., මහත ඇස් දෙකකින් ආත්ම දෙකක් අමුණන්න හොයනවද. මේ සණ්ඩු සරුවල් නවත්තල මාත් එක්ක හාදු ගලපන්න එනවද. තනිකම මගෙ පස්සෙ වැටිල, මං ඔයාව හොයනව. මුලින් ඔයාගෙ හදවත විවර කරන්න, මාව රැකගන්න... පස්සෙ ආදරේට ඉඩ දෙන්න."


7. මේකත් ටිකක් අමුතු දමිළ ගීතයක්. මගෙ යාලු මිත්‍රයොනම් කියන්නෙ මං හොයාගන්නෙම අමුතු ගීත කියල. අහල බලන්නකො. ගීතය නොතේරුනත් සංගීතය සහ අමුතු හැඩතල මට ගීතය සුන්දරව දැනෙන්න හේතුවක් වෙන්නැති.
"ඕ..කෙල්ලෙ,
මං වශී වෙලා, මං වශී වෙලා. ඇතුලතින්, හරියට රවුමක් වගේ ආයෙ ආයෙමත් මං වශී වෙනව. මාව යටපත් වෙලා, මගේ හීන වල මං අතරමං වෙලා, ඒවයින් මාව යටපත් වෙලා."


8. මේකත් දමිළ ගීතයක්. Deiva Thirumagal- දේව දරුවා කියන වික්‍රම් රඟපාන බොහොම සුන්දර, සංවේදී දමිළ චිත්‍රපටයෙන්. තාත්තල බලන්නම ඕනි ඔන්න මේ චිත්‍රපටිය.


9. මේ ගීතය PK චිත්‍රපටයෙන්. මෑතකදි සෑහෙන ජනප්‍රියත්වයක් ලබපු චිත්‍රපටියක්නෙ. ඒ ගීත අතරින් මේ ගීතය මං බොහොම ආසවෙන් අහපු එකක්.
"මගෙ නම්, ඉන්නෙ කොහෙද.. මේ මුකුත්ම අහන්නැතිව, මගෙ පැත්තකින් පියවර කීපයක්... පියවර කීපයක් විතරක්, මාත් එක්ක ඇවිදන් යන්න එන්න.
මුකුත්ම නොකියා, කිසිම දේකට ඇහුම්කන් නොදී, මගෙ අතේ එල්ලිලා, පියවර කීපයක්.... පියවර කීපයක් විතරක්, මාත් එක්ක ඇවිදන් යන්න එන්න."


10. මේ ගීතයත් PK චිත්‍රපටියෙන්මයි. ආගම් සිය ගාණක් අදහන අතරෙ ඒ එක එකක් වෙනුවෙන් මිනී මරාගන්න අපිට ඒ දේවල් වල නිස්සාරකම අපූරුවට පෙන්නන්න මේ ගීතයට පුලුවන් වෙලා කියල මට හිතුන. මේ හඬ සහ සංගීතය මගේ හිත බැඳල තියාගන්න හේතුවක් වෙන්නැති.


Sunday 31 July 2016

අහිමි

අග්ගිස්සේම වුව වසන්තය
ලදිමි ජීවිතේ සුන්දර වරම
තුරු සිරස දළු දමා හැඩ කළද
නොලද්දෙමි මල් පුබුදුවන වරය.

ලපලු අග දුටුව මුත් වතාවක්
පින්න මැද දුක් විඳින මෝරන්‍ට,
පෙති අරින්නට කලින් බිම වැටුන
මල් කැකුල දැක හිතම ඉරිතැලින...

නොදැනෙන්ට මා නොලද මල් වරය
හිතට වැටකොටු බඳිමි අසරණව
ගෙවා දුර මල් සුවඳ සොරාගෙන
ආ සුළඟ මා දවා හමා යත.

අපවාද අවලාද වැහි අතර
ලේ ගලන තොල් හිමිගෙ අරෝවට,
නැතිද දුක කිරි නොපිරි ලැම දැක
සුරඟනෝ නිදිද දුක නොදැකම...?

බටිත්තනි, කොබෙයියනි, සමනලුනි
සරා නෙක නෙක පියස වන රොද,
සොයා මල් රේණුවක් තුඩින් ගෙන
වරෝ මගෙ පාලු කුස යහනට.

Sunday 3 July 2016

එකොළොස් අවුරුද්දකට කලින්.....



හදවතේ අපමණ සියපත් පිපී තියේ.... ඉඳහිටක මදපවනක පැටලී පෙති එකිනෙක සසල දියට වැටී පාවේ, මතක ඔරු වාගේය.

ඒ මතක ඔරුවක නැගී දහනව හැවිරිදි කෝටු ඉලන්දාරියෙක් මා සොයා එන්නේ ය. එක අතක සුරුට්ටුවක් ගානට රෝල් කළ පොතක් වී...රෝස පාටට හුරු රිබන්  පටියක් පොත කෙලවරින් එල්ලේ. බස් නැවතුමේ යකඩ වැටට බෝම සැප පාසුවට හේත්තුවීගෙන ඉන්නා ඉලන්දාරියාගේ පයක් යකඩ රාමුව මත්තේ..., ඇස් පඩිපෙලින් බැස එන සේනාව ළඟය . ඉලන්දාරියා හරි නොසන්සුන් ය... විටෙක ඒ මේ අත බලන්නේ ය. රූප රාමුවේ නැතත්, යනඑන කොලු ගැටයෙක් නවත්තා 'මචං වෙලාව කීයදැ'යි ඇසුවේ වන්නටත් පුලුවන. ඔහුට හරි හදිස්සි වූවාට ඔරලෝසුවට හදිස්සියක් නැති ගානයි....

තවත් මතක ඔරු මල් පෙත්තක් සසල දිය මත පාවේ.

එහි ඉන්නේ කෙල්ලෙකි. සුදු ගවුමකට ටයි පටියක් ඇන්ද, නහය හරි කෙලින් දෙපැත්තට බෙදා කරල් දෙකට ගෙතූ කොණ්ඩ කරල් දෙකක් වන වනා, කෙල්ලන් රොත්තකට මැදිව එන හරි දඟ කෙල්ලකි. එන්නේ නොවේ  , එවෙන්නේය. පඩිපෙල බහින්නේ නොව, ඉබේ බැස්සෙන්නේ ය. කිසි හදිස්සියක් නොවේ, කිසි ගනිච්චියක් නොවේ... කෙල්ලන්නේ ඉවරයක් නැති අල්ලාප සල්ලාප ඔයාකාරම ය. හදිස්සියෙන්ම කෙල්ල, ඉලන්දාරියා දකින්නී එල්ලෙන්නට ළඟ ඉන්නා මිතුරියගේ අත සොයන්නී. හංඟන්ට හැදුවාට කෝම, කෙලි රෑන මැද්දෑවේම කෙහල්කැන වැට පැන්න හැටි...!  මිතුරී-කොට කෙල්ලගේ කණට ළංව 'මං කිව්වෙ අර අයියා තමා'යි කියන්නට කෙල්ලට සිද්දවුණු හැටි...

ඉලන්දාරියා උන් මතක ඔරුව දිය සුලියක ය.  ඔරුව වාගේම කොල්ලාද කලබලෙනි. පඩිපෙලින් බහින කෙලිත්තී මං දැක්කකොට ඔහුට නොපෙනී කෝම...?

ගෙවූ වරු ගණනම කෙනෙක් ඉලන්දාරියාගේ නොඉවසිල්ල බලා උන්නානම්, දැන් මේ පිපිච්ච මූණු පොඩ්ඩ, හිනාවෙන ඇස් දකිද්දී ඒ ඉලන්දාරි හිත පතුලම නිසල දියක් සේම දකින්නේ ය.

ඉලන්දාරි හිතේ ගැස්ම, කෙලි හිතේ තිගැස්ම මැද උන් වටා ලෝකය නිශ්චල වූවාදැයි ඔවුනගෙන්ම ඇසුව මනාය. 'ඒ නංගී ලස්සනැ'යි කියා ඉලන්දාරියාගේම පණිවුඩ ගෙනා දූතයෙකුට වතාවක් ඈ  කණට ගහන්නෙමැයි කියා කැට තියුවේලු. ඉලන්දාරියාම 'ඉල්ලන් අනුන් දැරි' වචනාර්ථයෙන්ම වතාවත් මේ  දැරිවිගේම හිත ඉල්ලා තිබුණේ ය. "බෑ....හ්,එපා" යි කෙල්ල කියා තිබුණේලු. 'අමතක කරලමු පැරණි කතා' යි මුමුණ මුමුණා ඉලන්දාරියා අද ආවේම දෙකින් එකක් බේරාගන්නට වන්නට ඇත.

දැන් ඉතිං මතක ඔරු කුමට ..., මටත් ගොතන්නට පුලුවනි කතාවේ ඉතිරිය. කාටවත් නෑහෙන්නට ඉලන්දාරියා ආදරේ කියාගන්නට ඇති. වතාවක් දෙවතාවක් කියූ තැන දඟ කෙල්ල බිම බලාගෙනම හිස වනන්නට ඇති.
අර රෝස පාට රිබන් පටිය..., ඒ පොත් සලකුණක්.

විස්වාසෙටම අද, රෝස පාට මැකුණු ඒ රිබන් පටියත් එක්කම පොත් සලකුණ කෙල්ලගෙ සැමරුම් ගොන්නෙ  ඇති. සතියකට දෙකකට වතාවක් ඉලන්දාරියා, ඒ බස් නැවතුමේම, ඒ යකඩ වැටට හේත්තු වෙලාම කොණ්ඩ කරල් දෙක වන වන, කොණ්ඩ කරලෙන් ලිස්සපු කලු රිබන් පටියක් හොයන්නා වාගෙ බිම බලන්, කෙල්ලො නඩේට  මැදිවෙලා අර දඟ කෙල්ල එනකල් මඟ බලන්නැති. සුදු ගවුම හින්දා කතා නොකර මඟතොට, ඇස් වලින් රහස් කියන්නැති.

ඉතිං ආදරේ කරන්නැති.....


Monday 13 June 2016

වැවට උඩින් කොක්කු ගියා





පොළොවත් පැලී ගිනියම් වූ  පෑවිල්ලේ
වියලී ඉපල් වුණු මාදං ඕවිල්ලේ
දහදිය ගත තෙමන සැඩ ඉර නෑවිල්ලේ
නෙළුඹල හොයයි අපෙ අම්මා තාවල්ලේ

ඉර පායා ඉර මුදුනට එන්න එපා
සැඩ හිරු රැසින් අපෙ අම්මා තවනු එපා
නෙළුඹල දෙන්න වැව නුඹ පැකිලෙන්න එපා
අප්පා නැති අපිට බඩගිනි වෙන්න එපා

දෙපත් කපා අක් වැහි පිට වැහි වැටුණා
සියපත් රතට වැව එක යායක් කෙරුණා
පන්සල ළඟ කඩේ මල් මිටි ගොඩ ගැහුණා
කහවනු හොයං අම්මා වැව වෙත ඇදුණා

වැව් දිය රළු වෙසින් රළ පිට රැළි නැගුණා
දිය බොර වුණත් අම්මා තව දුර ඇදුණා
බොර දිය රැළි අතර ඈ මංමුලා වුණා
අම්මා හංගගෙන වැව් දිය හිනාවුණා

නෙළුඹල හදා වැව් දිය මත මල් පිපුණේ
වැව හින්දමයි මෙතුවක් කල් කුස පිරුණේ
අම්මා උදුර ගත්තත් වී අපිට විනේ
වැව් දිය එක්ක හෙම නෑ අපි තරහ වුණේ

නුඹෙ අම්මා නුඹ දමලා කොතැන ගියා
මල් කඩලා නෙළුඹල ගලවන්න ගියා
වැව උතුරා අම්මා වැව ඇතුලෙ තියා
වැව හිනැහුණා වැවට උඩින් කොක්කු ගියා...

Saturday 4 June 2016

හීන- හරි/වැරදි හීන

ප.ලි. නොව, මුලින්ම ලියමි.
බස්සී මේ හැඩයට ලියූ කෙටි කූරු කොණ්ඩයක සිහිනයක් ගැන ලියමනක් කියවීමි. එදා ඉඳන් ඒ අකුරු හිතේ ඒ මේ අත පෙරලි පෙරලී තියෙන්නේ ය. හැම අතටම පෙරල පෙරලා රස බැලීමි.
ලීවේ ඒ හැඩයට ය. කොපි කරන්නට නොව බස්සි අක්කේ, ඒ ලියමනේ රස ඉවසාගන්ට බැරි හින්දා ය..
ඔබේ ලියමනේ අහලකින් තියන්නටවත් බැරි යැයි හිතෙන්නට පුලුවන. ඒ හින්දා සොරි කියන්නට ඕනෑ ය. අදාල නෑනේ යි ඔබ කියන්නටද පුලුවන.


අතින් අත අල්ලන් යන්තමට
යද්දි මඟතොට,
කාටවත් නොපෙනීම,
ඔය මට දුරින් උනත් දැනෙන
හරි උණුහුම පපුවට
කිටිකිටියේ තුරුලු වෙන්ට
හිතෙන එක මහ වරදක්ද....?

දෙනෝදාහක් ගැවසෙන
රතු මැයි පියල්ලක් යටින්
මලක් වගේ පරිස්සමට එක්ක යද්දි මාව,
ඔය යෝධ අත්බාහුව බදාගෙන
ඉඹින්නට හිතෙන එක වරදක්ද,
ඒ කියන්නෙ
නලා සන් කරං නවත්තන්නම වරදක්ද....?

හැම ඇහැක්ම අහක බලන ඇසිල්ලක
හදිස්සියේ නළලත හාදුවක් තියද්දි නුඹ,
බදාගෙන ගෙල-
ගිනිගන්න දෙතොල් මේ
ඔය දෙතොල් උඩ තියන එක
වටපිට තියෙන ඇස් සේරෝම
අඹරලා බලන තරමෙ වරදක්ද...?

පෙම්වතියකගෙ චරිතෙක එතකොට
තියෙන්නම බැරුවද
නුරා ඇස් උස්සා බලා
නුඹ ගිනි තියන බැල්මක්...?
තියා මේ ලය මත,
නුඹ සනසවන්නට කැක්කුමක්...?

මං අහන්නෙ කොටින්ම
දහ අවුරුද්දකට පස්සෙත්,
පෙම්වතියකට තියෙන්න බැරිද
තුරක් වට එතෙන-
එති එතී සැනහෙන
ලියවැලක් වෙන්න හීනයක්....?

Friday 27 May 2016

ආපසු හැරෙමි


නෙතු වසමි
නෙතු පියන් කිටිකිටියේ  වසමි....

සඟවමි...
කෙලවරක් නැති මතක සඟවමි

ඔතමි
නුඹ හිඳි හීන බරම බර ගල් වල ඔතමි

පතුලේම ගිල්වමි
කලුවර අගාධයට අතහරිමි

 පුංචිම මතක සඟවමි
නුඹ හිඳීදැයි බල බලා සඟවමි

යළි අදිමි සැඟවූ තැනින්
ඉතිං හඬමි

ඉකිලමි
රිදෙන හදවත මිරිකා ගනිමි

සිහිකරමි
නුඹේ ඊතල රොස් පරොස් උහුලමි

වැලහින්නකව වැලපෙමි
ප්‍රේමය වංචාවකැයි දන්න දන්නා වුනට කියමි

තේරුම් කරමි
ඔබ යළි නේන වග හිතට මොර දී කියමි

ආපසු හැරෙමි
සියවසක් හඬන්නට කඳුලු හිරකර සමු දෙමි....

Friday 20 May 2016

කොළඹ වැස්සට (නො)තෙමෙමි.


 කොළඹ අහස කලුම කලු පාටිං මූණ රොබ්බගෙන උන්නෙ. හරියට එයැයිගෙ වද වේදනා සේරෝටමත් මං වග කියන්න ඕනෙ ගාණට. හත්වලාමෙ පහුගිය ටිකේම මාරාවේස වෙච්ච ගාණට මහපොළොවෙ පතුලෙ තිබ්බ අන්තිම වතුර බිංදුවත් කෑදරකමට හූර හූර බීවෙ... ,හරියට කාටවත් අයිති නොවිච්ච,ඒත් හැමෝටම අයිති වෙච්ච ගෑණියෙකුගෙ ඇඟට ගොඩවෙච්ච නාකියෙක් ගාණට. දැං ඉතිං වැහි බර උහුලගන්ට බැරිකොට අපිට පුප්පන්නෙ. කොයිවෙලේ බිම හලාගන්නද කියල බලං ඉන්නෙ. අපි තමයි පලි... ඊයෙත් ප්‍රැක්ටිස් තියාගන්න බැරිවුණා. කෙල්ලො ටික හේබාල ගිහිං, අනෝරාව අල්ලපු වැහි දෙක තුනට කෙල්ලො කීප දෙනෙක් ලෙඩ වෙලත් තිබුණ.

ඕං ඉතිං පටං ගත්ත... මං බස් එහෙකට ගොඩ වෙනකල්වත් ඉවසගන්න බැරුව අහස අඬා වැටෙන්න තියාගත්ත. එහෙටත් වහිනව ඇති. මේ ටිකේ අපාය වගේ ඇති ගෙදර. ඇයි අප්ප හැමතැනම තෙමෙනවනෙ. චුට්ටි ගෙදරම හැලි වලං තෙමෙන තැං වලට කර කර ගේ වටේ දුවනව ඇති.. ගෙන්දගං ගඳ හෝදගෙන, දූවිලි, කාබන් කුඩු හෝදගෙන වහින කොළඹ කඩප්පුලි වැස්සට තෙමෙන්න බැරිකමට මං යාන්තං කඩ අගුවකට පැන්න. කුඩේ තෙමාගෙන බෑග් එකේ දාන් යන්නෙ කෝමද. කඩේ උන්නු කොල්ලො දෙතුංදෙනා කොමල කරනව මං ඇස් කොනින් බලාගෙන. පංචිකාවත්ත පාරට හැරෙන හන්දිය මැද්දෙ මේ ඉන්න යකඩ අස්සයනං වගේ වගක් නැතුව මේ කෙමිකල් වැස්සට තෙමෙනව. උන්නැහේට වැස්ස ගානක් නෑ වගේ නේන්නං මට මේ කොල්ලංගෙ ආල ලීල. අපිට පුලුවනෑ ඔව්වට ප්‍රතිඋත්තර දෙන්න. මේ සුමේ කරනකල්ම බඳින්න බෑ කියල පොරොන්දු කරවගෙනනෙ අපි මේකට ගත්තෙ ඉතිං. මං ඉන්ටර්වීව් එකේ බෝයි කෙනෙක් ඉන්නවද ඇහුවම නෑ කිව්වෙක හොඳට ගියා. සමන්ත අයියනං මූණ නරක් කරං හිටියෙ ඒ ටිකේම, දැන්නං එයාට තේරිල.

තුං මාසෙකිං තමයි මේ ගෙදර යන්නෙ. පිංසෙන්ඩු වෙලාවත් ගෙදර යන්නනං බෑ අක්කත් එක්ක. වෙසක් හින්දයි, වැස්ස හින්දයි වැඩ ටිකක් අඩු වුණා. නිකං තියං මුන්ට කන්න දෙන්න ඕනෙයැයි හිතෙන්නැති එයාට. එයත් ඉතිං හිනාවෙලා හිටියට මාර දූතිකාව වගේ තමා. චුට්ටි ඉඳහිට සමන්ත අයියගෙ ෆෝන් එකෙන්  කතා කරපු හැම වෙලේම කියන්නෙම අම්ම දිරාගෙන යන හැටි. යක්කලින් බැස්සම අම්මට විටමිං එකක්වත් අරං යන්න ඕනැ. අප්පච්චි නංගි ගෙට වෙන්නත් කලිං මියැදුනාම, නොකා නොබී අපිටම කරපු අම්ම ඔයාකාර දිරනව බලං ඉන්න පුලුවනෑ.... සස්ටජං එකක් ගන්නත් හිතේ...

බස් එකක් නේන හැටි අප්ප. කොහොමහරි මාව මේ වැස්සට තෙමනකල්නෙ මේ ඔක්කොම. දැං ඉතිං ගෙදර ගිය වෙලේ ඉඳං තියෙන්නෙ කෑම. අම්ම බැරි බැරිගාතෙ වත්තෙ, ඇල ඉවුරෙ ඇවිදල කොස් ද, නෙලුං අල ද, බිලිංචා මාලුද දහසක් ජාති හොයාගෙන එනව. කෙල්ලගෙ කොණ්ඩෙ යනවද මන්ද කිය කිය පලා කොළ හොයන් එනව. මේකි සුදුමැලි වෙලා ගිහින්නෙ කියල හංඟගත්තු කාසි ටික අතගගා හොයාගෙන වැව් මාලුවෙකුත් අරං එනව. නංගි ඉතිං නෝක්කාඩු කියන්න ගන්නව එතකොට, මෙච්චර දවස් ලෙව කෑවා, අම්මට අක්ක එනකල් ඉන්න ඕනෙ මේව ගේන්න කියල. පව්.... පොඩි කෙල්ල. යද්දි චොක්ලට් එකක් ගෙනියන්න ඕනෙ. මටනං ඕව කැවෙනවනෙ දැං තුසරි හින්දා. තුසරි හොඳ කෙල්ල, කොල්ල හොරාට ගෙනත් දෙන කිසිම කෑමක් තනියෙං කන්නෑනෙ. හූනු බිත්තරේ වගේ ටිකක් හරි ඔක්කොමල්ලට බෙදලනෙ කන්නෙ.

මාත් ඉතිං ගෙදර දුවන්නෙ අම්මගෙ අතිං රහට බත් කටක් කන්නනෙ. ඒ කෙසේ වෙතත් තුං වේලම බත් කටක් කන්න. මෙහෙ අපේ කෑමටත් නීති. මාර දූතිකාවි බත් දෙන්නෙ දවල්ට විතරනෙ. උදේට මොනහරි ඇට... මට පෙන්නන්න බැරි මුං ඇට.  රෑට එලවලු තැම්බිලි. ඇඟේ ශේප් එක තියාගන්න එකනෙ මෙයාට ලොකුම දේ. ඇත්ත හැබැයි, නැත්තං විනාඩි දහය යද්දි හති. කෝමහරි කමක් නෑ මං මෙහෙ නොකා හරි හම්බ කරොත් අම්මයි නංගියි තුංවේල කනවනෙ දැං. ඉස්සර අපි කෑවෙ දෙවේල, අම්මනං ඒ කන්නත් නැතුවැති. මං කෝමහරි දැං අම්මට තුං වේල කන්න දෙනවනෙ. 

බලං ඉඳල ඉඳල කොළඹ-කුරුණෑගල බස් එකකට නැගගත්තෙ. ආයි අම්මේ කියවෙන්නෙ බස් එකට නගිද්දිනෙ. දවසට පැය 6 ගානෙ, සතියට දවස් 6ක් ප්‍රැක්ටිස් කෙරුවම හන්දිපත් රුදා නොහැදි තියෙයිද මං අහන්නෙ. ෂෝ එකක් ළඟනං රෑ තිස්සෙත් ප්‍රැක්ටිස්. කෙල්ලො විහිලුවට කියන්නෙ අක්කට එතකොට, ගෝවින්දගෙ සන්දි සුධා ගෙනත් තියාගන්න කියල. උංගෙ හිකි හිකියට තමයි යංතං හරි මහංසිය නිමෙන්නෙ. 
 
ඇඟ හිරි වැටිල ගියා. මං නටන වීඩියෝ එකක් යන්නෙ බස් එකේ. කොළඹිං පිට තිබ්බු ෂෝ එකකට ගියානෙ අපි සති දෙකකට උඩදි. ඒකෙ වීඩියෝ එක මේ. හතර අතිං වදින පාට පාට ලයිට් එලි මැද්දෙ දිලිසෙන මොණර පිලක පාටිං ඇඳුමක් ඇඳං මං ඉණ කරකනව. ෂෝ පනස් හතක නටල තිබුනට මං ඒ නැටුමක් මේ විදියට දැක්කෙ අදමයි. ස්ටේජ් එකට නැග්ගම සැර ලයිට් එළි හින්දා ඇස් ගිණිකන වැටෙනව. එතකොට පල්ලැහැ බලං ඉන්න කවුරුත් පේන්නෙ නෑ. ඒක අපිට පහසුවක්, හිතේ දෙගෙඩියාවක් නැතුව නටලා දාල එන්න. ඒත් මෙවෙලෙ මට හරි තිගැස්මක් දැනුණෙ. අක්ක හැම නැටුමෙම, තමං මේ කණ්ඩායමේ අයිතිකාරි කියල පේන්න උජාරුවට ඉස්සරහිං නටන එකට කෙල්ලොන්ට කොස්සක් නොතිබුණාම නෙමෙයි. අපිව පේන්නෑනෙ කියල. ඒත් මේ වීඩියෝ එක දැක්කමනං අක්ක විතරක් පෙන්නුවනං හොඳයි හිතුන.කැමරා අයියල දත් තිස් දෙකම පෙන්නල හරි සහෝදරකමට හිනා වුණාට මොකෝ වීඩියෝ කරලම තියෙන්නෙ ඉනයි, නැටවෙන පස්සයි, ලයිට් එලියට දිලිසෙන කකුලුයි විතරනෙ... ඒ ඇඳුමට අඟපසග ඉලිප්පිල පේනව වැඩියි තමා. මේ ඇඳුම ඩිසයිං කරද්දි අක්ක තුසරියි මමයි කුටු කුටු ගෑව අප්ප කොට වැඩියි, කකුල් පේනව කියල. ඒත් ඉතිං අපිට පුලුවනෑ අක්කට උඩිං යන්න. ඕනෑවට වඩා දඟලපියව් ගෙදර යන්න බලාගෙන කියල අක්ක වතාවක් සෙව්මිනීට කෑගැහුව මේ විදියෙම ඇඳුමක් ගැන එකට එක කියවං. ඕං මමත් සල්ලිකාර කෙල්ලක් වුණානං දමල ගහල යන්න තිබ්බ. ඒත්.....

අම්මට මං කියන්නෙ මං ඩාංසිං ඇකඩමියක ඉන්නෙ කියල. නෑ නෙමෙයි, මං ඉන්ටවිව්ත් කියල ගියා ලොකු නමක් තියෙන ඇකඩමියකට. එක වගේ මොඩල් ඕනෙ මූණු සෙට් එකට මගෙ මූණ ගැලපෙන්නැතුවද මංදා මං තේරුන්නෑ... ඉතිං මං මේකට ආව. දැං මං නැට්ටුක්කාරියක්. අම්මට ඕනෙ වුනේ මාව සේපාලිකා මිස් වගේ නැටුං ටීචර් කෙනෙක් කරන්න. පාට පාට මල් මල් සාරි ඇඳං කජු වත්ත මැද්දෙං මං ඉස්කෝලෙ යනව බලන්න එයැයි ආසවෙං ඉන්නැති. මට ලස්සනට නටාගන්න පුලුවං වුණාට මොකෝ, ඉලක්කං එක්ක හරඹ බෑ. ඉතිං මං ගණං ෆේල්. හිතේ හිටපු පාට පාට සාරි ඇඳං උකුල නටව නටව කජු වත්ත මැද්දෙං ඉස්කෝලෙ යන ටීචර්ව මරල දාන්න අම්මටයි මටයි දෙන්නටම සිද්ද වුණා.

දෙනෝදාහක් මැද්දෙ මට හරි අසරණකමක් දැනුන. ඔලුව හරවල වටපිට බලන්න බැරිකමක් දැනුන. මාව ගල්වෙලා තිබුණෙ. මූනෙ උලං ඉන්න උන්නු පාට හින්දා ඒ මංමයි කියල වටේ පිටේ මිනිස්සුංට හොයාගන්න බැරිවේවා කියල හිතුවිල්ලක්, පැතුමක් විතරයි මගෙ හිතේ තිබ්බෙ. ඒ වුණාට ළඟ හිටං උන්නු කොල්ල සැලකිල්ලෙං මූණ දිහා බලනව මං ඇස් කොණිං දැක්ක. 

අම්ම, චුට්ටි මේක දැක්කොත්.... සමන්ත අයියා මේක දැක්කොත්....මට දමල ගහල ගෙදර නවතින්න හිතුන.  ඒත් එතකොට තුං වේලම දැං  බඩ පිරෙන්න කන, සැනසිල්ලෙං ඉන්න අම්මට, චුට්ටිට සල්ලි දෙන්නෙ...? ඔහෙ ඕනෙ එකක්. තව අවුරුදු තුනක් හතරක් මේක කරල සමන්ත අය්යට ත්‍රීවීල් කටුවක් අරන් දෙන්න සල්ලි හොයාගන්නව මං. ඊටපස්සෙ ආදායමක් තියෙනවනෙ, සමන්ත අයියව බැඳගෙන සැනසිල්ලෙ ඉන්නව එදාට. 


මං කන් දෙක වටේ පිටේ සද්ද වලින් ඈතට අරං ජනේලෙං එලිය බලාගත්ත.


ප.ලි.: කිසිවෙකුට, කිසිඳු වෘත්තියකට ගැරහීම පිණිස නොවේ. නම්, ගම්, සිදුවීම් සියල්ල මනඃකල්පිතයි.