Friday 27 May 2016

ආපසු හැරෙමි


නෙතු වසමි
නෙතු පියන් කිටිකිටියේ  වසමි....

සඟවමි...
කෙලවරක් නැති මතක සඟවමි

ඔතමි
නුඹ හිඳි හීන බරම බර ගල් වල ඔතමි

පතුලේම ගිල්වමි
කලුවර අගාධයට අතහරිමි

 පුංචිම මතක සඟවමි
නුඹ හිඳීදැයි බල බලා සඟවමි

යළි අදිමි සැඟවූ තැනින්
ඉතිං හඬමි

ඉකිලමි
රිදෙන හදවත මිරිකා ගනිමි

සිහිකරමි
නුඹේ ඊතල රොස් පරොස් උහුලමි

වැලහින්නකව වැලපෙමි
ප්‍රේමය වංචාවකැයි දන්න දන්නා වුනට කියමි

තේරුම් කරමි
ඔබ යළි නේන වග හිතට මොර දී කියමි

ආපසු හැරෙමි
සියවසක් හඬන්නට කඳුලු හිරකර සමු දෙමි....

Friday 20 May 2016

කොළඹ වැස්සට (නො)තෙමෙමි.


 කොළඹ අහස කලුම කලු පාටිං මූණ රොබ්බගෙන උන්නෙ. හරියට එයැයිගෙ වද වේදනා සේරෝටමත් මං වග කියන්න ඕනෙ ගාණට. හත්වලාමෙ පහුගිය ටිකේම මාරාවේස වෙච්ච ගාණට මහපොළොවෙ පතුලෙ තිබ්බ අන්තිම වතුර බිංදුවත් කෑදරකමට හූර හූර බීවෙ... ,හරියට කාටවත් අයිති නොවිච්ච,ඒත් හැමෝටම අයිති වෙච්ච ගෑණියෙකුගෙ ඇඟට ගොඩවෙච්ච නාකියෙක් ගාණට. දැං ඉතිං වැහි බර උහුලගන්ට බැරිකොට අපිට පුප්පන්නෙ. කොයිවෙලේ බිම හලාගන්නද කියල බලං ඉන්නෙ. අපි තමයි පලි... ඊයෙත් ප්‍රැක්ටිස් තියාගන්න බැරිවුණා. කෙල්ලො ටික හේබාල ගිහිං, අනෝරාව අල්ලපු වැහි දෙක තුනට කෙල්ලො කීප දෙනෙක් ලෙඩ වෙලත් තිබුණ.

ඕං ඉතිං පටං ගත්ත... මං බස් එහෙකට ගොඩ වෙනකල්වත් ඉවසගන්න බැරුව අහස අඬා වැටෙන්න තියාගත්ත. එහෙටත් වහිනව ඇති. මේ ටිකේ අපාය වගේ ඇති ගෙදර. ඇයි අප්ප හැමතැනම තෙමෙනවනෙ. චුට්ටි ගෙදරම හැලි වලං තෙමෙන තැං වලට කර කර ගේ වටේ දුවනව ඇති.. ගෙන්දගං ගඳ හෝදගෙන, දූවිලි, කාබන් කුඩු හෝදගෙන වහින කොළඹ කඩප්පුලි වැස්සට තෙමෙන්න බැරිකමට මං යාන්තං කඩ අගුවකට පැන්න. කුඩේ තෙමාගෙන බෑග් එකේ දාන් යන්නෙ කෝමද. කඩේ උන්නු කොල්ලො දෙතුංදෙනා කොමල කරනව මං ඇස් කොනින් බලාගෙන. පංචිකාවත්ත පාරට හැරෙන හන්දිය මැද්දෙ මේ ඉන්න යකඩ අස්සයනං වගේ වගක් නැතුව මේ කෙමිකල් වැස්සට තෙමෙනව. උන්නැහේට වැස්ස ගානක් නෑ වගේ නේන්නං මට මේ කොල්ලංගෙ ආල ලීල. අපිට පුලුවනෑ ඔව්වට ප්‍රතිඋත්තර දෙන්න. මේ සුමේ කරනකල්ම බඳින්න බෑ කියල පොරොන්දු කරවගෙනනෙ අපි මේකට ගත්තෙ ඉතිං. මං ඉන්ටර්වීව් එකේ බෝයි කෙනෙක් ඉන්නවද ඇහුවම නෑ කිව්වෙක හොඳට ගියා. සමන්ත අයියනං මූණ නරක් කරං හිටියෙ ඒ ටිකේම, දැන්නං එයාට තේරිල.

තුං මාසෙකිං තමයි මේ ගෙදර යන්නෙ. පිංසෙන්ඩු වෙලාවත් ගෙදර යන්නනං බෑ අක්කත් එක්ක. වෙසක් හින්දයි, වැස්ස හින්දයි වැඩ ටිකක් අඩු වුණා. නිකං තියං මුන්ට කන්න දෙන්න ඕනෙයැයි හිතෙන්නැති එයාට. එයත් ඉතිං හිනාවෙලා හිටියට මාර දූතිකාව වගේ තමා. චුට්ටි ඉඳහිට සමන්ත අයියගෙ ෆෝන් එකෙන්  කතා කරපු හැම වෙලේම කියන්නෙම අම්ම දිරාගෙන යන හැටි. යක්කලින් බැස්සම අම්මට විටමිං එකක්වත් අරං යන්න ඕනැ. අප්පච්චි නංගි ගෙට වෙන්නත් කලිං මියැදුනාම, නොකා නොබී අපිටම කරපු අම්ම ඔයාකාර දිරනව බලං ඉන්න පුලුවනෑ.... සස්ටජං එකක් ගන්නත් හිතේ...

බස් එකක් නේන හැටි අප්ප. කොහොමහරි මාව මේ වැස්සට තෙමනකල්නෙ මේ ඔක්කොම. දැං ඉතිං ගෙදර ගිය වෙලේ ඉඳං තියෙන්නෙ කෑම. අම්ම බැරි බැරිගාතෙ වත්තෙ, ඇල ඉවුරෙ ඇවිදල කොස් ද, නෙලුං අල ද, බිලිංචා මාලුද දහසක් ජාති හොයාගෙන එනව. කෙල්ලගෙ කොණ්ඩෙ යනවද මන්ද කිය කිය පලා කොළ හොයන් එනව. මේකි සුදුමැලි වෙලා ගිහින්නෙ කියල හංඟගත්තු කාසි ටික අතගගා හොයාගෙන වැව් මාලුවෙකුත් අරං එනව. නංගි ඉතිං නෝක්කාඩු කියන්න ගන්නව එතකොට, මෙච්චර දවස් ලෙව කෑවා, අම්මට අක්ක එනකල් ඉන්න ඕනෙ මේව ගේන්න කියල. පව්.... පොඩි කෙල්ල. යද්දි චොක්ලට් එකක් ගෙනියන්න ඕනෙ. මටනං ඕව කැවෙනවනෙ දැං තුසරි හින්දා. තුසරි හොඳ කෙල්ල, කොල්ල හොරාට ගෙනත් දෙන කිසිම කෑමක් තනියෙං කන්නෑනෙ. හූනු බිත්තරේ වගේ ටිකක් හරි ඔක්කොමල්ලට බෙදලනෙ කන්නෙ.

මාත් ඉතිං ගෙදර දුවන්නෙ අම්මගෙ අතිං රහට බත් කටක් කන්නනෙ. ඒ කෙසේ වෙතත් තුං වේලම බත් කටක් කන්න. මෙහෙ අපේ කෑමටත් නීති. මාර දූතිකාවි බත් දෙන්නෙ දවල්ට විතරනෙ. උදේට මොනහරි ඇට... මට පෙන්නන්න බැරි මුං ඇට.  රෑට එලවලු තැම්බිලි. ඇඟේ ශේප් එක තියාගන්න එකනෙ මෙයාට ලොකුම දේ. ඇත්ත හැබැයි, නැත්තං විනාඩි දහය යද්දි හති. කෝමහරි කමක් නෑ මං මෙහෙ නොකා හරි හම්බ කරොත් අම්මයි නංගියි තුංවේල කනවනෙ දැං. ඉස්සර අපි කෑවෙ දෙවේල, අම්මනං ඒ කන්නත් නැතුවැති. මං කෝමහරි දැං අම්මට තුං වේල කන්න දෙනවනෙ. 

බලං ඉඳල ඉඳල කොළඹ-කුරුණෑගල බස් එකකට නැගගත්තෙ. ආයි අම්මේ කියවෙන්නෙ බස් එකට නගිද්දිනෙ. දවසට පැය 6 ගානෙ, සතියට දවස් 6ක් ප්‍රැක්ටිස් කෙරුවම හන්දිපත් රුදා නොහැදි තියෙයිද මං අහන්නෙ. ෂෝ එකක් ළඟනං රෑ තිස්සෙත් ප්‍රැක්ටිස්. කෙල්ලො විහිලුවට කියන්නෙ අක්කට එතකොට, ගෝවින්දගෙ සන්දි සුධා ගෙනත් තියාගන්න කියල. උංගෙ හිකි හිකියට තමයි යංතං හරි මහංසිය නිමෙන්නෙ. 
 
ඇඟ හිරි වැටිල ගියා. මං නටන වීඩියෝ එකක් යන්නෙ බස් එකේ. කොළඹිං පිට තිබ්බු ෂෝ එකකට ගියානෙ අපි සති දෙකකට උඩදි. ඒකෙ වීඩියෝ එක මේ. හතර අතිං වදින පාට පාට ලයිට් එලි මැද්දෙ දිලිසෙන මොණර පිලක පාටිං ඇඳුමක් ඇඳං මං ඉණ කරකනව. ෂෝ පනස් හතක නටල තිබුනට මං ඒ නැටුමක් මේ විදියට දැක්කෙ අදමයි. ස්ටේජ් එකට නැග්ගම සැර ලයිට් එළි හින්දා ඇස් ගිණිකන වැටෙනව. එතකොට පල්ලැහැ බලං ඉන්න කවුරුත් පේන්නෙ නෑ. ඒක අපිට පහසුවක්, හිතේ දෙගෙඩියාවක් නැතුව නටලා දාල එන්න. ඒත් මෙවෙලෙ මට හරි තිගැස්මක් දැනුණෙ. අක්ක හැම නැටුමෙම, තමං මේ කණ්ඩායමේ අයිතිකාරි කියල පේන්න උජාරුවට ඉස්සරහිං නටන එකට කෙල්ලොන්ට කොස්සක් නොතිබුණාම නෙමෙයි. අපිව පේන්නෑනෙ කියල. ඒත් මේ වීඩියෝ එක දැක්කමනං අක්ක විතරක් පෙන්නුවනං හොඳයි හිතුන.කැමරා අයියල දත් තිස් දෙකම පෙන්නල හරි සහෝදරකමට හිනා වුණාට මොකෝ වීඩියෝ කරලම තියෙන්නෙ ඉනයි, නැටවෙන පස්සයි, ලයිට් එලියට දිලිසෙන කකුලුයි විතරනෙ... ඒ ඇඳුමට අඟපසග ඉලිප්පිල පේනව වැඩියි තමා. මේ ඇඳුම ඩිසයිං කරද්දි අක්ක තුසරියි මමයි කුටු කුටු ගෑව අප්ප කොට වැඩියි, කකුල් පේනව කියල. ඒත් ඉතිං අපිට පුලුවනෑ අක්කට උඩිං යන්න. ඕනෑවට වඩා දඟලපියව් ගෙදර යන්න බලාගෙන කියල අක්ක වතාවක් සෙව්මිනීට කෑගැහුව මේ විදියෙම ඇඳුමක් ගැන එකට එක කියවං. ඕං මමත් සල්ලිකාර කෙල්ලක් වුණානං දමල ගහල යන්න තිබ්බ. ඒත්.....

අම්මට මං කියන්නෙ මං ඩාංසිං ඇකඩමියක ඉන්නෙ කියල. නෑ නෙමෙයි, මං ඉන්ටවිව්ත් කියල ගියා ලොකු නමක් තියෙන ඇකඩමියකට. එක වගේ මොඩල් ඕනෙ මූණු සෙට් එකට මගෙ මූණ ගැලපෙන්නැතුවද මංදා මං තේරුන්නෑ... ඉතිං මං මේකට ආව. දැං මං නැට්ටුක්කාරියක්. අම්මට ඕනෙ වුනේ මාව සේපාලිකා මිස් වගේ නැටුං ටීචර් කෙනෙක් කරන්න. පාට පාට මල් මල් සාරි ඇඳං කජු වත්ත මැද්දෙං මං ඉස්කෝලෙ යනව බලන්න එයැයි ආසවෙං ඉන්නැති. මට ලස්සනට නටාගන්න පුලුවං වුණාට මොකෝ, ඉලක්කං එක්ක හරඹ බෑ. ඉතිං මං ගණං ෆේල්. හිතේ හිටපු පාට පාට සාරි ඇඳං උකුල නටව නටව කජු වත්ත මැද්දෙං ඉස්කෝලෙ යන ටීචර්ව මරල දාන්න අම්මටයි මටයි දෙන්නටම සිද්ද වුණා.

දෙනෝදාහක් මැද්දෙ මට හරි අසරණකමක් දැනුන. ඔලුව හරවල වටපිට බලන්න බැරිකමක් දැනුන. මාව ගල්වෙලා තිබුණෙ. මූනෙ උලං ඉන්න උන්නු පාට හින්දා ඒ මංමයි කියල වටේ පිටේ මිනිස්සුංට හොයාගන්න බැරිවේවා කියල හිතුවිල්ලක්, පැතුමක් විතරයි මගෙ හිතේ තිබ්බෙ. ඒ වුණාට ළඟ හිටං උන්නු කොල්ල සැලකිල්ලෙං මූණ දිහා බලනව මං ඇස් කොණිං දැක්ක. 

අම්ම, චුට්ටි මේක දැක්කොත්.... සමන්ත අයියා මේක දැක්කොත්....මට දමල ගහල ගෙදර නවතින්න හිතුන.  ඒත් එතකොට තුං වේලම දැං  බඩ පිරෙන්න කන, සැනසිල්ලෙං ඉන්න අම්මට, චුට්ටිට සල්ලි දෙන්නෙ...? ඔහෙ ඕනෙ එකක්. තව අවුරුදු තුනක් හතරක් මේක කරල සමන්ත අය්යට ත්‍රීවීල් කටුවක් අරන් දෙන්න සල්ලි හොයාගන්නව මං. ඊටපස්සෙ ආදායමක් තියෙනවනෙ, සමන්ත අයියව බැඳගෙන සැනසිල්ලෙ ඉන්නව එදාට. 


මං කන් දෙක වටේ පිටේ සද්ද වලින් ඈතට අරං ජනේලෙං එලිය බලාගත්ත.


ප.ලි.: කිසිවෙකුට, කිසිඳු වෘත්තියකට ගැරහීම පිණිස නොවේ. නම්, ගම්, සිදුවීම් සියල්ල මනඃකල්පිතයි.

Tuesday 17 May 2016

අම්මා- සමෝසමේ ආදරේ දුන්නී...


වඳුරු පැටව් වාගේ එල්ලගෙන දෙපැත්තෙං
නංගියි මමයි,
ආදරේ දුන්නී,
සමෝසමේ ආදරේ දුන්නී...

යක් පැටව් වගේ පැටලි පැටලී
රණ්ඩු වෙද්දී අපි
"දෙන්නම කට වහපියව්කො"යි
සමථ කරන්නී...

ලෝකෙත් එක්ක තරහට
වචන විසි කරද්දී මං
"ඔව් ඉතිං මං තමයි පලි සේරෝටම" කියන්නී...

දුක් ටික විහිංම අරන් ඈ ළඟට
අපිට නොදැනෙන්ට ජීවිතේ තිත්ත,
අපිට නොපෙනෙන්ට ජීවිතේ බර
පසුපසට තල්ලු කර,ඇගේ සිරුරින් මුවා කර
හිනා මල් විතරක්ම පෙන්නන්නී...

තියා පිඟන් හතර පෝලිමට
පුරවා අපේ ටික රස මසවුලින්
අප්පච්චිට,මට,නංගිට
දෙපාරක් බෙදන්නට මදි නොවෙන හරි ගානට,
බත් ඇටයක් දෙකක් ඇගෙ පිඟානෙන් තියා
"මටනං බඩගිනිත් නෑ,නොකා ඉද්දි ඔයාල කෑ ගහන හින්ද කන්නෙ"යි කියන්නී....

දවසේ ඇගේ වැඩ කන්දරාව අහවර
අපේ රෙදිත් හොය හොයා හෝදන,
"අනේ අම්මෙ මේකත් මැදල දෙන්නකෝ" කීවම
මැසිවිල්ලක් නැතුවම
මේ සුමේ හරි හරියට කරන්නී...

හැමදාම 9 වෙන්ට කලිං
දුර බනු තිරය උඩ "AMMA CALLING"
ඇගේ රුව තියා, නිවා හිත
හෙලෝ කියන්නටත් කලින්
"මගෙ පුතා කෑවාද, අද මොනවද කෑවෙ
බඩ පිරෙන්න කෑවද"යි අහන්නී....

"පුතාට සල්ලි ඇතිද,
මට ඕකමයි කල්පනා වෙන්නෙ දැං"
"කවද්ද ඔයා එන්නෙ පුතේ"
කෙලවරක් නැති කතා මව මවා කියන්නී...

දවසම හරි හරියට
කෙල්ලක් වාගේම දුව පැන කලත් වැඩ
මැසිවිලි නොකියන්නී,
ඉඳහිට බාම් කුප්පියක් අරන් ළඟ ඉඳගෙන
"ටිකක් ගාන්නකො පුතේ, මගෙ මේ කකුල් කැක්කුම"යි කියන්නී....

නොකී කතා එමට.
ලියන්නේ කෝම ඔක්කොම මෙතැන..
මං අහන්නෙ,
ගැහැණියකට පුලුවන්ද මේ තරං
සවිමත් වෙන්න,
පරාර්ථකාමී වෙන්න...?
මං කියන්නෙ,
හැමෝටම බෑ දේවතාවියක් වෙන්න..
ඈට විතරයි පුලුවන්
ඈ ගැන නොහිතා බිංදුවක්වත්
අපි ගැනම හිතන්න...

වෙන වචන නෑ...
හරියන එකම වචනෙ,
" අම්මා"

හැමදාම නොකිව්වට මං
ඔයා දන්නව අම්මෙ,
මාත් ආදරේ විත්තිය.

බුදු සරණයි...
ලෙඩ දුක් නැතුව
හුඟක් කල් අපිත් එක්ක ජිවත් වෙන්න ලැබේවා.
සතුටින්ම හිත පිරෙන්නයි පැතුවෙ.
සුබම සුබ උපන් දිනයක් අම්මෙ.

 ලොකු පුතා

Friday 13 May 2016

මටත් වෙන වැඩ...!!



දන්නැති වැඩක් අහගන්න මං ඔන්න මගේ ලොක්ක ළඟට යනෝ. එතුමට ඒ අංශෙ අදාල නැති හින්දා මාව අදාල තැනට යොමු කරනව, "අහවලා යාලුවෙක් නේද.. එයාගෙන් අහමුද පුතා" ඒ අපේ සෑර්.

'අහවලා යාලුවෙක් නේද' කෑල්ල මට එච්චර දිරෙව්වෙ නෑ, ඉන්සල්ටිං වගේ මට දැනුනෙ. සමහරවිට එතුම එහෙම අදහස් කරන්නත් නැතුවැති. ඒ වුණාට මට අවුල් ලු ඔන්න.
ඉතිං කට ඉස්සර වෙච්චි.

"මාත් එක්ක හිනාවෙලා කතා කරන හැමෝම එක්ක මං යාලුයි සර්. මූණවත් නොබලන අයත් එක්ක යාලු නෑනෙ, යාලු වෙන්න බෑනෙ"
කිව්වෙ ඔහොම. හිතේ තිබ්බෙ ඉතිං අහවලා විශේෂයක් නෑ සර්, මං එක්ක මනුස්ස පාටට ඉන්න ඔක්කොම ඈයො එක්ක මං සුහදව ඉන්නව, හැබැයි මට තොරං පෙන්නන ඈයොන්ගෙං මං තොරණෙ විස්තරේ අහන්න යන්නෑ කියනෙක.

"....(මගෙ නම )ත් හොඳ කටර් එකක් නේද ආ.."
ඕං අහගත්ත හරිය.
ඇත්ත කියනෙක 'කටර්කොමක්'ද මං අහන්නෙ..? ඇත්තනෙ කිව්වෙ මං ඉතිං.
පූසා වගේ සද්ද නැතුව හිටිය කෙල්ලද යකෝ මේ කියල එතුම හිතුවද දන්නෑ... විලි ලැජ්ජ හතයි මට එකතැන.
මං ඉතිං තවත් මුකුත් නොකිය එතනිං ආව.

ඒ කිව් ටිකනෙ, මේ නොකිව් හරිය... හිතෙං කුටු කුටු ගගා මටම කියාගත්තු හරිය.

කටර් එකක් කියල අදහස් කෙරුවෙ මල් පෙත්තක් වගේ සියුමැලි, හාවෙක් වගේ අහිංසක නෑ කියලද සර්..?

අනේ මං හැමවෙලේම අහිංසක නෑ සර්... මං බොරු අහිංසකකං පෙන්නන්න යන්නෙත් නෑ. අහිංසකකමට මේ ලෝකෙ පැවැත්මක් නෑ සර්.
හාවොයි, කොටියොයි දෙගොල්ලොම කැලේ ඉන්නවනෙ නේ..? කවුද වැඩි කාලයක් ඔලුව බේරං ජීවත් වෙන්නෙ../ කොටියනෙ සර්.
අහිංසක වුණාම මිනිස්සු ඔලුවට අත හෝදනව සර්. විසේසෙං කෙල්ලො අහිංසක වුණාම, ලෝකෙ ජීවත් වෙන්න බෑනෙ සර්.
නයා වුණත් වුවමනා තැනදි පෙනේ කෙරුවෙ නැත්තං ගෑනු දර මිටි බඳින්න ගන්නව කියල සර් අහල නැතුව ද...

මේක ඉතිං එතන කියා ගන්ට බෑනෙ, තව ඉවැලුවේෂන් පාර්ට් එක ඉවර නෑනෙ.. හික් හික්.

Sunday 8 May 2016

කැම්පස් රැග්/ යට ඇඳුම්, wilpattu,will පත්තු??? VS VAT



හිතුවිලි වලට මතු වෙන්න නොදී හිත කඹේකින් තදට ගැටගහල තියෙනව වගේ, මුකුත්ම නොකර නිකංම ඉන්න ඕනෙ කියල හිතෙන උදාසීනකමකින් එතිල, පැටලිල ඉද්දි හිතුණ මේක කුරුටු ගාන්න ඕනෙ කියල. හේතුව බුකිය පැත්තෙ හරි ජරමර. අඩියක් තියන්න නෑ කුණුහරුප සාගරේ. විචාර, විවේචන, තද වලි එමට. කැළණියෙ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යාවක නවක වදය දීල කියන මාතෘකාව තමයි නිමිත්ත. මමත් හතරවටේ ඇවිදල බැලුව. මයෙ අප්පේ කොමෙන්ටු කියෙව්වම මට සම්පූර්ණ භාෂා ඥානය හම්බුණා.

මමත් තවම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. හෝව් හෝව්... මේ හදන්නෙ යුද්ධෙට එන්ට නෙවේ. එක එක අය විවිධ මතිමතාන්තර එක්ක ඉද්දි මටත් හිතුන මට හිතෙන දේ කියන්න. මේ උලුප්පල ගත්තු සිදුවීමෙදි, වෙච්ච සිදුවීම විදියටම  මම නොදන්න නිසා,  ඒක ගැන නිවැරදිම අවබෝධයක් මට නැති නිසා සිද්දිය ලිහන්න- පටලන්න උත්සහ කරන්නෑ.  ඒව හොඳයිද නරකයිද කියල කැටගරි කරන්න මං උත්සහ කරන්නෑ 

අපිත් විශ්වවිද්‍යාලයට ගිය අලුත අපිටත් orientation තිබුණා. අවංකවම කියන්න, අපේ කැම්පස් එකේ අමානුෂිකයි කියල ලේබල් ගහන්න ඕනි දේවල් එකක්වත් සිද්ද වුණේ නෑ. ලිංගික අඩන්තේට්ටම්, බලපෑම් ගෑණු ළමයින්ට තිබුණෙ නෑ. කොමන් රැග් එකෙදි ලැබෙන කායික හිරිහැරයක් නැති රැග් අපිටත් ලැබුන. ඇඟට අතක්වත් තිබ්බෙ නෑ කිසිම වෙලාවක, කිසිම කෙනෙක්.මොනම විදියෙ අනිසි බලපෑමක්වත් තිබුණෙ නෑ- අනිසි කියල මං මේ සඳහන් කරන්නෙ ලිංගික බලපෑම්

අනන්ත අප්‍රමාණ බැනුම් නං ඇහුව. හිනා නොවිය යුතු තැන හිකිස් ගාල හිනා පැන්නම ඇයි තොට හිනාද, ආතල්ද..? කපපං හිනාව, කපල සාක්කුවෙ දාගනින් කියල බැනුම් අහගන්නව. නමුත් මේක හරිම පුද්ගලානුබද්ධයි. සමහරු වෙලාවකට පර්සනල් ඇරියස් කවර් කරගන්නව කියලත් හිතෙන වාර තියෙනව. පළමු වසරෙදි බොහෝ වෙලාවට මට මේක වදයක් වුණා. ඒත් හවසට බෝඩිමට ගිය ගමන් අපි මේව මතක් කර කර, අවස්ථා රඟපාල, සීනියර් අයියල අක්කලාට නම් වානං පට බැඳල ඒව විහිලුවට හරවගෙන බඩ පැලෙනකල් හිනා වෙනව. පහුවදාට හැබැයි කැම්පස් එකට යන්නෙ කාගෙ බැනුමකට අහුවෙයිද කියන බයෙන්.

ඒත් දැන් අපි කැම්පස් එකේ පට්ට සුපර් සින්නො, සිව් වෙනි අවුරුද්ද. දැන් අපිට රසකර කර මතක් කරන්න තියෙන්නෙ, හිනාවෙවී කතා කරන්න ඉතුරු අර මතක විතරයි. එදා නරක විදියට දැකපු, කරදර විදියට දැකපු දේවල් ඔක්කොම අද අපිට රස මතක වෙලා. කොහොම වුණත් මට මේව රසබර මතක වුණේ ජීවිතේට බලපෑමක් නොවුණු, අනවශ්‍ය රැග් අපිට නොතිබ්බ නිසා.

මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව අමානුෂික රැග් වලට මූණ දෙන්න උනානම්. ජීවිතේ කඩා වැටෙන, මානසිකව ඇදවැටෙන විදියෙ රැග් වලටනම් අනිවාර්යයෙන් විරුද්ධ වෙන්න ඕනෙ. මං හිතන්නෙ ඒක කරන්න පුලුවන් කැම්පස් එක ඇතුලෙමයි. මං අහල තියනව අපි කැම්පස් එකට යන්න කලින් අපේ කැම්පස් එකෙත් ටිකක් දරන්න අමාරු විදියෙ රැග් තිබුණයි කියල. ඒත් අපිට බැච් හතරකට විතර උඩින් උන්නු සීනියර් වසරක අය්යල අක්කල තිබුණු ක්‍රමේට විරුද්ධ වෙලා එව ටිකෙන් ටික වෙනස් කරගත්ත කියල. වෙනස් විදියට හිතන කොටසකට එකතු වෙලා කැම්පස් එක ඇතුලෙම මේ දේවල් වෙනස් කරගන්න පුලුවනි.

නිසා මේ රැග් කතාව එක එක කෝණ වලින් අර්ථ දක්වන්න පුලුවන්. ඒත් මගෙ පෞද්ගලික අදහසනං මේ වතාවෙ නුවුවමනා විදියට මේක මාධ්‍යයෙන්, ෆේස් බුක් හරහා ඉස්මතු වුණා කියනෙක. මගෙ තියරිය තමයි නොදන්න දෙමළෙට ගිහිං වරිගෙ නහගන්නෑ කියන එක. බ්ලොග් ලෝකෙදි විතරක් නෙවේ, හැමතැනදිම මං නොදන්න දේවල් වල එල්ලෙන්න, විවේචනේ කරන්න යන්නෑ. නොදන්න දේ කියවනව, හොයල බලනව, හරියටම අවබෝධයක් එනකල් තර්ක කරන්න, කොමෙන්ට් කොටන්න යන්නෙ නෑ බ්ලොග් වලදි වුණත්. හරියට මගෙ දේශපාලන ඥානෙ වගේ. දන්නෙ ටිකයි නිසා හොට නොදා ඉන්නව, හැබැයි කියවනව. මේක මං අදාළ කරන්න කැමතියි බුකි වීරයන්ට. නිකමටවත් කැම්පස් නොගිය ඈයො අසාධාරණ තර්ක ගෙනෙද්දි, බොහොම කැත වචන වලින් කැම්පස් ළමයින්ට දොස් කියද්දිනම් අපිටත් රිදෙනව. සමහරු තමන් කැම්පස් නොගිය ඇරියස් ඒකෙන් කවර් කරන්න හදනව. කැම්පස් ඉන්න, ගිය හැම ගෑණු ළමයම බඩු කියල කොමෙන්ට් කරල තියෙනව මං එක තැනක දැක්ක. මට හිතුණ අය අපිත් ගෙදර ඉන්න එයාලගෙ අම්මල, නංගිල වගේම තමයි කියල අමතක කරලද කියලත්. ඕනෙම සමාජෙක වැරදි කරන මිනිස්සු ඉන්නව. එහෙමයි කියල අපි සමාජෙ හැමෝම කුපාඩි, වනචරයො ගානට දාන්නෑනෙ. කැම්පස් සමාජෙත් විවිධාකාර මිනිස්සු ඉන්නව. එහෙම වෙනස් මිනිස්සු කීපදෙනෙක් හිටි පලියට කැම්පස් ගිය, යන හැමෝම බඩු, තිරිසන්නු වෙන්නෙත් නෑ.හැබැයි හැමෝම අමතක කරපු කාරණේ තමයි අමුතු ළමයි හැදෙන්නෙත්, එන්නෙත් අපි හැමෝම ඉන්න සමාජෙ ඇතුලෙන්මයි කියන එක.

හැමෝම කැම්පස් ළමයිට ඇඟිලි දික් කළාට අපිටනම් කැම්පස් එක සුන්දර ලෝකයක්. හිත රිදෙන , කළකිරෙන අවස්ථා නැතුව නෙවේ.. ඕනෙම තැනක ලෝක ස්වභාවෙනෙ. තිරිසන්නු කියල හංවඩු ගහද්දි අපිව, මේ අපි සමාජෙ වෙනුවෙන් කරපු දේවල්.








සතේකවත් මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී රට වටේ අපේම වියදමින් ඇවිද ඇවිද අපි ඉස්කෝලෙ ළමයින්ට මේ වගේ වැඩසටහන් කළා,"වරෙන් යන්න අපිත් එක්ක" කියන නමින්.  උසස් පෙළ ගොඩ දා ගන්න හැටි, ජීවිතේ එන අභියෝග වලට නොවැටී මූණ දෙන හැටි, අපි අපේ අත්දැකීම් වලින් පොඩි වුන්ට කියල දුන්නා. අපි සතයක්වත් හම්බ කලේ නෑ... හැබැයි අපි මාර සතුටක් වින්දා. මේ කතාව සම්පූර්ණයෙන්ම මං වෙන පෝස්ටුවකින් කියන්නම්කො. මේ ඡායාරූප වල සින්නො ජුන්නො එකට ඉන්නෙ, අපි මේවා කළේ එකතු වෙලා, ගැටි නෑ, ලොකුකම් නෑ. මේව තමයි අපේ කැම්පස් ජීවිතේ.

ඔක්කොමත් හරි, මට හිතුනෙ රටේ පාලක පක්ෂෙටනම් පට්ට, කියලවත් කරගන්න බැරි වැඩක් වුණේ. රටේ අය වැය පරතරේ පියවන්න බෑ යකෝ කියල අහිංසක මිනිස්සු උඩටම වැට් සූත්තරේ දැම්ම. උහුලන්න බැරි විදියට ටෙලි කොමියුනේකේෂන් පැත්තෙන් බදු වැඩි වෙනව. බඩගින්නට බෝඩිං අපේ පිහිටට තිබුනු පිටි කෑම මිල දර්ශනේ වෙනස් වෙලා. අස්සෙ රටේ උත්තරීතර ආයතනෙ ඇතුලෙ ජනතාව පත් කරල යවපු නියෝජිතයො ගුටි කෙලගන්නව. එහෙන් රට ඇතුළෙ බයානක විදියට ජාතිවාදී රැල්ලක් ඔලුව උස්සනව. පාලකයො ඇස් පියාගෙන, පැත්තෙන් යසට තිබ්බ විල්පත්තුව එළි කරන් යනව. කවද මේ පාලකයින්ගෙ ඇස් ඇරිල, විල්පත්තු,will පත්තුවෙයිද කියල අපි බලන් ඉන්නව. මේ ඔක්කොම සංගදි වලට  අපේ මිනිස්සු  අන්ධයි, කැම්පස් කෙල්ලොන්ගෙ, කොල්ලන්ගෙ ජංගි තමයි මේ රටේ ජාතික ප්‍රශ්නෙ දැන්. කාලයක් Bra එකක් ඔලුවෙ තියන් නැටුව... ඒකෙන් මේකෙන් මට හිතෙන්නෙ අපේ රටේ මිනිස්සු, මාධ්‍යය, බුකි ඇඩ්මින්ල උනන්දු රටේ යට ඇඳුම් ප්‍රශ්නෙ ගැන විතරද කියල... මේව news තමයි... නෑ කියනව නෙවෙයි. ඒත් මේවට වඩා විසඳගන්න රටේ ප්‍රශ් තියෙද්දි මට තියන අවුල, මේ දේවල් නිසා ඒවා ගැන මිනිස්සුන්ගෙ අවධානෙ ඇතිද කියන එකයි. කෝමහරි පාලක පන්තියට තාවකාලික පැලැස්තර අලවල දීල, ප්‍රභාකරන් කියනව වාගේ සිංහල මුනියට ඔක්කොම මතක සතියයි කියල සතිය ගෙවෙනකල් Priority දිය යුතු ඒව යට ගහල අවශේෂ කරුණු මතු කරල පට්ට රැල්ලක් හදන මාධ්‍යය සහ බුකි ඇඩ්මින්වරුන්ට මගේ බලවත් මෙව්ව එක...

 ප.ලි.: මෙහි ලියා ඇති සියලු දෑ මගේ පෞද්ගලික මතයට අනුකූල ය.