Tuesday, 29 March 2016

මගෙ ලේ පාට හීන කතන්දරේ...


හීන හිතට ආගන්තුක නෑනෙ. ඕනෙතරං පාට පාට හීන රැයක් දවාලක් නොබලා හිතට එබෙනව. ආරාධනා මොකටද.., වැටකඩුලු මොනවද... මේ කිසි දෙයක් නොදැන, පැණි බේරෙන බූන්දි පාටට, බොම්බයි මොටයි තරං රෝස පාටට, අත්තම්මගෙ කොණ්ඩෙ තරංම සුදු පාටට, වහින්නැති ආකහේ වගේ නිල්ම නිල් පාටට, එකී මෙකී නොකී නානාප්‍රකාර දේදුනු පාට වලින්, හීන හිතට එබෙනව...

ඒ සබ්බ සකලමනාවම අස්සෙ සමහර හීන තියනෝ හරි අමුතු. හිතේ ගැඹුරුම කොණක ඉපදෙන ඒ හීන හිතේ බිත්ති උඩ ඇඳෙන්නෙ උල් කටුවකින්ද මන්දා. ලේම ලේ පාටින් දිස්නෙ ගගහ ඔය තියෙන්නෙ හිත පතුලෙම... හිතේ ගැඹුරටම කාවැදිච්චකොට ඒ මත්තෙ කැටි ගැහිච්ච ලේ වලින් ඒ හීන ලේ පාට වෙලා, රතූම රතු පාට වෙලා.

ඒ රතූම රතු හීන වල ලේ පුසුඹ, ඉව කරන්නෙ මගෙ ජීවිතේ. ඒ හින්දයි මං කියන්නෙ ඒ හීන ගෙනාවෙ ජීවිතේ කියලා.ජීවිතේ සිත්තම් කරන ඒ ලේ පාට හීන මට ජීවිතේ තාල ගේනවා. ඉඳහිට මටත් නොදැනි ඒ හීන ඇඟිලි තුඩු අස්සෙන් යුනිකෝඩ වෙලා කාන්දු වෙනවා. මගෙ මූණු පොතේ අහම්බෙන් එබෙන්නෙ ඒ හීන තමයි. යාළුවො තමයි ඕන්න මාව නොමඟ යැව්වෙ. ඉඳලා හිටලා ලස්සනයි කියලා ඇහුණම ඉතිං හත්වලාමෙ මටත් හිතෙන්න ගන්නවනෙ අම්මප මේවා හොඳයිද කියලා. නොමඟ ගිය මඟ මේ..."ලේ පාට හීන".

මං මහ ලොකු ලියවිලිකාරියක් නෙවෙයි ඕං. ආසාවෙං ලියන හීන, ආසාවටයි සයිබරේට එන්නෙ. මේ තියෙන වැඩ කන්දරාව අස්සෙ ඉඳහිට අකුරු කෙරෙන හීනෙකටත් ඉඩක් තියෙන්නෙපැයි. එන්න... ගොඩ වෙන්න මේ ඉසව්වට. හිතුවක්කාර කෙල්ලක්ගෙ හිතට අප්‍රමාණ වද දිදී මල්වර වෙච්ච හීන දකින්න, කියවන්න, විඳින්න ඉඳහිට මේ පැත්තටත් ඇවිත් යන්න එන්න.

මං ප්‍රභාශ්‍රී

4 comments:

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...