පහුගිය සෙනසුරාද අම්මයි මමයි අවුරුදු ඇඳුම් මල්ල අරං එන්න
ගියා. අලුත් අවුරුද්ද එන්නෙ යුතුකම් වගකීම් ගොන්නක් එක්කනෙ.. අතේ මිටේ තිබුණා-නැතා
ඒ යුතුකං ටික ඉෂ්ට කරන්නම ඕනෙ. අම්මට උත්සව අත්තිකාරං කියල ලැබෙන කොටස හින්ද යංතං ජාමෙ
බේර ගන්නව. හැබැයි ඒක ආපහු ගෙවද්දි තමයි ඒ දුක හරියටම තේරෙන්නෙ. මමත් ඉතිං හා හා පුරා
කියල training වුණත් ජොබ් කට්ටකට ගිහිං දත කට මැදගෙන සොච්චමක් හරි හම්බ්වෙයිනෙ කිය
කිය හිතං හිටියට මට වුණෙත් අපේ මනුස්සයගෙ අවුරුදු තෑග්ගෙ මදි පාඩුව අසරණ අම්මගෙන්ම
ඉල්ලගන්න. (සෑහෙන දවසක් තිස්සෙ එකතු කළාට මොකද කොල්ලන්ගෙ ඇඳුම් වල ගණන් වලට අතේ තියන
ගාන සෑහෙන්නෑ අප්ප.) විලි ලැජ්ජාවයි තමයි ඉතිං, මොනා කරන්නද කියල හිත හදාගත්ත.
කෝම කෝම වුණත් හරි අරපරිස්සමට ඇඳුම් මල්ලක්ම තේරුව අරයට මේ,
මෙයාට මේ කියල. හරි අරපරිස්සමෙං කිව්වෙ අම්මයි මමයි හිතිං ගණං හද හද. නැත්තං ඉතිං අතේ
තියෙන සබ්බ සකලමනාවම ඉවර වෙනකල් ඇඳුම් අරන් මාසෙ ඉතුරු ටික හූල්ලන්න වෙන්නෙ. ඒ අතිං
අපෙ අම්ම සුපිරි. කීය හම්බුනත් හරි ලස්සනට පරිස්සමට වියදං කරන්නෙ. කොච්චර අඟහිඟකං තිබ්බත්
අම්ම අපිව සතුටිං තිබ්බ. ආස දේවල් කෝමහරි අරන් දුන්න. තාමත් එහෙමයි. හැබැයි ඉතිං පුංචිකාලෙ
ඉඳංම නංගියි මමයි මේක තේරුං අරං හිටපු නිසා කවදාවත් අම්මට අනවශ්‍ය විදියට කරදර කලේ
නෑ. අපි අපිව තේරුං අරං ඉන්න නිසා වෙන්නැති
අදටත් අම්ම තමයි මගෙ හොඳම යාළුව.
කෝමහරි ඉතිං ඇඳුං ටික තෝරගෙන billing කවුන්ටරේට ආව. අපි ගත්ත
ඇඳුමක tag එකක් නැතුව ආයෙ ඒක බලං එනකල් අම්මටයි මටයි එතන ඉන්න වුණා. ඒ අතරෙ ඒ බිල්
දාපු පිරිමි ළමය, අපිට ටිකක් ඉන්න කියල අපිට
පස්සෙන් පෝලිමේ හිටපු ජෝඩුවකගෙ ඇඳුම් බිල් කරන්න ගත්ත. ජෝඩුව කිව්වට වයස සීය කෙනෙකුයි
ආච්චි කෙනෙකුයි. 65-75 වයස් වල ඇති. විස්වාසෙටම විශ්‍රාම නං අරං. පිළිවෙලට ඇඳල කරල
හිටිය. මං ඉතින් දත් තිස්දෙකම පෙන්නල හිනාවුණු හින්ද,මං එක්ක හරි අපූරුවට හිනාවුණා
දෙන්නම.
Billing පුතා බිසී. හෝ ගාල ටැග් එක බාර් කෝඩ කියවන්නට පෙන්නනව,
දෙකට තුනට නවනව, තියනව... එක යුද්ධයයි. අම්ම මං දිහා බැලුව. අම්මයි මමයි හිතිං එයලගෙ
සාප්පු සවාරියට එකතු වුණා. පුංචි පුංචි ඇඳුං මහ ගොඩක්. පාට පාට ඇඳුං ගොඩගැහෙනව කවුන්ටරේ
උඩ. අත්තම්මයි අත්තයි , මුණුබුරු රොත්තටම ඇඳුං තෝරල. ඊට පස්සෙ එන්නෙ ටී ෂර්ට්. විස්වාසයි
සීයට නෙවේ, ඒ ටිකක් තරුණ පහේ අය අඳින ඒව. පුතාලට/බෑණට. ඊටපස්සෙ ටිකක් විසිතුරු සාරි
දෙකක්. දුවලට/ලේලිලට. අපි ඇඳුං බෙදලත් ඉවරයි. ඊළඟට චාම් පහේ සාරියක්. ඒක අත්තම්මගෙ.
සුදට හුරු ෂර්ට් එකක් එක්ක සරං දෙකක්...අත්තගෙ. හරි… "දොලොස්දාස් නමසිය හතලිස්
නමයයි සර්..." , Billing පුතා කියනව, දඩි බිඩියෙ ඇඳුං නමල නෙමේ, ගුලි කරල මල්ලකට
ඔබන අතරෙ.
අනේ අත්තම්මගෙ මූණ ඇද වුණා. අතේ තිබ්බෙ දාහෙ කොළම මිටියක්,
විශ්‍රාම පඩියෙන් ඉතුරු වැඩ කන්දරාවම කරගෙන පැටවුන්ටයි, පැටවුන්ගෙ පැටවුන්ටයි අවුරුදු
ගෙනියන්න එයාලට වෙන් කරන්න පුළුවන් උපරිම කොටස වෙන්නැති ඒ...මං බලාගෙන කොළ මිටිය අතට
මිටි උණා. "ඇඳුං ටිකක් අයින් කරන්න වෙනව නේද..” අත්තම්ම හිමීට අත්තට කියනව. මං
විගහට අහක බලාගත්ත, එයාලට අපහසුවක් දැනෙයි හිතුන නිසා. "ටැග් එක මේකෙ වැටිලද දන්නෑ
නේද පුතේ" අපෙ අම්මත් බොරුවට බිල් මල්ලි බිමට විසි කරපු ‘Use me’ මල්ල හොයනව.
අපිටත් මේ දේ වෙලා නැතුව නෙවෙයිනෙ. ඒත් මම මහන්සි නොබල හිතිං ඒ අත්තම්මගෙයි සීයගෙයි
සෙනේවන්ත සාප්පු සවාරියට එකතු වෙච්ච හින්ද මට ඒ වචන දෙකතුන ටිකක් තදට වැදුන.
"අපි සරං ටික අයිං කරමු පුතේ..." අත්තා කවුන්ටරේ මල්ලිට කිව්ව.
පොඩි එකෙක්
වුණාට ඒ ළමය ඒ වෙලාවෙ මහ මිනිහෙක් විදියට හැසිරුණා කියල මට හිතුණා. බොහොම පිං මල්ලි...
ඔයා මූණෙ හැඟීම් බිංදුවක්වත් වෙනස් නොකර ඒ දෙන්න කියපු දේ කළේ. ඒක ඒ අහිංසක මිනිස්සුන්ට
පහසුවක් වෙන්නැති. මල්ලි හිමින් සීරුවෙ මල්ලම එලියට ඇද්දා. වැඩ කන්දරාවයි, ඇඳුං පොදි
උස්සගත්තු කස්ටමර්ස්ල පෝළිමයි. උදේ ඉඳන් හිටගෙන, මහන්සියෙං ඉන්න ඇති ඒ පිරිමි ළමය.
ඒ ඉවසීමට මට පුදුම හිතුණ. ඒ අහිංසක හිත් දෙක නොරිස්සුම් බැල්මකින්වත් නොරිද්දා ආපහු
ඉවසීමෙං රෙදි ටික ඇදල, ආපහු දානව පොඩි එකා. පින් කොල්ලො...
අත්තගෙ සරං දෙක අයිං කරල පැත්තකින් තියද්දි, අත්තම්ම අර සුදට
හුරු සාරියත් ඈතට කරනව. හරි... ඔක්කොටොම ඇඳුම් අරන්, ඒ දෙන්නට නෑ. අර සල්ලි කොළ මිටියම
දීල, ලොකු ඇඳුම් මල්ල උස්සගෙන ආයෙමත් මට හිනාවෙල යන්න ගියා. විස්වාස කරන්න, සැනසිල්ලක්
මිසක් තැවුලක සේයාවක්වත් ඒ ඇස් වල තිබුන මං දැක්කෙ නෑ.
අපෙ අම්මගෙ බැල්ම මං අඳුරගත්ත. ඒත් වචන කතාකලේ නෑ. ඒත් මං
වගේම අම්මත් ඒ ගැන දිගින් දිගට හිතපු විත්තිය මට තේරුනෙ ගෙදර ඇවිල්ලත් සෑහෙන වෙලාවකට
පස්සෙ මං කවුද, කාටද මුකුත්ම නොකිය එක සැරේම "පව් නේද අම්මෙ" කියපුගමං කවුද
නාහම අම්මගෙ ඇස් වල කඳුළු පිරුණා දැක්කම.
මට මතක් වුණේ අර ගී පද දෙක...
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා, පුතුන් රජුන් කරන්ටා...
වෙනසක් නෑ, මේ හැම අම්මගෙම කතන්දරේ... එයා නොකා නොබී, ලස්සනට
ඇඳුමක් නොගෙන, ඒකටත් ලෝබකං කර කර, ඒ ඉතිරි කරගන්න චුට්ටෙනුත් නංගියි මමයි රාජ කුමාරිකාවො
වගේ තියන්න දඟලන අපෙ අම්ම ගැන මට ආයෙමත් ආයෙමත් ආදරේ හිතුන. බැන බැන හරි අපි ගැනම හොය
හොය, 'චුට්ටක් ඇත්තං කෑ ගහන්නෙපා අනේ' කියල අපි නෝක්කාඩු කිව්වට අපිටම හැමදේම කරන,
බැරි බැරිගාතෙ ඉල්ලපු සැණින් තේ හදල ළඟට ගෙනත් දෙන, බත් කවන කිරි අම්මව හිතට ආව. අනේ
ඉතිං කෝමහරි අවුරුද්දට කලිං " නංගිට ඇඳුමක් අරං දෙන්න පුතේ" කියල අයිය අතේ
මට සල්ලි එවන, "කෝච්චියෙ යද්දි එහෙම නංගිට කියන්න පුතේ කවුරුවත් එක්ක කතා කරන්න
එපා කියල, ගෑණු අය එක්කත් එපා, දන්නැද්ද අද කාලෙ හැටි.." කිය කියා හැමදාම පණිවිඩ
එවන අයියගෙ අම්මව මට මතක් වුණා. ඒකයි මේක හැම
අම්මගෙම කතාව වුණේ.
මේ අලුත් අවුරුද්ද එයාලගෙ. ඒක එයාලට දෙන්න. අවුරුද්දට අම්ම
බලන්න ගමේ යන්න. සමහරවිට මේ අත්තම්ම, අත්ත එයාලගෙ ඇඳුම් පැත්තකට කරල ගත්තෙ ඔයාට දෙන
ලස්සන සාරිය වෙන්නැති... ඔයාගෙ පැටවුන්ට ගෙනාපු දේදුනු පාට ඇඳුම් ටික වෙන්නැති. පරණ
ඇඳුමම ඇඳගෙන, ඇස් දෙකෙන් පවා හිනාවෙවී ඔයාගෙ අතට දෙන ටී ෂර්ට් එක වෙන්නැති. ඇඳුම් කැඩුම්
නැතත් පුලුපුලුවන් විදියට කැවුම් ගෙඩියක් හරි 'මයෙ පුතාලට' කියල හදාගෙන මඟ බලන් ඇති. අම්මලාගෙ තාත්තලාගෙ ආදරේ එහෙමයි.
Husband ahanawa ai me laptop eka diha balagena adanne kiyala. Mage ammawa mathak una....
ReplyDeleteඅපි බොහෝ දෙනෙක්ගෙ ජීවිත වල අම්මා කියන්නෙ අධි සංවේදී ලින්කුවක් තමයි 'නම නොදන්න මිතුරිය'. මං බලාපොරොත්තු වුණු දේ ඉටුවෙලා එහෙනම්. ඔබ මට දුන්නෙ මිල කළ නොහැකි උත්තේජනයක්. ස්තූතියි. දිගටම එන්න මගෙ හීන මං එක්ක බලන්න.
Deletema obe sadaadara mithuriya Udari...
Deleteඅඩා මේ ටෝද? ඕ..යේස්...නමක් ඇටුව වර කෙල්ල.... ස්තූතියි උදාරි.
Deleteඅඩා මේ ටෝද? ඕ..යේස්...නමක් ඇටුව වර කෙල්ල.... ස්තූතියි උදාරි.
Deleteඅපිට බලන්න අම්මල නෑ ලමයෝ... ජය වේවා.. හොදින් දිගටම මේක කරගෙන යන්න..
ReplyDeleteඅම්මල හිටියනෙ, අම්ම මෙහෙමනෙ??? ඒකනෙ කියන්නෙ. ස්තුතියි දේශක යා දිරිමත් කළාට. අඩුපාඩුත් පෙන්නල දෙනවනම් අගෙයි මට.
Deleteඅපි දැනට උනත් මෙහෙමනේ , හොදම දේ විතරක් නෙමෙයි හැමදේම දරුවන්ට
ReplyDeleteඒම දෙමාපියො ඉන්න දරුවො වාසනාවන්තයි/ මෙයාකාර සහකම්පනයක් තියෙන දරුවො ලැබිච්ච දෙමාපියො වාසනාවන්තයි. මං ඒම කියන්නෙ අටමා, හැමෝටම ඒම දෙමාපියො/ දරුවො ලැබෙන්නෑ.
Deleteමේව ඉතිං මංගල කාරණා.
mema wurudu nam kothekuth ape ammatat tyenna eti. eththa thamai ammalage thaththalage mulu jiwithema daruwo
ReplyDelete“අප වැනි දරුවන් ලබන්නට නුඹ බොහෝ පින් කර ඇතිවා විය යුතුය.” මා විහිළුවට මෙන් ඇයට කියමි. එසේ වුවද කිසිදු දිනක ඈ එයම පෙරලා අපට නොකීවාය. අපරිමිත ප්‍රේමයේ මිල නියම නොකළාය. කිසිදු ලෙසකින් අයිතිවාසිකම් නොකිවාය. ඈ වෙසෙසින් තනා දුන් ලෝකයේ රිසි සේ සරන්නට දී ඒ දෙස බලා හිද අප්‍රමාණව ප්‍රීති වන්නීය.
ReplyDeleteමේ පෝස්ට් එක මං කියෙව්ව. හරිම ලස්සනයි.
Delete