Tuesday, 29 March 2016

ඔහුට ලියන ලියමන...




ජීවිතේ ගෙවා දුර...ආපසු හැරී බලමි. මතක මතක සැතපුමක් ගාණේ නුඹේ යෝධ සෙවණැල්ල වේ. අහිංසක ආඩම්බරයක් දැනේ...
මගේ ජීවිතය වසා නැගුණු යෝධ සෙවණැලි දෙකක් වී...මා වටා තුන් සුතුර මෙන් ගැයෙන, හතරවරං දෙව් රූ සේ හතර කොණ හිඳ මා රකින අනුපමේය චරිත දෙක නුඹ සහ මගේ අම්මාය. වචනයේ පරිසමාප්ත අරුතින්ම අම්මා වන , ඇගේ ලෙයින් මසින් මා උපැද්දූ දා පටන්ම මගේ ජීවයයි. මේ ලියමන ගැන කියන්නට නොවේ.
                කොහේවත් හිඳ, අහම්බෙන් හිතට ගොඩවී, අද මගේ ජීවිතය පුරා රැඳෙන,  ලෙයට මුහුව ගිය පෙමක් උහුලා හිඳින නුඹ ගැන කියන්නටයි...
මගේ වන්නටම නුඹ උපන් දා අදයි...නුඹේ දිවියේ දහ නවවන සැතපුම පසුකළ දා හමු , පෙමින් බැඳී අද විසිනව වන සැතපුම ළඟදී නුඹට සුබ පතන්නට මම වාසනාවන්තියක වීමි. නුඹ උපන් දා, අපේ ආදරේ දස වසක් පුරන දා නොලියන ලියමනක් කුමට...? හන්දාම මේ අකුරු වියමන නුඹට....
                දෙනෝදාහක් මැද ඇස් වලින් කතා කෙරූ යුගයක් නුඹ, මා අතර විණ. පන්සලේ වඳින, සල්පිලේ මිතුරන් හා රැඳෙන, කුඹුරේ වපුරන නුඹ ළඟින් කොපුල් රතු කරගෙන, ඇසින් බිම අල්ලාගෙන ගිය අතීතයක් මා සතුව තියේ. යනෙන මඟ තොට නුඹ දැක, විලිබරව පා ඉක්මන් කළ යුගයක් මවෙත වේ. දුරකතන, කෙටි පණිවුඩ නැතිව බැන්ද පෙමක සොඳුරු පෙමක මතක හිතේ වේ. වචනයක්වත් කතා නොකරම මං යනෙන මඟක හිඳ, මදෙස බලා හිත පුරෝගත් පාසල් යුගයක් නුඹට වේ. මගේ පාසල මායිමේ මගේ පාසල් රිය එනතුරු, මිතුරන් පවා දෙස් දෙවොල් තියද්දී ගිනි ගහන කාෂ්ටක අව්වේ නුඹ මං වෙනුවෙන් මඟ බලන මතක අදත් හිත පුරා ඇඳේ. සුන්දර අතීතය, මාපියන් අසිරි මැද මේ ගෙවෙන සොඳුරු  වර්තමානය අපේ අනාගතයට මං කියනු ඇත.

වසරක්, දෙකක් නොව...දස වසරක් එක්ව උන් අපේ ප්‍රේමය ගැන හිතේ අප්‍රමාණ ආඩම්බරයක් වේ.

අම්මා තරම් සුමුදුව මා රැක්ක යුර, විටෙක අප්පච්චී තරම් රළු පරළුව මා හික්මවන යුර, උවමනා තැන නොපැකිලව මට දිරිය දුන් යුර කිසිදා හිතින් මැකී නොයේ. මලක් සේ මා සුරැකි නුඹේ සංවර කමට මම ගරුකරමි. මා නුඹ කෙරේ තැබූ අප්‍රමාණ විශ්වාසය රකින දෙව් රුවට මං වඳිමි,පුදමි. කෝප ගත් විටෙක ඉවබව නැතිව රණ්ඩු සරුවල් කරන හිතුවක්කාරියක දරා උන් සන්සුන් මිනිසාට මං ඇලුම් කරමි. සමාව තොග පිටින්, ආදරය මලු පිටින් පුරවාගත් නුඹේ හදවතට ලොබ බඳිමි.
ඒ සියල්ල පසෙකට කර, මේ තරම් හිත් රිදුම්, වැරදි, අඩුපාඩු උහුලාගෙන අදටත් එකසේ මා දරා හිඳින විශ්වයේ සුන්දරතම, අපූර්වතම මිනිසාට මම ප්‍රේම කරමි. නොපැකිල කියමි...නුඹ දෙවැනි මගේ අම්මාට පමණකි.
නුඹේම වී, දස වසරක් නොව අනන්ත දුරක් නුඹ හා පියමනින්නට ලැබේවා. අම්මා ලෙසින්, අප්පච්චී ලෙසින්, දයාබර මිතුරෙකු ලෙසින් නුඹ මෙතෙක් මා ළඟ උන් වග කියම්. ඊයේ, අද සේම පෙම්වත, නොපෙනෙන හෙටත්, අනන්තය තෙක්ම මං නුඹ පසුපසින් ඇවිද එමි, නුඹේ දිරිය වෙමි, නුඹෙන් ජීවය යදිමි. නුඹටම පෙම් කරමි. සත්තයි නුඹටම පෙම් කරමි.

මං නුඹේ හිතුවක්කාරී
(ප.ලි. : 2015 වසරේ දී ලියුවකි.)

8 comments:

  1. ආදරෙන් හැමදාම ලග ඉදන් හිනැහෙන්න
    හීන මල් තොග පිටින් හෙමි හෙමින් ඇහිදින්න
    ජීවිතේ දීගු ගමන අත් බැදන් දිව යන්න
    සුබ පැතුම් පතන්නෙමි ඔබෙ දිවිය සරු වෙන්න

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා සහෝදරී

      Delete
  2. ලස්සනයි.... එල්නි all the best

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හීන්... කියවන්නකො කම්මැලි හිතුණම

      Delete
  3. සුන්දර බැඳීමක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.. හැම තප්පරේම සුන්දර වුණේනම් නෑ...ගල් බොරළු ගොඩක් මැද්දෙන් ඇවිදන් ආවෙ. අතරමඟ එයා හරි පරිස්සමට අත නෑරම මගෙ අත අල්ලං හිටිය, ඒකයි රහස. එයා තමයි කාරණාව ඒ සුන්දරකමේ, මං නෙවෙයි.

      Delete
  4. ලස්සනයි. දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්.. ආයෙත් එන්න.

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...