"දූ
නැතිවෙලා මිතුන්..." හද පතුල පිරුණු වේදනා ගිනි කන්දක්ව පුපුරා යයි, මං ඉඩ හලෙමි.
දෑස පොඟවමින් ගලන කඳුළු ඔහු ලය තෙමමින් පල්ලම් බසී. වෙනදා මගේ කඳුළක් මායිම් නොකරන
ඔහු, හඬා වැලපී අවසන් වන තුරුම මා ලයට තුරුලු කර උන්නේ ය.
"නාඬ ඉන්න සරනි, දැං අම්මත් එනව
ඇති. කාලවත් හිටියෙ නෑ, මං ගෙදර ගිහිං එන්න කියල පිටත් කලා..." කඳුළු තෙත යන්තමින්
හිඳී ගිය කල්පයක් සේ දැනුනු අඩහෝරාවකට පමණ පසු ඔහු ම'සවනට කොඳුරයි. කඳුළු හෙවනැලි පිරුණු
නෙත් ඔසවා මම ඒ දෑසට එබෙමි.
"අපෙ අම්මට ඩ්‍රයිවර් කියල ඔයා
හොස්පිටල් කියල. අම්ම වචනයක්වත් කිව්වෙ නෑ, ඒත් ඒ ඇස් මාව වැරදිකාරයෙක් කලා සරනි. මං
යන යන තැන ඒ ඇස් මගෙ පස්සෙං ආව වගේ මට දැනුනෙ. ගෙදර ඉන්න බැරුවමයි එළියට බැස්සෙ, නොදැනිම
ඇවිත් තිබුණෙ මෙතෙන්ට..."
ඔහු අමුත්තෙකි, මා පෙම් කළ- ඔහු පෙම්
නොකළ දා උන් දළදඩුවා නොවේ...වේදනා රිදුම් අතරමැද වුව හිතේ අමුතු ප්‍රේමයක් පිලිසිඳෙමින්
තිබේ, ඒ මේ දළදඩුවාගේ ඇතුලාන්තයේ උන්, අදම දුටු අමුත්තා කෙරේ ය. ගිලී බලමි, ඒ ඇස් තුළට
කිමිදී බලමි. කිසිඳු වගකීමේ සහතිකයක් නොවේ. 'මං කැමතියි සරනි තමුසෙට'යි කී
නමුත්, මං ආදරේ කියන මොහොතක 'මං තමුසෙ බඳින්නෑ ඕයි, නවකතාකාරියක් වගේ මෙතන ටෝක්
දෙන්නෙපා'යි කී දරදඬු ඉතිහාසයක් ඔහු සතුව තියේ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ බරපතල
පිළිස්සුම් කැළලි හදවත පුරාම යසට පෙනෙන්නට තිබියදී, අන්තරාය නොතකා හදවත යළි මේ අමුත්තා
කෙරෙහිත් පෙමින් බැඳෙන්නට සූදානම් ය. සිතිවිලි සියල්ල ගුලිකොට පසෙක තබා, දෑත ඔහුගේ
බඳ වටා යවා හරබරි ගැහෙමි.
"මං එද්දි ඔයා ලේබරූම් ගත්ත විතරලු.
ඔයා ඉකිගහන සද්දෙ අහගෙන මට ආපහු යන්න හිතුන්නෑ.. ඔයා හරියට කෑ ගැහුව සරනි..."
ඔහුගේ නෙතඟ සිහින් දිලිසුමක් දකිමි. ජීවිතේ එක දිගට ලැබූ පරාජයන් ළඟ අද ජීවිතයේ සුවිසල්ම
දිනුම ලැබීමි. ඔහු නෙතඟ මා නමින් දිලිසුමකි. හිත සැනසේ, ඔහු වෙනස් මිනිසෙකු වී ඇත. මේ මීට වසරකට පෙර මිතුරන්ගේ
ඔට්ටුවකට මා හා හාද වූ සෙල්ලක්කාරයාම ය. අනාරාධිතවම කළලයක් කුසට වැඩියේයැ යි කියූ දා
රළු පරලුව හැසිරුණු අංගුලිමාලයාම ය.
උනා ආ කඳුළක්, අතීත මතක පෙරහරක් කැටිව
ආවේ ය. කලු පැහැ දිලිසෙන අවුඩියෙන් ගමන් ගිය පිරිමි විදුහලේ කඩවසම් කුරුල්ලා එදවස නගරයේ
බාලිකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරයා වී ය. සෙල්ලක්කාරයා වග දැන දැනත් , උවමනාතරං කෙල්ලෝ
ඔහු පස්සේ වැටී උන්නෝ ය. මොණරියක සේ ගෙල උස්සා, ඔහු දෙස නොබලාම ඇවිද ගිය මුත් මගේ යටි
හිතේද ඔහු පිළිබඳ අනිත් කෙල්ලන් වාගේම සාධාරණ කෙලි කෙනිත්තිල්ලක් නොතිබුණාම නොවේ. එහෙත්
මට දැනුනු ලෙසනම් ඔහු වටා උන් රුවැති මීමැස්සියන් ළඟ මා දුහුවිල්ලකි.
ලෝකය පුපුරා ගියේ එදා ය. මිතුරියන්
ගොන්නකට මැදිව උපකාරක පන්තිය ඇරඹෙන තුරු වල්පල් කියවමින් උන් අරලියා යායට ඔහු කෙළින්ම
අවුදින් බෝම්බය දෙපා මුලටම අතහැරියේ ය. 'මං තමුසෙට කැමතියි සරනි..' එපමණකි.
ඔහු ආදරේය කීවේත් නැත, මං ආදරේදැයි, අකමැතිදැයි ඇසුවේත් නැත. මිතුරියන් පසුව කී ලෙසින්නම්
මං මෝඩ සිනාවක් පෑවේලු. එනමුත් ඇස් කතා කරන්නට ඇත. ඉතින් එදා පටන් මම රණ මොණරියක වීමි.
'සරනි, උඹ අමාරුවෙ වැටෙන්නයි යන්නෙ...'
මිතුරියෝ රතු එළි දැල්වූහ. නොදැන උන්නා නොවේ,ඒත්..... කෙල්ලන්ගේ 'මේකි ගිය උඩක් යකෝ' කියන
ඉරිසියාකාර ඇස්, 'පස්ස බිම ඇනුනම බලමුකෝ' කියන සරදම් ඇස් සේම 'මොනාවුණත්
කෙල්ලක්නෙ, පව්' කියන කරුණාවන්ත ඇස් (මිතුන්ට තිබුණේ එයාකාර ඉතිහාසයකි.) දහස්
ගණනක් මැද්දේ මං ඔහුගේ මෙහෙසුන් වීමි. දුර දිග නොහිතා එකඟ වූවාට කල් යද්දී මං ඒ දඟකාර
ඇස් ළඟ දපනෙ වැටීමි. ඔහු මට කීවේ කැමතියි කියා මිසක ආදරේ කියා නොවන වග හිතා මතාම අමතක
කර දැමීමි. ඔහු ගැන පෙර සේම කළු පැහැ ආරංචි තටු ලබාම මවෙත ඉගිල්ලී ආවේය. නෙතු තරව පියා,
කන් වසාගෙන නොසැලීම ඔහු මත්තේම ජීවත් වුණෙමි.
ඉඳහිට ගුස්ති නෑල්ලුවාම නොවේ..රජගෙදර
පරවියා සේ කෙල්ලන් පිරිවරාගෙන ඉද්දී මට ඉරිසියා නොහිතෙනවානම් මං මළමිනියක විය යුතුය.
මුල් කාලයේ හැඬීමි, කිකිළියක සේ පොර ඇල්ලීමි. ඔහු වෙනස් කරන්නට නොහැකි වූ තැන අහිමි
කරගන්නට ලෝබකමට සියල්ල උහුලා ඉන්නට හුරු වුණෙමි.
උසස්පෙළ ලියන්නට ඔන්න මෙන්න තිබියදී
ගෙයි ගිනි ඇවිලුණේ ය. තාත්තාගෙන් අනන්ත අප්‍රමාණ පහර කෑවෙමි, 'ඒකා සල්ලිකාර සෙල්ලක්කාරයෙක්,
උට හැමතැනම ගෑණු, නංගියෙ උඹට නොකිව්වයි කියන්නෙපා' එක බඩවැල කඩාගෙන උපන් බැම්ම
ඉරිතලා ගියේ ය. සමවයස් කෙල්ලන්ගේ කොල්ලන්ගේ සරදම් කෙඳිරීම් වලට විෂය වීමි. මේ සියලු විපරියාස
අස්සේ කලකිරීම් මැද්දේ වුව, හිතේ ප්‍රේමය ශේෂ වී තිබිණ.
දළදඬුවා ඉඳහිට මා අත ගෙන ඇවිදින්නට
ගියේ ය. මැයි මල් පිරුණු රතු පාට හැන්දෑවක හිතුවක්කාර හාදුවක් නළලේ තියුවේ ය. රැළි
පෙරැලී දඟ කරන තඹ පාට වෙරළක බිංතඹුරු යායක ළං ළංව හිඳ ඉන්නා අතරක, හැන්දෑ ඉර වැටී පාට
වුණු වත බලා, 'තමුසෙ ලස්සනයි ඕයි, ලෝබත් හිතෙනව'යි කීවේය. කෙල්ලන් මේවාට
ලෝබ විත්තිය කියන්නට ඕනෑ නැතිකොට, මට දැනුනු හැඟීම ගැන කියා කුමට...අනේ මං මේ හිතුවක්කාරයාට,
දඟකාරයාට ආදරේ ඒකය.
වතාවක් දෙවතාවක්...නොවේ, කිහිපවතාවක්ම
කවුරුවත් නොයිඳි ඔහුගේ විසල් මැදුරේදී ඔහුගේම වීමි. ඔහුගේ රළු පරලු හාදුවට හුරුවී උනිමි,
කොපුල්, දෙතොල් රිදවා දඟ හාදු ලැබෙන තුරු මග බලා උනිමි. ඔහු මැසිවිලි කියද්දීම සුඛෝපභෝගී
දිව්‍ය රථය අයිනකට ගාල් කොට ඔහුගේ යෝධ අත් බාහුවක එල්ලී ගිනිගහන මද්දහන් වල සයුරට මෙහායින්
ගාලු පාර දිග, ගිනියම් තාර ඇතිරිලි මත ඇවිද ගියෙමු. දළදඩුවා මගේ බොළඳ දඟකාරකම් දරා
උන්නේ ය. ඔහු මට පෙම් නොකරන්නේයැයි කියන්නේ කෝම...?
ඔබ සමච්චලයට මට සිනාසෙනු ඇත.
"හරකියක්නෙ මහ.." ඔබ සිතින් දොස් නගනු ඇත. එහෙත් බොළඳ කෙල්ලක වුව, ප්‍රේමය
විෂයෙහි පරිණත ගැහැණියක ලෙස මම ඔහුට කොන්දේසි විරහිතව පෙම් කරමින් උන්නෙමි. ඔහුගෙන්
පෙරලා ප්‍රේමයක් නොලැබෙද්දීත් (බලාපොරොත්තු නොවී කීවොත් මුසාවකි ) මව්වත් සෙනෙහසකින්
ඔහුට පෙම් කරන්නට, බැඳී උන්නට උපේක්ෂාසහගත වුණෙමි.
මතු සබැඳි...
පෝස්ට් එකේ දිග වැඩි වෙද්දි font size එක අඩු වෙනවනෙ... කියවද්දි අපහසුයි වගේ. post edit තැනින් හදාගන්න බෑ. දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනි මට...
ReplyDeleteපලවෙනි කොටසත් කියවලම ආවා හරි අපුරැ බස හැසිරවීමක් තියෙන්නේ ඊ ලගය ලියමු ඉක්මනින් ජය ! හීන
ReplyDeleteස්තූතියි කිඹුලි... ලියමු ලියමු.
Deleteප්‍රේමය සදාතනික විශ්වාසය මත රදාපවතින ව්‍යාජ හැගුම් මාත්‍රයකි.........
ReplyDeleteකතා කාරියට හැගුම් දීම හරි අපූරුය...විටෙක ගැටීම් තුලින් හා ලංවීම් තුලින් ප්‍රේමය උපදීනම් එය කතාවකට අලංකාරය...එහෙත් එය ලෙහෙසි කාර්යක් නොවන්නේය.....මක්නිසාද යත්,මැදුම් පිලිවෙතක සිට එය කලයුතු බැවිනි...එය කල ඔබ සාර්තකය...
සුභ පැතුම් අසල්වැසි..
ඔබේ ඇගැයුම මට පන්නරයක්... තුති අසල්වැසි.
Delete'වැරදිකරු' නම් පුග්ගලයගෙ පැත්තෙන් මෙහෙම කතාවක් කියවෙන එක හරිම .. හරිම... මෙව්ව සහගතයි.ඉතින් අපි ආසයි.
ReplyDeleteජයවේවා..!!
"මෙව්ව සහගතයි..."??????????? ඒ කිව්වෙ?
Deleteඅභව්‍යයි ද...? ඔයා එයාව වැරදිකාරය කරලනෙ ඉතිං. චූට්ට්ට්ටක් හරි ආදරේ තිබුණද කවුද දන්නෙ...?
Delete3 පාරක් විතර කියවලා තෙරුන් ගත්තා. හැක හැක පම උනාට සමාවෙන්න.
ReplyDeleteඅපොයි එච්චර අමාරු තැන් තියනවද..? ටීකා ටිප්පනි ඕනෙ වෙයිද?
Deleteඑච්චර දුර දිග යන්න ඕනි නැති වේවි. හැක හැක.
Deleteපරණ සින්දුවක් මතක් වුනා අර පිරිමි ළමයා ගෑණු ළමයට කැමතියි කියපු විදිහ කියෙව්වට පස්සේ.
ReplyDelete'කවටකමට ඔබෙයි මගෙයි නම ලියා - යහළු ළමයි විහිලු තහළු මට කියා' (සී.ඩී.ෆොන්සේකා)
https://www.youtube.com/watch?v=OVd9sLo3GPA
ඉන්ටකො ඉන්ටකො සිංදුව අහල ඉන්ට. හැබැයි ගෙදර යනකල් ඉන්න වෙනව. මේ පැත්තෙ ඇවිත් යනවට ස්තූතියි.
Deleteබොහෝම ත්‍රාසය භීතිය පිරි කතාවක් බව පේනවා..
ReplyDeleteමට හිතෙන්නේ කතා නායිකාව හොල්මනක්, අවතාරයක්. මොකද ඔහොම කෙල්ලෝ දැන් නැහැනේ.. "දේවදුතිය" නැතිනම් "මෝහිනී" කියල දාමු.
අනේ... ඔන්න කිව්ව කතාවක්. යසිතට මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ. නෑම කියන්නත් බෑ යසිත්, ඒම ගැණු ළමයි ඉන්නත් පුලුවන්..ෆැන්ටසියක් වෙන්නත් පුලුවන්. ආදරේ වෙනුවෙන් හිතන්නවත් බැරි කැපකිරීම් කරපු ගැණු ළමයි මං personally දැකල තියෙනව. යසිත්නං කෙලි සනුහරේ එක්කම තරහෙන්ද කොහෙද.
Deleteසරනි ආදරය කරන්නේ ආදරයකටමද... නැත්නම් ආදරය හා බැඳුනු රාගයටද....love සහ lust එක ලඟින්ම බැඳුනු යථාර්තයක්. ඒ ගැන මෙහෙමයි කියන්නේ,"Lust can be almost instant (often mistaken for love at first sight) and is about physical attraction and idealisation." මම නෙමේ පොත්පත්වලයි එහෙම කියන්නේ.
ReplyDeletelove & lust කියන්නේ එකක් ඉවත්වුනු තැන දෙකම නැතිවෙන ලොකු කතන්දරයක්. මම වැඩිහිටි වැඩිද මන්දා මේවා කියන්න.
වැඩිහිටි කොමෙන්ටුත් එපැයි මට අඩුපාඩු හදාගන්න. වෙල්කම් ඈ..
Deleteසරනි ගැන , සරනිගෙ ආදරේ ගැන කපා කොටා, විච්ඡේදනය කරල බලන එක ඔයාලට බාරයි. Love & lust ගැන Analyze කරන්න මට හොඳටම අත්දැකීම් මදි. ඔයාල ඒක කරන්න, මං කොමෙන්ටු දිහා බලාගෙන ඉගෙනගන්නව. අඩුපාඩු කුරුටු ගාල යන්න අරුණ, ඒක මට ඊළඟ ලියමනට උදව්වක්...
ස්තූතියි.. තව එකක් විතර ලිව්වම ඔයාට මුලු සරනිවම. මිතුන්වම අඳුන ගන්න පුලුවන් වෙයිද බලන්නකො.
ආශාව කියන එක ලිංගික lust විතරක්ම නෙමෙයිනෙ? ඔහුගේ /ඇයගේ පෙනුමට, මුදලට, ප්‍රසිද්ධියට, අනිත් අයට පේන්න, අන් අය පරදවා කෙනෙක්ව ලබා ගන්න වගේ ගොඩක් දේවලට ආශයිනේ?
Deleteවෙල්කම් Pra Jay... බොක්කෙන්ම පිළිගන්නව ඈ
Deleteඒ විතරක් නෙමේ, හිනාවට, කොණ්ඩෙට,පෞරුෂේට... මෙකී නොකී බොහොමයක් දේවල් වලට ආශාව ඇති වෙනව. සරනිට වුණෙත් ඒකද කවුද දන්නෙ. ඉස් ඉස්සරෝම කවුරුත් උනන්දු වෙන පිරිමි ළමය ගැන ආසවක් එන්නැති. පස්සෙ ආදරේ කරන්නැති.
ආදරේ ඇතිවෙන හේතුනං මං අහගන්ට කැමති ජීවිතෙත් එක්ක පරිණත වුණු ඈයොන්ගෙන්.. මං වගේ අය තාම ඒකට සුදුසු නෑ.
Pra Jay ගෙ කමෙන්ටුවට එකඟයි. ඔය වගේ ගොඩාක් දේවල් වලට ආසාව ඇති වෙනවා. ඊට පස්සෙ එන්නෙ ඒ හැම දෙයක්ම අයිති කරගන්න ඕනෙ කියන හැඟීම නේද?
Deleteආදරේට sex කියන දේ එකතුනොවෙන තාක්කල් ඒක මාරම ලස්සනයි.sex එකතුවුනාට පස්සේ අතිසුන්දරයි; ටිකකාලෙකට විතරක්.කල්යද්දි අර මුල්කාලීන ආදරේට තියන පෙරේතකම වැඩිවෙනවා මාරම විදිහට.ඒත් ඒ වෙනකොට යන්න තියන දුර ගිහින් ඉවරයි.ආදරේ කෑලිවත් ඉතුරුවෙලා නෑ.
ReplyDelete////ආදරේට sex කියන දේ එකතුනොවෙන තාක්කල් ඒක මාරම ලස්සනයි.//////
Deleteකටුස්.....මාරම ලස්සන ආදර තියෙන්නේ පොත්වල විතරමද මන්දා :
ලව් කියන්නේ නන්දලා, සුනිල්ලා කියනවා වගේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි" වගේ සාම, අමර කතාවක් නෙමේ බං. මගේ කමෙන්ට් එක ටිකක් විවාදාත්මකයි. ඒත් ඇත්ත කියන්න බය මොටෝ. සෙක්ශුවල් ඇටෑච්මන්ට් එක නැති තැන සෙන්ටිමෙන්ට්ල් ඇටෑච්මන්ට් එක හෝ සෙන්ටිමෙන්ට්ල් ඇටෑච්මන්ට් එක නැති තැන සෙක්ශුවල් උවමනාව වත් ඇතිවෙන්නෙත් නැහැ. එහෙම පුලුවන් අය ඇති....ඔවුන් බුදුවෙන්නට පෙරුම් පුරන මොඩ්ල් එකේ අය හෝ පට්ට වලත්තයෝ වෙන්න ඇති කියලා මට හිතෙන්නේ. මම කතාකරන්නේ ප්‍රායෝගික ලෝකයක් මිස ජාතක කතා පොත්වල එන ස්ටෝරිස් ගැන නොවේ.
චන්ද්‍රලේඛා ගායනා කරන මේ ගීතය අහලා බලපන්.ප්‍රියානන්ද විජේසුන්දර ලියූ ගීතයක්.
Deleteප්‍රේමය නම් කිමක්දැයි කියා දෙන්න යැයි ඉල්ලා සිටින්නේ ශීත රාත්‍රියක ඇගේ ලයට ඔබේ වත තියා.
ප්‍රේමය නම් කිමක් යැයි කියා දෙන්න කියන්නේ මේ ශීතලපාලු රාත්‍රියක සඟවා මා ලය මත ඔබගේ වත,. රොමැන්ටික් ඉහලම තැන.
Delete//"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි"// මේක අදාල වෙයි අම්ම, තාත්ත දරුවෙකුට දෙන බැඳීමට. පෙම්වත්තු දෙන්නෙක් අතරෙනං ආදරේ මෙහෙම වෙන්න බෑනෙ. ඒ ආදරේ අරමුණම රාගයෙන් තොර වෙන්නෑනෙ,
Delete//සෙක්ශුවල් ඇටෑච්මන්ට් එක නැති තැන සෙන්ටිමෙන්ට්ල් ඇටෑච්මන්ට් එක හෝ සෙන්ටිමෙන්ට්ල් ඇටෑච්මන්ට් එක නැති තැන සෙක්ශුවල් උවමනාව වත් ඇතිවෙන්නෙත් නැහැ.// මේකනම්.... අනේ මන්දා. එහෙනම් ඇරුණ පිරිමි ඈයො ගණිකාවො ළඟට යන්නෙ මොන විදියෙ sentimental attachment තිබිලද...?
ඒක මනුස්ස සොබාවෙ කටුස්ස. අයිති කරගෙන විඳිනකල් විතරයි හැමදේම. ඊටපස්සෙ හිස්තැන් පේන්න ගන්නව, අතීතෙ තිබුණු දේවල් සර්ව සම්පූර්ණව තිබ්බා කියල හිතෙනව. කොහොමත් උනන්දුව අඩුත් වෙන එක ඇත්තනෙ. ඊට පස්සෙ අර පරණ මතක ගැන හූල්ලනව, තැවෙනව.
Deleteමාසෙට කීපාරක් "ඔයා වෙනස්වෙලා අනේ, ඉස්සර වගේ මට ආදරේ නෑ කියල" තමන්ගෙ පෙම්වතීගෙන් අහන්න වෙනවද කොල්ලන්ට. Vise versa for girls also.
/////මේකනම්.... අනේ මන්දා. එහෙනම් ඇරුණ පිරිමි ඈයො ගණිකාවො ළඟට යන්නෙ මොන විදියෙ sentimental attachment තිබිලද...?//////////
Deleteලේ......මම මේ අදහස එකතුකරන්නේ ආදර සම්බන්ධතා කියන විශයට අදාලවයි. පෙම්වතුන් හා පෙම්වතියන් අතර බැඳීම මුලීක කරගෙන.
අගේට ගලා ගෙන යනවා.... මිතුන්......උෘ ඒක විතරයි කරලා තියෙන්නෙ... ඒත් එලියට එන්න දගලන්නේ ඒ තළු චරිතෙ ඇතුලේ තියෙන සුදු පාටද..... අපි නොයිවසිල්ලෙන්.......
ReplyDeleteඅනේ මන්දා... මටත් හිතාගන්න බෑ වගේ. ස්තූතියි ඉන්දික.
Deleteඅදයි ආවෙ..
ReplyDeleteසීරිස් එකක් නේ, එක කියෝලා, දෙකත් කියෝලා.. තවත් කියවන්න වෙනවා..
ෆලෝවක් දාලා තියමි !
ජය !!
සැරද.... වෙල්කම් වේවා..සෑම්
Deleteඅයියූ නෑ, තව චුට්ටයි. පසුපස පන්නාගෙන ඒම පිළිබඳ මාගේ බලවත් මෙව්වා එක.
හම්මේ දෙම ක පා කියව් වු හර මහන්සියි
ReplyDeleteහිහි.. ඉතුරු කොටස් ටිකත් ඉක්මණට දායි කිල හිතනව
ජයවේවා
ඒ කියන්නෙනම් ලියවිල්ල අසාර්ථකයි. කියෙව්වම මහන්සි දැනෙනව කියන්නෙ රසවින්දෙ නෑ කියලනෙ. ඕනෑම කොමෙන්ටුවක් බාර ගන්නව මහේෂ් අය්යෙ. මං කලිනුත් කිව්වෙ, මං ලියන්න ඉගෙන ගන්නෙ, අඩුපාඩු හදාගන්නෙ ඔයාලගෙ අදහස් බලල. ඒ නිසා ඇත්තටම හිතෙන දේ කියන්න. අඩුපාඩු ටික හදාගන්න මට ඒක හුඟක් වටිනව.
Deleteපට්ට පට පට!
ReplyDeleteමුලින්ම සමාව ඉල්ලනවා මෙච්චර කල් ගත්තට එන්න...
කොටස් දෙකම කියෙව්වා. සුපිරියි. කියන්න ඕන මොනවද කියලා හිතාගන්න බෑ. ඊලඟ කොටස වහාම ප්ලීස්....
ඒකනෙ, මෙතූ කොහෙද මෙච්චර දවස් ගිහින් හිටියෙ..? තැන්කූ වේවා. ඔන්න ආව අන්තිමේ.
Delete