Friday 8 April 2016

නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.


නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.

"දුඹුරු පැහැ දිය පසා කරගෙන උඩ නගින
සුදෝ සුදු පෙණ කැටිත්තක සිරවෙමි.
හදිසියේ තෙරපි තෙරපී උඩ අවුත්
පෙණ කැටිත්තට නියකොණින් ඇන සිදුරු කර
පුපුරවා දමමි."



පතුල සිතිවිලි උපද්දයි...
පතුලටම සිරව ඉනු නොහී සිතිවිලි
පෙණ කැටිත්තක එතී
හිටිගමන් කලඑළි බසී.
කලත කලතා බීර, අවුත් උඩ
මට වද දිදී ලියැවෙයි....

             හාල් සුවඳ, කෙටෙන හාලක අමු පුසුඹ, මෝල්ට් සුවඳ, දහයියා පුසුඹ පහුකරං මං ඇවිදන් එනව. ටිකකින් නැහැ තුඩු හාරවන් කටුක ඇමෝනියා ගන්ධයක් දැනෙයි. ඊළඟට නැහැ තුඩුවලට රිංගන්නෙ ඒ කෙටුන ධාන්‍ය වල පැහෙන සුවඳක්. බීර ගැන දන්න ඇත්තො දන්නව මේ සුවඳ... ජීවිතේට බීර උගුරක් තොල නොගෑවුණත් මටනං දැන් වෙරි. නැතිවෙයිද ඉතිං...? උදේ ඉදන් රෑ වෙනකල් මගෙ ස්වාසනාලිකා, අනු ස්වාසනාලිකා පහුකරන් ගර්තවලත් පිරෙන්නෙ මේ පැහුං පුසුඹ වෙච්චිකොට, සුවඳ දැනෙද්දිත් මට වෙරි.

               බීර ලීටර දහස් ගණන්..නෑ, දසදහස් ගණන් පැහෙන, පිරවෙච්ච ටැංකි අතරින් මං ඇවිදං යනව. බීර පෙණ වගේ කෝටි ගාණක් හිතිවිලි මං ඇතුලෙ පෙරලි කරනව, බලෙංම උඩට නැගගෙන ඇවිත් පුපුරලා යනව. මේ ලියන්නෙ ඒ හිතිවිලි මිසක්, මේක බීර ඇඩ් එකක්වත්, ආගම් පිළිබඳ විචාරයක් නොවෙන විත්තිය ඉස්ඉස්සරෝම කියන්න ඕනෙ. මේක පිටිපස්සෙ විවිධාකාරෙ තර්ක, සදාචාර හා සංස්කෘතික කාරණා ගොඩයි.. මේ පැහෙන බීර බිංදුවකින් රැකෙන ජීවිත එමට. හාල් ඇටේ වවන, උක් වවන, සීනි හදන, මුට්ට කරගහන, නැව් පදවන, රියසක හසුරුවන එකී මෙකී නොකී ජීවිත ජීවත් වෙන්නෙ මේ වෘත්තියෙන්. ඒ වගේම රට ඇතුලෙ බොහොමයක් ජීවිත අවුල්වෙන්නෙ, ජීවිත අහිමි වෙන්නෙ, කඩා වැටෙන්නෙ, පවුල්වල කොඳුනාරටි දෙදරන්නෙ මේ හේතුවෙන්මයි.  තෝරාගැනීම ඔබේ. මං උදේ හවා දකින දෙයක් අකුරු කළා විතරයි මේ....

                  ජීවිතේටත් එක එක සුවඳ තියෙනව. එක එක රස තියනව. විවිධාකාරෙ අමුද්‍රව්‍ය එකතුවෙල, පදමට කලවං වුණාම, නියම පදමට, නියම කාලෙට ජීවිතේටත් නියම රස එනව. ඒ රහ පුද්ගලානුබද්ධයි. ඔබ තෝරන්නෙ ඔබට උවමනා බ්‍රෑන්ඩ් එක. සමහරවිට ඔබේ තේරීම වෙන කෙනෙකුට රුචි නෑ. ඔහුගෙ තේරීම ඔබට අපුලයි. ඒක ඔබේ බීර ටේස්ට් එක. මේක ඔබේ ජීවිතේ ටේස්ට් එක. ඔබේ රුචියටයි ඔබ ජීවිතේට එකතු කරගන්න අඩුවැඩිය තීරනේ කරන්නෙ.

               ඔබ තෝරගන්න අඩුවැඩිය, ඔබ නිසි පදමට පිලිවෙලට එකතු කරනව. හැබැයි හදිසියෙ ගිල දානව. ඔබ බොන්නෙ බීර නෙමෙයි, ඒකෙන් එන්නෙ ඔබට උවමනා රස නෙවෙයි. ඒ නිසා ඉවසන්න. ජීවිතෙත් පැහෙන්න ඉඩ තියන්න. කාලය තමයි බොහෝ දේවල් වලට නියම ඔසුව. ජීවිතේට ගැලපෙන පදම අරන් එන්න කාලෙටත් ඉඩදෙන්න.

              පදමට පැහෙන බීර, නල දිගේ මහ දුරක් ඇවිත් ඇහිරෙන්නයි හදන්නෙ. බොහොම විසිතුරු පිට අසුරනයක් අර එක එක රහ මුහුවෙච්ච බීර ටික වටේ එතෙනව, හරියට එක එක රහ මුහුවෙච්ච, දුක සැප කලවං වෙච්ච ජීවිතේ දේදුනු පාට, විසිතුරු පිටකවරෙකින් වැහිල තියනව වගේ.
               මෙතන ඉඳන් වෙන්නෙ ජීවිතේ කණපිට. එක පොදියට එන බීර ඇසුරුම් පිටස්තර මිනිස් බලපෑමක් නැතුව තමන්ගෙ ගමන යනව. හිස් කෑන් වලට බීර පිරෙනව,හැම එකටම එකම ප්‍රමාණෙකින්, එකම කොලිටියකින්.. සීල් වෙනව, ඇදට, ඇලවෙලා එන, හරිපාරෙන් පිට පනින, නියමිත ප්‍රමාණෙට නොපිරිච්ච අසුරන ඒ ගමනෙන් විසි කරල දානව. එක ගොඩට එන බීර කෑන් පිලිවෙලකට ඇහිරෙනව, පොලිතීන් අහුරනයක එතෙනව. මං බලං ඉන්න ගමන්, මේ සංගදිය ජීවිතේට ගලපන්න පොරකනව. ම්හු... අනිත් පැත්ත ජීවිතේ.

                ජීවිතේට නිසොල්මනේ, එකම තාලෙකින්, එකම වේගෙකින්, එකම රටාවකින් ගලන්න ලැබෙන්නෑනෙ. ළිඳ මගේ නං, මං ළිඳේනං කාටවත් ඇයි වේදනා කියල ජීවත් වෙන්න ජීවිතේ අපිට ඉඩ අරින්නෑ. අඳුනන, නන්නාදුනන ඇඟිලි ගැහිලි එමටයි. ජීවිතේ ගලං එන හැම මොහොතක්ම එක වගේ, එකට රිද්මෙකින්, එකම කොලිටියකට තියෙන්නෙත් නෑ. හරි පාරෙන් පිටපනින, ඇදගහන වෙලාවන් වල ඒ මොහොත එළියට ඇදල දාන්නවත්, ඒක නිවැරදි කරල දෙන්නවත් ක්‍රමයක් නෑ. කට්ට කාලමයි දිරවගන්න විදිය හොයාගන්න වෙන්නෙ. අපේ හැම හැඟීමක්ම,අත්දැකීමක්ම ජීවිතේ ඇතුලෙ එකම කොලිටියට, එකම ස්ටෑන්ඩර්ඩ් එකටත් නෑ. සමහර ඒවා පට්ට රස. සමහර ඒව කටේ තියන්න බෑ. ඒමයි කියල විසිකරන්නත් බෑ.

                 ජීවිතෙත් ලේසි පාසු නෑ අප්ප. බියර් බීමත් ලේසි නෑ වගෙයි. උත්සහ කලේ වෙනස් විදියට බැලුවොතින් වෙනස්ම විදියකට පෙනේවිද බලන්න. ඒකයි බීර පාට හීනයක් අටවගත්තෙ. එසේනම් මගේ කතාව අවසානයි. අසා සිටී ඔබ සැමට ස්තූතියි.

8 comments:

  1. බිර බොන්ඩ තිබ්බනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. බොන්න තිබුණොත්නං අගෙයි ලලිත්. කෝ ඉතින් මටවත් නෑනෙ.

      Delete
  2. ඇයි නල වල රන්වන් පාටට ගලන බීර දිගා බලාගෙන කෙල හලන මී මැස්සො...
    එයාලත් සම්බන්ධ කොරතෑකි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මප.. ලියද්දි මතක් වුණේ නෑ ගස්... ස්තූතියි.

      Delete
  3. ඇත්ත, බීර බොන්න ලේසි නැහැ.ඒ නිසා මම බීර බොන්නෙත් නැහැ දැන්.

    තමන් තොර ගත යුතුයි තමන්ට සුදුසු දේ.ඒ වගේම ඒ තෝරා ගැනීමෙන් තමන්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් වල වගකීමත් තමන්ටයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මනෝජ්.
      සමහරවිට බොන එක ලේසි ඇති. බීවට පස්සෙ කතන්දරේ ඉතුරු ටික අමාරුයි.

      Delete
  4. මං මේක කියෙව්වා ඒ්ත් අමතක උනා.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ දේශා මාමේ -...( කස්ටිය මෙහෙම අමතලා තියෙනව දැක්ක. මටත් අත්හදා බලන්න හිතුන. )

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...