Sunday 31 July 2016

අහිමි

අග්ගිස්සේම වුව වසන්තය
ලදිමි ජීවිතේ සුන්දර වරම
තුරු සිරස දළු දමා හැඩ කළද
නොලද්දෙමි මල් පුබුදුවන වරය.

ලපලු අග දුටුව මුත් වතාවක්
පින්න මැද දුක් විඳින මෝරන්‍ට,
පෙති අරින්නට කලින් බිම වැටුන
මල් කැකුල දැක හිතම ඉරිතැලින...

නොදැනෙන්ට මා නොලද මල් වරය
හිතට වැටකොටු බඳිමි අසරණව
ගෙවා දුර මල් සුවඳ සොරාගෙන
ආ සුළඟ මා දවා හමා යත.

අපවාද අවලාද වැහි අතර
ලේ ගලන තොල් හිමිගෙ අරෝවට,
නැතිද දුක කිරි නොපිරි ලැම දැක
සුරඟනෝ නිදිද දුක නොදැකම...?

බටිත්තනි, කොබෙයියනි, සමනලුනි
සරා නෙක නෙක පියස වන රොද,
සොයා මල් රේණුවක් තුඩින් ගෙන
වරෝ මගෙ පාලු කුස යහනට.

Sunday 3 July 2016

එකොළොස් අවුරුද්දකට කලින්.....



හදවතේ අපමණ සියපත් පිපී තියේ.... ඉඳහිටක මදපවනක පැටලී පෙති එකිනෙක සසල දියට වැටී පාවේ, මතක ඔරු වාගේය.

ඒ මතක ඔරුවක නැගී දහනව හැවිරිදි කෝටු ඉලන්දාරියෙක් මා සොයා එන්නේ ය. එක අතක සුරුට්ටුවක් ගානට රෝල් කළ පොතක් වී...රෝස පාටට හුරු රිබන්  පටියක් පොත කෙලවරින් එල්ලේ. බස් නැවතුමේ යකඩ වැටට බෝම සැප පාසුවට හේත්තුවීගෙන ඉන්නා ඉලන්දාරියාගේ පයක් යකඩ රාමුව මත්තේ..., ඇස් පඩිපෙලින් බැස එන සේනාව ළඟය . ඉලන්දාරියා හරි නොසන්සුන් ය... විටෙක ඒ මේ අත බලන්නේ ය. රූප රාමුවේ නැතත්, යනඑන කොලු ගැටයෙක් නවත්තා 'මචං වෙලාව කීයදැ'යි ඇසුවේ වන්නටත් පුලුවන. ඔහුට හරි හදිස්සි වූවාට ඔරලෝසුවට හදිස්සියක් නැති ගානයි....

තවත් මතක ඔරු මල් පෙත්තක් සසල දිය මත පාවේ.

එහි ඉන්නේ කෙල්ලෙකි. සුදු ගවුමකට ටයි පටියක් ඇන්ද, නහය හරි කෙලින් දෙපැත්තට බෙදා කරල් දෙකට ගෙතූ කොණ්ඩ කරල් දෙකක් වන වනා, කෙල්ලන් රොත්තකට මැදිව එන හරි දඟ කෙල්ලකි. එන්නේ නොවේ  , එවෙන්නේය. පඩිපෙල බහින්නේ නොව, ඉබේ බැස්සෙන්නේ ය. කිසි හදිස්සියක් නොවේ, කිසි ගනිච්චියක් නොවේ... කෙල්ලන්නේ ඉවරයක් නැති අල්ලාප සල්ලාප ඔයාකාරම ය. හදිස්සියෙන්ම කෙල්ල, ඉලන්දාරියා දකින්නී එල්ලෙන්නට ළඟ ඉන්නා මිතුරියගේ අත සොයන්නී. හංඟන්ට හැදුවාට කෝම, කෙලි රෑන මැද්දෑවේම කෙහල්කැන වැට පැන්න හැටි...!  මිතුරී-කොට කෙල්ලගේ කණට ළංව 'මං කිව්වෙ අර අයියා තමා'යි කියන්නට කෙල්ලට සිද්දවුණු හැටි...

ඉලන්දාරියා උන් මතක ඔරුව දිය සුලියක ය.  ඔරුව වාගේම කොල්ලාද කලබලෙනි. පඩිපෙලින් බහින කෙලිත්තී මං දැක්කකොට ඔහුට නොපෙනී කෝම...?

ගෙවූ වරු ගණනම කෙනෙක් ඉලන්දාරියාගේ නොඉවසිල්ල බලා උන්නානම්, දැන් මේ පිපිච්ච මූණු පොඩ්ඩ, හිනාවෙන ඇස් දකිද්දී ඒ ඉලන්දාරි හිත පතුලම නිසල දියක් සේම දකින්නේ ය.

ඉලන්දාරි හිතේ ගැස්ම, කෙලි හිතේ තිගැස්ම මැද උන් වටා ලෝකය නිශ්චල වූවාදැයි ඔවුනගෙන්ම ඇසුව මනාය. 'ඒ නංගී ලස්සනැ'යි කියා ඉලන්දාරියාගේම පණිවුඩ ගෙනා දූතයෙකුට වතාවක් ඈ  කණට ගහන්නෙමැයි කියා කැට තියුවේලු. ඉලන්දාරියාම 'ඉල්ලන් අනුන් දැරි' වචනාර්ථයෙන්ම වතාවත් මේ  දැරිවිගේම හිත ඉල්ලා තිබුණේ ය. "බෑ....හ්,එපා" යි කෙල්ල කියා තිබුණේලු. 'අමතක කරලමු පැරණි කතා' යි මුමුණ මුමුණා ඉලන්දාරියා අද ආවේම දෙකින් එකක් බේරාගන්නට වන්නට ඇත.

දැන් ඉතිං මතක ඔරු කුමට ..., මටත් ගොතන්නට පුලුවනි කතාවේ ඉතිරිය. කාටවත් නෑහෙන්නට ඉලන්දාරියා ආදරේ කියාගන්නට ඇති. වතාවක් දෙවතාවක් කියූ තැන දඟ කෙල්ල බිම බලාගෙනම හිස වනන්නට ඇති.
අර රෝස පාට රිබන් පටිය..., ඒ පොත් සලකුණක්.

විස්වාසෙටම අද, රෝස පාට මැකුණු ඒ රිබන් පටියත් එක්කම පොත් සලකුණ කෙල්ලගෙ සැමරුම් ගොන්නෙ  ඇති. සතියකට දෙකකට වතාවක් ඉලන්දාරියා, ඒ බස් නැවතුමේම, ඒ යකඩ වැටට හේත්තු වෙලාම කොණ්ඩ කරල් දෙක වන වන, කොණ්ඩ කරලෙන් ලිස්සපු කලු රිබන් පටියක් හොයන්නා වාගෙ බිම බලන්, කෙල්ලො නඩේට  මැදිවෙලා අර දඟ කෙල්ල එනකල් මඟ බලන්නැති. සුදු ගවුම හින්දා කතා නොකර මඟතොට, ඇස් වලින් රහස් කියන්නැති.

ඉතිං ආදරේ කරන්නැති.....