Sunday, 1 May 2016

දේවදූතිය ( අවසන් කොටස )




 
ප්‍රේමය පුපුරා යන්නට මහ කලක් ගියේ නැත. ඒ, අනාරාධිතවම කළලය ම'කුස යහන කරගත් දාය. මුල්ම වෙඩිමුරය නැගුණේ නිවසිනි, නිවැසි සියල්ලෝම තාත්තාට සහය දුන් බලකායේ වූහ. සියල්ල පසෙක තබා කරපින්නාගත් ප්‍රේමය, දරු ගැබ වෙනුවෙන් තුලාවකට ඇද දැම්මේ ඔහුමය- මිතුන් මය. සියල්ලෝ දරු ගැබට එරෙහිව අවි අමෝරා ගනිද්දී මම පැකිලීමි. ස්වභාවයෙන්ම සංවේදී කෙල්ලක වූ හින්දාම, ඒ වේදනාව දරන්නට පැකිලුනෙමි. ආගමට දහමට ඇලී උන් කෙල්ලක නොවූවාට මට පුලුපුලුවන් හැටියට ගලපා බලද්දී මහා පාප කර්මයක් වූ ඒ ඝාතනයට මගේ කුස ඇතුලේ ඉඩකඩ හදා දෙන්නට බිය වීමි...,වචනයේ පරිසමාප්ත අරුතින්ම මම බිය වීමි.

'මට ඕනෙ නෑ බබාව නැතිකරන්න අම්මා..' විසල් දෑසින් බලා හිඳි අම්මා, අදහාගත නොහැකි යමක් ඇසුණු විටෙක මෙන් බලා වුන් අයියා, අඩි පොළොවේ හප්පා ගෝරනාඩු කළ තාත්තා මතක ය. එතැන් පටන් නිවසේ වූ වාද විවාද, ගෝරනාඩු, සණ්ඩු සරුවල්, අවවාද- දේශන වල තරම මෙහි ලියා කුමට...?

'පිස්සුද සරනි..? ඕක නැති කරල දානව. මං තමුසෙව බඳින්නෑ කිව්වනෙ.' මේ ආරංචියට පස්සා පැත්ත ගිනිගත් හනුමන්තා සේ ගෙදරටම අවුත් මිතුන් මට දොස් තියුවේ ය. ඉස් ඉස්සරෝම ගෙට ගොඩවුණු ඔහු එදා ඔහු යන්නට ගියේ අයියා එක්ක හරි හරියට පටලැවී ය.

එදා පටන් නිරන්තර තෙරපුමක් හදවතේ නිදන්ව තිබුණේ ය. එය කියාගන්නට, කියා නිදහස් කරගන්නටවත් ලතෙත් හදවතක් මා වටා නොවුණේ ය. මේ සියලු අලකලංචි අතරේ නොදැනීම කුස හෙමින් මෝරමින් තිබිණ. කුස මෝරන්ට මෝරන්ට තාත්තා හා අයියා මගෙන් දුරස් වූහ. මුල්ම කාලයේ හිරු එළිය බිඳක්වත් නො එන්නට තිරරෙදි සියල්ලම වසාගෙන රෝස පැහැති කාමරයේ අඳුරුම මුල්ලට වීමි. අම්මාගේ වෙඬරු හදවත උණු විණ. දරුගැබක් දරා, විසල් කරගත් අසරණ ඇසින් යුතුව බලාගත් අත බලා ඉන්නේත් ඇගේ සිඟිත්තියම වග වටහාගත් පළමු නිමේෂයේම ඇය සියලු විරෝධතා නොතකා මගේ සවියට ආවාය.

එක්ටැම්ගෙයක විහින්ම සිරවී මම හදවත අතින් පොඩි කරගතිමි. ඒ...ඔහු අත ගෙන ඇවිද ගිය නිමේෂයන් ගැන මතක සිහිවී නොරිදෙනු පිණිස ය. පාසල් වියේ නම නොදන්නා බැඳීමක පැටලී, එය ඒකපාර්ශවික ප්‍රේමයකට හරවාගෙන මංමුලා කරගත් ජීවිතය ගැන මුල්ම වරට ගැඹුරින් සිතන්නට පෙළඹුවේ ඒ රෝස පැහැ කාමරය වසාගත් අඳුරයි, තනිකමයි. සිදුරු අස්සෙන් රිංගා එන ආලෝක ලප කිහිපයක එළියෙන් ප්‍රේමය හදවතින් ගලවා සුදු පැහැ ටයිල් රටාව මත බාවා, සැතකින් කපා විවර කර බැලීමි. කපා, කොටා ගැඹුරට හාරා බැලීමි, විශ්ලේෂණය කළෙමි. ලේ පාට මතක සුදු ටයිල් මත්තේ බේරී ගලා යනු බලා උනිමි. අවසන, ප්‍රේමය පාට පාට රසබර දවටනයක එතූ ශුන්‍යාවකාශයක් පමණක්ම බව වටහා ගතිමි. එතැන් පටන් හදවතට ප්‍රේමය අපුල වන්නට ඇත. හදවත සියලු දුකින් විනිර්මුක්ත වූවා නොවේ, නමුත් ප්‍රේමය අරභයා වේදනා දරාගන්නට වුවමනා තරමට පදම් වී තිබුණේ ය. ඉඳිකටු තුඩක සීරුමටත් හැඬූ සමනල හදවත, අකුණු පුපුරද්දීත් බියගත් හදවත, කබර සමක ඔතා පතුලකට එබුවෙමි. ඇස්වල තෙත මකා දිරියක පැහැ තවරාගතිමි. කෙලිත්තිය ගැහැණියක් වූයේ එදා මිතුන් අතින් නොව, මෙදා තනිකමේ අනුහසිනි.



සියලු දොම්නස් දරා ඉන්නට හදවත සවිමත් වූ දා පටන් මම මෝරන කුසට යටින් ගැහෙන ලේ කැටිය වැඩෙනු බලා ඉන්නට හුරු වීමි. ශුන්‍ය හදවතක් දරා නිදි නැති රාත්‍රීන් ගණනක විසල් තනි යහනේ වැතිර හිඳිද්දී මගේ තනි මකන්නට උන්නේ මේ ලේ කැටියා විතරමය. හිමි හිමින් විසල් වන ලේ කැටිත්තට අලුතින් සෛල මැවි මැවී රොද බඳින හැටි අතිශය සියුම් ගුම් නාදයක් ලෙස අසන්නට හැකි තරමට ඒ රාත්‍රීන් ලේ කැටියා හා මා කෙරේ නිශ්චල වී, නිසංසල වී. අවසන මේ නොදන්නා-නුදුටු ජීවියා කෙරේ ම'හදවතේ නොබිඳෙන බැම්මක් ඉපිදී තිබිණ. එවන් මොහොතක මේ සිඟිති අතපය ගලවා, ගෙල කඳින් සිඳ අමු අමුවේ කළලය කුසින් ඉවතට ඇද දැමීමේ පාපයට කර නොගැසීම ගැන අප්‍රමාණව සැනසීමි.

මේ අලකලංචි මැද්දේ වෙන කතන්දර වල වංචාකාර පෙම්වතුන් සේ පැදුරටත් නොකියා මිතුන් පලා ගියේ නම් නැති. එහෙත් මසකට සිවු වරක්වත් අවුත් විරෝධය පල කරන්නටනම් නොපැකිලුණේ ය.
'තමුසෙ මොකක්ද ඕයි ඕකත් එක්ක කරන්නෙ..? ඤං පචං ගාගෙන මං පස්සෙන්නං එන්නෙපා...'
හැමදාම 'තාත්තා' ගෝරනාඩු කරනවා කුසේ උන් දරු පැටියාද අසා ඉන්නට ඇත. දළදඬුවා දරා උන් හදවත, ප්‍රේමය අහිමි වෙතැයි බියෙන් උහුලා ඉන්නට පුරුදු වු, විරුද්ධ නොවෙන්නට පුරුදු වූ සමනල හදවත ඇතිතරම් පදම්ව තිබුණේය.
'කවුරුවත් ඕනෙ නෑ, මං හදාගන්නව පැටියව', ඉතිං එක'ටෙක කීමි. එවන් මොහොතක ඔහු ගස්සාගෙන යන්නට ගියේය, යළිත් සතියකට විතර පස්සේ අවුත් යළිත් දරදඬු රැස් වළල්ල පෙන්වා පෙරසේම යන්නට ගියේය.

මේ කතාව අභව්‍ය යැයි ඔබ සිතනු ඇති. මිතුන් වටහාගත නොහැකි චරිතයක් යයි, මා මෙලොව පවතිනු නොහැකි ජීවී විශේෂයකැයි ඔබ කියනු ඇත. මිතුන් ජීවත් වූ සමාජ අවකාශයේදී විවාහය අතිරේක කාරණාවකි. ඒ ගැඹුරට මුල් ඇදුණු මත පරයා, අතැර දමා යා නොහැකි බැඳීමකින් ඔහු යළි යළි මා සොයා ආවේය. ඒ හැඟීම පැහැදිලිව වටහාගන්නට ඔහුට හැකියාවක් නොවී... සමහර විට උවමනාවක් නොවන්නට ඇත. මිනිස් ජීවිතය සංකීර්ණ කාරණාවක් වෙද්දී, මිනිසුන්- ගැහැණුන් අතර බැඳීම් වටහා ගත නොහැකි තරමට සංකීර්ණ වෙද්දී මං මෙහි සරල කතා ලියා කුමට...? එතරම් සංකීර්ණ ලෝකයක මිතුන් සේම මමද අභව්‍ය පුද්ගල චරිත වන්නේ කෝමදැයි කියවන නුඹෙන් අසනු කැමැත්තෙමි.

ඉර මෝරා දවස් ගෙවෙද්දී මෝරන කුස, මගේ ගමන් තාල වෙනස් කළේය. සිඟිත්තියට රිදේ යැයි බියෙන් කෙටි අඩි තියන සංවර ගමන් රටාවකට හුරුවීමි. කෙටි සාය, ස්කිනි අතැර දිග, සැහැල්ලු ගවොම් වලට මාරුවීමි. කල් යත්ම කතා පෙට්ටිය වසාගත් ගොළු දළදඬුවා, මා අමාරුවෙන් පා නගන දිහා, මගේ ඉදිමුනු පා දිහා නිශ්චල දෑසින් වරු ගණන් බලා හිඳ යන්නට යන්නේය. නමුදු කුස නෙරා එද්දී ඔහු මෞන ව්‍රතයක උන්නේය. එකම එක වතාවක් යන්නට කලින් 'මොනා වුණත් තමුසෙ පින් පාට වැටිලා'යි කියුවේ ය. එනමුත් ප්‍රේමයේ ශුන්‍යාවකාශ වටා එතූ දේදුණු පාට දවටනයේ රඟ දන්නා, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මේරූ ගැහැණිය එවන් කණමැදිරි එළි නොතකා හැරියා ය.

ප්‍රසූතිය වෙනුවෙන් රෝහල්ගතවන්නට තෙසතියක පමණ පෙර සිට ඔහු නෑවිත් උන්නේ ය. එදා ප්‍රේමය වලදමා උන්නාට, ඇස් ඔහු එනතුරා ඒ තෙසතිය පුරාම මඟ බැලුවේ ය. හදවත, බළලුන් ලවා කොස් ඇට බෑවූ බව වැටහුණේ අද ය. දැන් ඔහු දකින විට සැනහුනු විදියෙන්නම්, දෑස් නමින් මඟ බලා තිබුණේ හදවත වග සැනින් වටහා ගතිමි. දුක තනිව නොවිඳිනු පිණිස, බෙදා හදා ගන්නට ඔහු ඇවිදින් ය. ප්‍රේමය අපුල වූ හදවතම සැණින් යළි ඔහු හා ප්‍රේමයේ බැඳී තිබිණ. නොතේරේ....වටහා ගන්නට බැරිතරම් හදවතේ ලේ ගලන නහර- නාලිකා, කේශ නාලිකා වැඩිය. ඒ හින්දාම නොහිතා හිඳිමි.

මා හිඳින්නේ ඔහු ලය මත්තේ ය.හදවත ගැහෙන හඬ ඇසෙන මානයේ ය. මේසා උණුහුමක් මම මේ පපුතුරෙන් වින්දාම ය.
"මට ගෙදර යන්න ඕනෙ" හදිසියේම ඒ පපුතුරෙන් හිස ඔසවා කියමි.
"යමු සරනි, සනීප වුණුගමන් යමු..." දහදියෙන් පෙඟී එකට ඇලුණු මගේ කෙස් අතරින් ඔහු ඇඟිලි තුඩු ඇවිදවයි.
"ආදරෙයි.”, විගසින් පපුතුරෙන් මෑත් වී අමුත්තාගේ මුහුණට එබෙමි, අවිස්වාසදැයි අසන බැල්මක් දෙඇසෙහි අතුල්ලා යළිත් ඔහු මට "ආදරෙයි" කිය යි.
අහස පිපිරිණ, පොළව දෙදරිණ. ළඟ උන් දෙවසරකට පසු දූගේ තාත්තා ඉස් ඉස්සරෝම මට ආදරේ කියා තිබේ. සුසුමක් හෙලා යළි පපුවටම වාරු වෙමි, ඒ.... වාරුවක් නොවී නම් විශ්වාසයෙන්ම බිම ඇදගෙන වැටෙන බව දන්නා හින්දා ය.

කෙලවර ඔහු ආවේ ය. එනමුදු කාටවත්ම ඕනෑ නොවූ, මට විතරක්ම එපා නොවූ සිඟිත්තිය මෙලොවට එන්නටත් කලින්ම දෙඇස පියාගෙන උන්නාය. ඇසින් යළි කඳුළක් ඉහිරිණ. වේදනාවේ ගිනියමක් සේම සොම්නසක අංශුවක්ද ඒ කඳුළේ මුහුව තියෙන්නට ඇත. වෙනදා කඳුළු වැටුණේ තනියම ය. අද කඳුළු කැලලි නොතියා පිසදමන්නට දූගේ තාත්තා මෙතැන හිඳී.

සියල්ල පෙර'පර ගලපා, වැරදී- අපිළිවෙලට අමුණා තිබූ ජීවිතය පිලිසකර කර දී දේවදූතිය යන්නට ගොස් තිබුණා ය.

"අපි බඳිමු...තව පැටියෙක් හදමු.". බරැති කටහඬකින්, ම'හිසට ඉහළින් මට ඇසිණ. හිත නිවී ගියේ ය. මා කේන්ද්‍ර කොට ගෙන නැවතී තිබුණු කාලය ටික් ටික් හඬින් යලි දිවිල්ල පටන් ගත්තේ ය.අංගුලිමාලත් රහත් වූවානම්, මේ දළදඬුවා මුදු නොවී කෝම...?



ඔහු සමාවන්නැයි කියුවේද නැත.. ඔහු සමාව ඉල්ලාවි යැයි හදවත බලාපොරොත්තු මාත්‍රයක්වත් තියා උන්නේද නැත.. ඒ, මේ ඉන්නේ ඉස්සර දළදඬුවාම වග හදවත දැන උන් හින්දා ය.. ඒත්... ඒත් ඉතින් ඒ හැමෙකකටමත් වඩා මේ මගේ (නූපන්නාට ) දූගේ තාත්තා ය.

නිමි.

43 comments:

  1. මේක කියවන්න තමයි බලාගෙන හිටියෙ. මොනවා කියන්නද ? සුපිරි !

    //කෙලිත්තිය ගැහැණියක් වූයේ එදා මිතුන් අතින් නොව, මෙදා තනිකමේ අනුහසිනි.//

    //ඒත් ඉතින් ඒ හැමෙකකටමත් වඩා මේ මගේ (නූපන්නාට ) දූගේ තාත්තා ය.//

    හදවතට වදින වචන හැසිරවීමක්!

    තවත් කතාවක් ඉක්මනින් ඕනෙ .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතූ කොමෙන්ටුවටත්...,ඉස් ඉස්සරෝම කියෙව්වෙත් ඔයා වගේ

      Delete
  2. එක් උනානෙ..
    ඒ ඇති.හීනයක් වගේ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් කැමති වුන්නෑ කතාවට... මුල ඉඳන්ම මට ඒම හිතුණ. හරිද මන්දා. කොමෙන්ටු වල බනින්න බැරිනම් මේලයක් එවල අඩුපාඩු කියන්න ගස්. මං අඩුපාඩු හදාගන්නෙ ඔයාලගෙ උදව්වෙන්.

      Delete
  3. උදාර කාන්තාවක් ලගදීම තවත් කතාවක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. උදාර කාන්තාවක්...?? අනේ මන්දා. මට හිතෙන්නෙ ආදරේට ලෝබ, ආදරේ හොයන කෙලි හිතක්. ස්තූතියි සලිත දිගටම පස්සෙන් ඉන්නවට.

      Delete
  4. හපොයි මුල ඉඳන්ම කියවන එන්න වෙනෝ, කතාව මග හැරිලා.

    ReplyDelete
    Replies
    1. කියවන් එන්නකො ඒනම්.. ඇවිත් ඇත්තටම හිතුනු දේ කියල යන්න සොමි යා.

      Delete
  5. ඒ කතාවත් එහෙම වුණාලු එහෙනම්... :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. ඒම වුණාට කැමති නැද්ද සිතූ?

      Delete
  6. හම්මේ මොනව කියන්නද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් සේරම කියවන් එද්දි තේරුණ කොමෙන්ට් වල desperate ගතියක් තියෙනව කියල. මට දැනුනෙ මං අසාර්ථකයි වගේ. ස්තූතියි කොහොම වුණත් කොමෙන්ටුවක් තියල ගියාට.

      Delete
  7. අලුත් වගේ
    පලමු දෙවනි කොටසුත් කියවලාම එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. අලුත් අලුත්. හොඳටෝම අලුත් මනෝ. කියවල ඇවිත් හිතුණු දේ කියල යන්නකො.
      එනිවේ, වෙල්කම් ඈ....

      Delete
  8. සරනි,මේ ලිපිය මා ආරම්භ කරන්නේ කෙසේ දැයි අරමුණකින් යුතුව මේ ලිවීම ආරම්බ කලා නොවෙමි.එහෙත් මෙය ලිවිය යුතුමය.ඒ හෙයින් ලියමි.අග මුල නොගැලපිය හැකිය.එහෙත් මේ මා නොකිවූ ඒ කථාවයි.මා විස්වාස කරන්න යැයි මා නොයිල්ලමි.එහෙත් මා දනිමි ඔබ ආදරයේ ප්‍රතිමූර්තියයි.
    ඔබ මා තනිවූ ඒ නිමෙෂය මේ තරම් පසුතැවීමක්,අසරන වීමක් දැනේවියැයි මා නොසිතුවෙමි.මා ඔබට ආදරය නොකලා නොවේ.කළෙමි.එහෙත් ඔබට ආදරය කරනවායැයි කියා ආදරය කර ඇත්තේ මටමය.එය අප්‍රසන්නය,හිරිකිතය.එහෙත් ඔබ හාත්පසින්ම වෙනස්ය.....බොහොම ස්තූත්යි සරනි.ඔබ දරු ගැබක් දරා සිටිනවා යැයි දැනගත් මොහොතේ මා අසරණ වූ තරම..ඔබ නොදන්නවාට නිවසින් ඒවන විටත් යෝජනාවක් ගෙනවිත් තිබිනි......මා කෙසේ නම් මාගේ මවට පිටුපා හැකිද?ඔබ නොදන්නා තවත් එක් කාරනයක් ඇත.මා කුඩා කාලයේදීම මාගේ පියා මියගොස් ඇත.මේ තාක් කාලයක් මා රැකබලා ගත්තේ මවය....තාත්තා කියා මා සුලු පියාට ඇමතුවාට.ඔහුගෙන් කිසිම දිනක පියෙකුගේ ආදරයක් නොලැබුනි.එහෙයින් මා පියෙකුගේ ආදරය නොහදුනමි.මේ තරම් කාලයක් මා රැකබලා ගත් මවට එරෙහි වීමේ හැකියාවක් මට නොතිබිනි.එය කෙතරම් ඒකපාර්ශිකයි මට වැටහෙන්නේ දැන්ය.මේ මා සදහන් කල කාරනා කිසිදු අවස්තාවක සාදාරනී කරනය කල නොහැකි බව මා දනිමි.දෙවියන් වහන්සේ මා ත‍යාගය ලබා ගැනීමට සූදානම් වනතෙක්ම එය මාවෙනුවෙන්ම වෙන්කර තැබීය...ඔබට ස්තූතියි ස්වාමිනි....
    ඔබේ කුසේ සිටි දරුවා ඔබ හා මා දරස් කරනවායැයි මට සිතුනි.අනෙක් කාරනයනම් දරුවෙකු සමග කාන්තාවක් විවාහ කරගන්නවාට මාගේ මව කිසිසේත්ම කැමති නොවන බව සිතුවෙමි...මා වඩාත්ම බියවූ කාරනාවනම් සමාජයේ පිලිකුල හිමිවීමයි...එහෙත් ඔබ ඒවා ලැබෙත්ම වඩාත් ශක්තිමත් විය.එහෙයින් ඔබ ආදරයේ ප්‍රතිමූර්තිය වූවාය.
    දිනෙන් දින ගතවන විට ඔබතුලින් මා දුටුවේ අපගේ ස්වාමිදරුවාවය.ඔහුගේ ප්‍රේමය,ආදරය,අනුකම්පාව ඔබ තුලින් ජීවමාන විය.නැවත පෙරලා ඔබට ආදරය කිරීමට ,ඔබ හා කතා කිරීමට මට අයිතියක් ඇතැයි මා නොසිතමි.එහෙත් අයිතියට වඩා අවශ්‍යතාවය උත්සන්න විය.එහෙත් එක් වචනයක් වචනයක් පාස ඔබ මා ප්‍රතික්ෂේප කරන බවක් හැගිනි.එවලෙහි පටන් මා අතීතයට එබිකම් කිරීම ඇරබීමි.පැහැදිලිය ඉතාම පැහැදිලිය වැරදිකරු,මාය.ඔබව ප්‍රතික්ශේප කල හිරිකත කල මා මාම පමනක් දුටු නින්දිතයා මමම ය.එහෙත් මට ඔබ හමු නොවී සිටීම කල හැක්කක් නොවේ.කෙසේ හෝ අවසානයේ මා දැනගත්තේ ඔබ දරුවා ලැබීමට රෝහල් ගතව ඇති බවයි.එහෙත් දෛවය කෙතරම් කුරිරුද...දරුවා මෙලොව හැරගොස්ය...මා දනිමි මට කම්පාවීමට අයිතියක් නැත...මා වැරදිකරුය....ඔබ හා දරුවා ගැන නොසිතූ පාපතරයා මමය.එහෙත් මට ඔබ හා දරුවා පිලිබඳව අවශ්‍යතාවයක් පැන නැගී ඇත.......
    මම ආදරෙයි සරනි,දෙවියන් වහන්සේ මට දුන් ත්‍යාගය දිවිය පුරාම රැක ගනිමි....අපේ දරු පැටියා දෙවියන් වහන්සේ ලඟය..ඒ ටික කාලයකටය...ඔබ මා හිමිකරගන්නා තෙක්....නැවත දෙවියන් වහන්සේ සූදානම්ය....ඒ දරු පැටියා ඔබගේ කුසෙහි තැන්පත් කිරීමට....මට තාත්තේ කියන ඔබට අම්මේ කියන පුංචි දෝනියක්....,

    මීට,
    ඔබේම,
    මිතුන්....

    ReplyDelete
    Replies
    1. Ha ha.. Rasika is there.
      ඔයා සැබෑ රසිකයෙක් ඈ... ලියමන කියෙව්වා රසික. කොල්ලෙක්ගෙ හිතකින් බලල ලියපු එකක්. මං කතාවෙදි මිතුන්ගෙ අම්මට සුදු පාටක් ගෑවෙ. ඒක චුට්ටක් වෙනස් වෙලා මෙතන.
      මං උත්තර ලියන්නෙ නෑ...මං ඉතින් කතාව පුරාම සරනිගෙ පැත්තෙන්නෙ ලිව්වෙ.

      තව දෙයක්... හුඟ දෙනෙක් සරනිව හුඟක් උත්තම විදියට දැකල. මට හිතෙන්නෙ සරනිත් වෙනස් වෙන හිතක් තියෙන ගෑණියක්. මිතුන්ට ළං වුණේ ආදරේකින් නෙවේ එයා, පස්සෙයි ආදරේ කළේ. මිතුන් වෙනස් වුණාම ජීවිතේ තනි වෙද්දි එයා ආදරේ අප්පිරිය කළා. පස්සෙ ආදරේ තියෙනව කියල දැනගත්තම එතෙන්ට ඇලුණ. වෙනස එයා එක්කෙනෙක් මත්තෙම නැහුන එක.

      ගොඩක් ස්තූතියි මල්ලි. මං බලාපොරොත්තු වුණේම නැති තල්ලුවක්. ලස්සන උත්තරයක්. මට සතුටු හිතුන මේඅ දිගම දිග ලියමන දැක්කම.

      Delete
    2. කෙල්ලො කොහොමත් පේන්නෙ ශුද්ධ වන්තයො වගේනෙ...හැක් හැක්....

      අප්පට උඩු..... බලාගෙන තල්ලුවට වැටිල තුවාල වෙයි...

      Delete
    3. Adow kellanta eka eka ewa kiyanne...kollanta wadaa kello hodai. Hikz

      Delete
  9. ම්... ම්... ම්... මොනා කියන්නද? දැනෙන්න ලියලා තියෙනවා. තවත් එකක් ( කතාවක් ) එනතුරු බලන් ඉන්නවා.

    ජය වෙවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී. කම්මැලි අප්ප ලියන්න ගියාම...ඕකනෙ කතාව.

      Delete
  10. අපූරු අවසානයක්.... මෙතු කියුව වගේ වචන හැසිරවීම අගෙයි..

    තවත් කතාවක් ඉක්මනික් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි. මට ඉතිං අවසානෙ දුෂ්ට කරන්න හිතුන්නෑ. ලෝකෙ කවුරුවත්ම කලුම කලු නෑනෙ. මට කටුස්ස දවසක් කීව, ලෝකෙ කලුම කලු මිනිස්සුත් නෑ, සුදුම සුදු මිනිස්සුත් නෑ...ඉන්නෙ අලු පාට මිනිස්සු කියල. මං ඒක ඔලුවට දාගත්ත.

      Delete
  11. //මේ කතාව අභව්‍ය යැයි ඔබ සිතනු ඇති. //
    Truth is stranger than fiction.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක් කියන එක නෙමෙයි මං උඩ කමෙන්ට් එකෙන් අදහස් කලේ.
      ඕක කතා ලියන අයට තියන ප්‍රශ්නයක්. රියලිස්ටික් විදිහට ලියන්න වෙනවා. ඒත් අපි ෆික්ශන් එකක අන්රියලිස්ටික් කියල බැහැර කරන දේ ඇත්තට වෙනවා. ඒත් ෆික්ශන් ලියන අයට අර සීමාව තියනවා

      Delete
    2. ඇත්ත ප්‍රා ජේ. මුල් කොටස් දෙකට මට ලැබුණු කොමෙන්ටු දැක්කම මට මහ චකිතයක් ඇතිවුණා. ඉස්සරලම කතාවනෙ. මං දකින විදිය, කියවන්නො ඒ විදියට බාරගනීවිද කියන අවුල මටත් තිබුණ.
      කෝම වෙතත් අපි වෙන්න බෑ කියල විශ්වාස කරන හුඟක් දේ මේ ලෝකෙ, අපේ ජීවිත ඇතුලෙ වෙනව කියලනම් මං තදින් විස්වාස කරනව.

      Delete
  12. කතාව ඇතුලට වැටුණම වෙන දේ හිතාගන්න බෑ...
    නියම කතාවක් මචං...
    උඩ ප්‍රා කියල තියෙන දේට නං සීයට දාහක් එකඟයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. ඇත්තටම කිව්වොත් මං ලොකු බයකින් ලීවෙ. කොමෙන්ටුව හයියක්. analyze කරලම කියන්න පුලුවන්නම් තවත් අගෙයි

      Delete
  13. ගැහැණියකගේ ආත්ම ශක්තියේ සමහර අවස්ථා වලට කිසිසේත් මුහුණ දෙන්න හෝ අභියෝග කරන්න, මොන ජගතාටවත් බැහැ. හැබැයි, එවන් ගැහැනුන් අතිශයින් දුර්ලභයි අද. එවැනි ගැහැනුන් බිහිවීම වලක්වා තිබෙන්නෙත්, වැඩ කදුළු බඳින්නේත් මේ සමාජයමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට.
      ඇත්ත විචාරක. මගේ ජීවිතේ දි මං දැක්ක අපූරුම, අදහගන්න බැරි තරමෙ ආත්ම විශ්වාසයක් තිබුණු, තියෙන ගැහැණිය තමයි මගෙ අම්ම. අනිවාර්යයෙන්ම විචාරකතුමෝ... පිරිමි ඈයො කොයිතරං ශක්තිමත්, ඕනෙම දේකට ඔරොත්තු දෙනව කිව්වට, අවස්ථාවක් ආවම ගැහැණියකට තියෙන යෝධ ආත්ම ශක්තිය පිරිමි අය ළඟ නෑ.
      ප.ලි.: නමුත් අවස්ථාව එනකල් ගැහැණු සියුමැලි. හුරතල් කරන්ට ඕනෙ සත්වයෙක්. පිරිමියා ළඟ දුර්වල විදියට පෙන්නගෙන, පුංචි කැපුමක් පවා ලොකු වේදනාවක් කරගෙන.... කඳුළු පිහින්න තමන්ගෙ ආදරවන්තය ළඟ ඉන්නවනම් කෙල්ලො අඬනවත් වැඩියි නෙ. එක ගෑණු මායමක් කිව්වට, ඒක ගැහැණියකගෙ අයිතියක්.

      Delete
  14. මේ කතාව කියවද්දී මට මුණගැහුන සරනි කෙනෙක් නිතර මතක් වුනා.. ඔහොම අය අද සමාජේ අඩුයි හීන ලියන රටාවට හරිම කැමති තව කතාව ඉක්මනින් ලියමු

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..., මේක අභව්‍ය නෑ බැලුවම. සරනිල ඕනෙතරං අපි අතරෙ ඇති. ස්තූතියි කිඹුලි. ලියමු ලියමු.

      Delete
  15. ලස්සන කතාවක්...

    ReplyDelete
  16. වැඩි කථා ඔනෙ නෑ... ලස්සන කථාවක් .......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනෙල්ක. අලුත් යාලුවෙක් නේද මට. වෙල්කම් ඈ. ආයෙ එන්ට.

      Delete
  17. අඩේ මාරු කථාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කු.කො. හිකිස්.... අදමයි දැක්කෙ ඔන්න. වෙල්කම් වේවා. ආයෙම එන්ටෝ.

      Delete
  18. මම ඉස්සරෝම වැඩ කරපු ජොබේ මගේ බොසා, මේ විදිහේ ගැටළුවකට මුහුණ දුන්න එකෙක්. පෙම්වතිය අනපේක්ශිත ලෙස ගැබ්ගත්විට වටේ සිටියවුන්ගේ සහ පෙම්වතියගේ පවා යෝජනාව වුනේ ගබ්සාව. පෙම්වතියගේ තාත්තා ඉහල නිලයක් දරන පොලිස් නිලදාරියෙක් වීම හා ඔහු මේ සම්බන්ධයට විරුද්දවීම තමයි එතන තිබුන ප්‍රශ්නය.ඒත් ඔහු ඒ ප්‍රශ්නය පෙම්වතියගේ පියා හමුවේ පවසා කසාදයට අවසර ලබාගත්තා.මම වැඩට යන අවදිය වන විට ඒ පොඩි එකාට අවුරුදු 2.5යි. ද්වසක් ඔහුගේ ගෙදර ලාවට සෙට්වෙලා ඉන්නකොට ඒ කතාව මට කියලා අර පොඩි එකා දිහා බලලා ඔහු මට පැවසුවේ; "බලපන්, එදා ඒ වැඩේ මම කලානම් අද මේවගේ හුරතල් පොඩි එකෙක් කොහෙන්ද මට? මට හෙනගහයි එහෙම වුනානම්" කියලයි. කොහොම තත්වෙක හිටියත් ගබ්සාව කියන දේ කවදාවත්ම අනුමත කරන්න බෑ මටනම්. ඒ නිසා මොනතරම් දුශ්කරතා මධ්‍යයේ හරි දරුවකු ජීවත්කරන මිනිස්සුන්ට මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.

    ලිවීම ...මීට ඉස්සරත් මම කිවුවා,මේ වගේ දිග ලස්සන වාක්‍ය වලින් කතාවක් ලියන එක මටනම් හීනයක්.ඒක නිසාම මම ඒ ලිවීමට හෙන පෙරේතයි. අපි අභව්‍යයි කියලා හිතන දේවල් ඇත්තලෝකේ ඕනේ තරම් සිදුවෙනවා.හැම තිස්සෙම හීනෙන් ජීවත්වෙන සමාජයකට කතාවක් තුලින් කියවෙන දේවල් වල වලංගුභාවය පිළිබඳව හිතන්න වෙලාවක් නෑ.ඒ නිසා හිත දිග ඇරලා බය නැතුව ලියන්න.

    බුකියේ කමෙන්ට් එකත් දැක්කා.කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති කාලයක්.හැම බ්ලොග් එකක්ම පාහේ කියවනවා. කී බෝර්ඩ් එකට අත තියන්න හිතෙන්නේ නෑ.ඒකයි අවුල.මේකත් පෝස්ට් කරපු දාම කියෙවුවා.මහා කම්මැලියෙක් වෙලා.

    ReplyDelete
    Replies
    1. මං කටුස්සගෙ කොමෙන්ටුව පිළිබඳ අදහස අත් ඇරල හිටියෙ අප්ප. මං හිතුවෙ කතාව සවුත්තු නිසා අඩුපාඩුවත් නොකිය අතෑරලද කියල. හිකිස්... ඒ වුණාට කටුස්ස අයියෙ කොමෙන්ට් එකටනම් මං මඟ බලං ඉන්නෙ ඈ. මගෙ බ්ලොග් ගුරා...
      /හැම තිස්සෙම හීනෙන් ජීවත්වෙන සමාජයකට කතාවක් තුලින් කියවෙන දේවල් වල වලංගුභාවය පිළිබඳව හිතන්න වෙලාවක් නෑ.ඒ නිසා හිත දිග ඇරලා බය නැතුව ලියන්න./ මේක නියම උපදෙස මට. ස්තූතියි අයියෙ.
      ඒ කිව්ව කම්මැලිකමනං මගෙ ළඟත් ඕනෙතරං. ඒ වුණාට නෑවිත් ඉන්ට එපෝ....

      Delete
  19. හරිම ලස්සනයි ඔයාගෙ කතාව. ඔක්කෝටමත් වඩා මං ටම් භාෂාවට හුගක් කැමතියි. මෙච්චර දවසක් මගෙ මේ කොම්පියුටරේ අවුල් වෙලා තිබුණෙ. දැන් තමයි කොමෙන්ටුවක් දාගන්න පුළුවන් තත්ත්වෙට පත් වුණේ. මුළු කතාවම මං කියෙව්වා ඒ වුණාට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණි. මං හිතුව වැඩ ගොඩේ එරිල, කාර්යබහුල ඇති කියල. ස්තූතියි වැඩ ගොඩක් මැද්දෙ වුණත් ගොඩවෙලා යන්න එනවට.

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...