Monday 25 April 2016

දේවදූතිය ( 2 කොටස )



"දූ නැතිවෙලා මිතුන්..." හද පතුල පිරුණු වේදනා ගිනි කන්දක්ව පුපුරා යයි, මං ඉඩ හලෙමි. දෑස පොඟවමින් ගලන කඳුළු ඔහු ලය තෙමමින් පල්ලම් බසී. වෙනදා මගේ කඳුළක් මායිම් නොකරන ඔහු, හඬා වැලපී අවසන් වන තුරුම මා ලයට තුරුලු කර උන්නේ ය.



"නාඬ ඉන්න සරනි, දැං අම්මත් එනව ඇති. කාලවත් හිටියෙ නෑ, මං ගෙදර ගිහිං එන්න කියල පිටත් කලා..." කඳුළු තෙත යන්තමින් හිඳී ගිය කල්පයක් සේ දැනුනු අඩහෝරාවකට පමණ පසු ඔහු ම'සවනට කොඳුරයි. කඳුළු හෙවනැලි පිරුණු නෙත් ඔසවා මම ඒ දෑසට එබෙමි.

"අපෙ අම්මට ඩ්‍රයිවර් කියල ඔයා හොස්පිටල් කියල. අම්ම වචනයක්වත් කිව්වෙ නෑ, ඒත් ඒ ඇස් මාව වැරදිකාරයෙක් කලා සරනි. මං යන යන තැන ඒ ඇස් මගෙ පස්සෙං ආව වගේ මට දැනුනෙ. ගෙදර ඉන්න බැරුවමයි එළියට බැස්සෙ, නොදැනිම ඇවිත් තිබුණෙ මෙතෙන්ට..."

ඔහු අමුත්තෙකි, මා පෙම් කළ- ඔහු පෙම් නොකළ දා උන් දළදඩුවා නොවේ...වේදනා රිදුම් අතරමැද වුව හිතේ අමුතු ප්‍රේමයක් පිලිසිඳෙමින් තිබේ, ඒ මේ දළදඩුවාගේ ඇතුලාන්තයේ උන්, අදම දුටු අමුත්තා කෙරේ ය. ගිලී බලමි, ඒ ඇස් තුළට කිමිදී බලමි. කිසිඳු වගකීමේ සහතිකයක් නොවේ. 'මං කැමතියි සරනි තමුසෙට'යි කී නමුත්, මං ආදරේ කියන මොහොතක 'මං තමුසෙ බඳින්නෑ ඕයි, නවකතාකාරියක් වගේ මෙතන ටෝක් දෙන්නෙපා'යි කී දරදඬු ඉතිහාසයක් ඔහු සතුව තියේ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ බරපතල පිළිස්සුම් කැළලි හදවත පුරාම යසට පෙනෙන්නට තිබියදී, අන්තරාය නොතකා හදවත යළි මේ අමුත්තා කෙරෙහිත් පෙමින් බැඳෙන්නට සූදානම් ය. සිතිවිලි සියල්ල ගුලිකොට පසෙක තබා, දෑත ඔහුගේ බඳ වටා යවා හරබරි ගැහෙමි.

"මං එද්දි ඔයා ලේබරූම් ගත්ත විතරලු. ඔයා ඉකිගහන සද්දෙ අහගෙන මට ආපහු යන්න හිතුන්නෑ.. ඔයා හරියට කෑ ගැහුව සරනි..."
ඔහුගේ නෙතඟ සිහින් දිලිසුමක් දකිමි. ජීවිතේ එක දිගට ලැබූ පරාජයන් ළඟ අද ජීවිතයේ සුවිසල්ම දිනුම ලැබීමි. ඔහු නෙතඟ මා නමින් දිලිසුමකි. හිත සැනසේ, ඔහු  වෙනස් මිනිසෙකු වී ඇත. මේ මීට වසරකට පෙර මිතුරන්ගේ ඔට්ටුවකට මා හා හාද වූ සෙල්ලක්කාරයාම ය. අනාරාධිතවම කළලයක් කුසට වැඩියේයැ යි කියූ දා රළු පරලුව හැසිරුණු අංගුලිමාලයාම ය.


 උනා ආ කඳුළක්, අතීත මතක පෙරහරක් කැටිව ආවේ ය. කලු පැහැ දිලිසෙන අවුඩියෙන් ගමන් ගිය පිරිමි විදුහලේ කඩවසම් කුරුල්ලා එදවස නගරයේ බාලිකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරයා වී ය. සෙල්ලක්කාරයා වග දැන දැනත් , උවමනාතරං කෙල්ලෝ ඔහු පස්සේ වැටී උන්නෝ ය. මොණරියක සේ ගෙල උස්සා, ඔහු දෙස නොබලාම ඇවිද ගිය මුත් මගේ යටි හිතේද ඔහු පිළිබඳ අනිත් කෙල්ලන් වාගේම සාධාරණ කෙලි කෙනිත්තිල්ලක් නොතිබුණාම නොවේ. එහෙත් මට දැනුනු ලෙසනම් ඔහු වටා උන් රුවැති මීමැස්සියන් ළඟ මා දුහුවිල්ලකි.

ලෝකය පුපුරා ගියේ එදා ය. මිතුරියන් ගොන්නකට මැදිව උපකාරක පන්තිය ඇරඹෙන තුරු වල්පල් කියවමින් උන් අරලියා යායට ඔහු කෙළින්ම අවුදින් බෝම්බය දෙපා මුලටම අතහැරියේ ය. 'මං තමුසෙට කැමතියි සරනි..' එපමණකි. ඔහු ආදරේය කීවේත් නැත, මං ආදරේදැයි, අකමැතිදැයි ඇසුවේත් නැත. මිතුරියන් පසුව කී ලෙසින්නම් මං මෝඩ සිනාවක් පෑවේලු. එනමුත් ඇස් කතා කරන්නට ඇත. ඉතින් එදා පටන් මම රණ මොණරියක වීමි.

'සරනි, උඹ අමාරුවෙ වැටෙන්නයි යන්නෙ...' මිතුරියෝ රතු එළි දැල්වූහ. නොදැන උන්නා නොවේ,ඒත්.....   කෙල්ලන්ගේ 'මේකි ගිය උඩක් යකෝ' කියන ඉරිසියාකාර ඇස්, 'පස්ස බිම ඇනුනම බලමුකෝ' කියන සරදම් ඇස් සේම 'මොනාවුණත් කෙල්ලක්නෙ, පව්' කියන කරුණාවන්ත ඇස් (මිතුන්ට තිබුණේ එයාකාර ඉතිහාසයකි.) දහස් ගණනක් මැද්දේ මං ඔහුගේ මෙහෙසුන් වීමි. දුර දිග නොහිතා එකඟ වූවාට කල් යද්දී මං ඒ දඟකාර ඇස් ළඟ දපනෙ වැටීමි. ඔහු මට කීවේ කැමතියි කියා මිසක ආදරේ කියා නොවන වග හිතා මතාම අමතක කර දැමීමි. ඔහු ගැන පෙර සේම කළු පැහැ ආරංචි තටු ලබාම මවෙත ඉගිල්ලී ආවේය. නෙතු තරව පියා, කන් වසාගෙන නොසැලීම ඔහු මත්තේම ජීවත් වුණෙමි.

ඉඳහිට ගුස්ති නෑල්ලුවාම නොවේ..රජගෙදර පරවියා සේ කෙල්ලන් පිරිවරාගෙන ඉද්දී මට ඉරිසියා නොහිතෙනවානම් මං මළමිනියක විය යුතුය. මුල් කාලයේ හැඬීමි, කිකිළියක සේ පොර ඇල්ලීමි. ඔහු වෙනස් කරන්නට නොහැකි වූ තැන අහිමි කරගන්නට ලෝබකමට සියල්ල උහුලා ඉන්නට හුරු වුණෙමි.

උසස්පෙළ ලියන්නට ඔන්න මෙන්න තිබියදී ගෙයි ගිනි ඇවිලුණේ ය. තාත්තාගෙන් අනන්ත අප්‍රමාණ පහර කෑවෙමි, 'ඒකා සල්ලිකාර සෙල්ලක්කාරයෙක්, උට හැමතැනම ගෑණු, නංගියෙ උඹට නොකිව්වයි කියන්නෙපා' එක බඩවැල කඩාගෙන උපන් බැම්ම ඉරිතලා ගියේ ය. සමවයස් කෙල්ලන්ගේ කොල්ලන්ගේ සරදම් කෙඳිරීම් වලට විෂය වීමි. මේ සියලු විපරියාස අස්සේ කලකිරීම් මැද්දේ වුව, හිතේ ප්‍රේමය ශේෂ වී තිබිණ.

දළදඬුවා ඉඳහිට මා අත ගෙන ඇවිදින්නට ගියේ ය. මැයි මල් පිරුණු රතු පාට හැන්දෑවක හිතුවක්කාර හාදුවක් නළලේ තියුවේ ය. රැළි පෙරැලී දඟ කරන තඹ පාට වෙරළක බිංතඹුරු යායක ළං ළංව හිඳ ඉන්නා අතරක, හැන්දෑ ඉර වැටී පාට වුණු වත බලා, 'තමුසෙ ලස්සනයි ඕයි, ලෝබත් හිතෙනව'යි කීවේය. කෙල්ලන් මේවාට ලෝබ විත්තිය කියන්නට ඕනෑ නැතිකොට, මට දැනුනු හැඟීම ගැන කියා කුමට...අනේ මං මේ හිතුවක්කාරයාට, දඟකාරයාට ආදරේ ඒකය.

වතාවක් දෙවතාවක්...නොවේ, කිහිපවතාවක්ම කවුරුවත් නොයිඳි ඔහුගේ විසල් මැදුරේදී ඔහුගේම වීමි. ඔහුගේ රළු පරලු හාදුවට හුරුවී උනිමි, කොපුල්, දෙතොල් රිදවා දඟ හාදු ලැබෙන තුරු මග බලා උනිමි. ඔහු මැසිවිලි කියද්දීම සුඛෝපභෝගී දිව්‍ය රථය අයිනකට ගාල් කොට ඔහුගේ යෝධ අත් බාහුවක එල්ලී ගිනිගහන මද්දහන් වල සයුරට මෙහායින් ගාලු පාර දිග, ගිනියම් තාර ඇතිරිලි මත ඇවිද ගියෙමු. දළදඩුවා මගේ බොළඳ දඟකාරකම් දරා උන්නේ ය. ඔහු මට පෙම් නොකරන්නේයැයි කියන්නේ කෝම...?

ඔබ සමච්චලයට මට සිනාසෙනු ඇත. "හරකියක්නෙ මහ.." ඔබ සිතින් දොස් නගනු ඇත. එහෙත් බොළඳ කෙල්ලක වුව, ප්‍රේමය විෂයෙහි පරිණත ගැහැණියක ලෙස මම ඔහුට කොන්දේසි විරහිතව පෙම් කරමින් උන්නෙමි. ඔහුගෙන් පෙරලා ප්‍රේමයක් නොලැබෙද්දීත් (බලාපොරොත්තු නොවී කීවොත් මුසාවකි ) මව්වත් සෙනෙහසකින් ඔහුට පෙම් කරන්නට, බැඳී උන්නට උපේක්ෂාසහගත වුණෙමි.

මතු සබැඳි...

Friday 22 April 2016

දේවදූතිය (1 කොටස)


                   ලමැද කිරි බර දරනු නොහී කැක්කුම් දෙද්දී රිදුමින් මුසපත්ව දෙ ඇස විවර කරමි. දුහුවිලි එතුණු පංකාවක්, සුදු තීන්ත පොතු ගැලවුණු ඇඳ විට්ටමත් එක බැල්මට හසු විණ. සෙම්ප්‍රතිශ්‍යාවකටත්  ජීවකයින් නිවසටම කැන්දූ ගෘහපතීන් අප්‍රසිද්ධ දරු ප්‍රසූතියක් වෙනුවෙන් සිටු දියණිය ප්‍රාදේශීය රෝහලකට ගාල් කර තිබුණෝ ය.  අම්මා ගෙනවුත් ඇන්දවූ ඇගේ සුදු බෙඩ් ජැකට්ටුව කිරෙන් පෙඟවී තිබේ. මේ වේදනාව අස්සේ මට අම්මා සිහිවීම අරුමයක් නොවේ. සියල්ලෝම එක් පසෙක හිඳ යුද්ධ කරද්දී මට උන්නේ ඈ විතරමය. දෑස් විවර වූ මොහොතේ පමණක් නොව, සිඟිත්තිය වදා අවසන් වන තුරුම ප්‍රසව වේදනා මැද්දේ මට මැවි මැවී පෙනුනේ ඇගේ රුවයි. මා බිහි කළ දා ඕ මෙතරම්ම වේදනාවක් මා නමින් උහුලන්නට ඇත. ඒ ලේ කැක්කුමට පිටුපානු නොහී ඕ මගේ පලිහ වූවාය. කරදඬු උස්මහත් පුතුගේ හා සැමියාගේ තර්ජන මැදද ඇය මා වෙනුවෙන් උන්නාය. අපමණක් වේදනා මැද මා ප්‍රසව කාමරයට කුදලාගෙන යද්දී අත අල්ලා දහිරිය දෙන්නට උන්නේ ඇයම පමණි. දරු ගැබ විනාශ කර දමන්නට එකඟ නොවූ වරදට සිඟිත්තියගේ ජීව විද්‍යාත්මක පියා නෑවිත් උන්නේය. දෑහේ මූණේ තියා මලක් සේ හැදු දූ පොඩිත්ත කරගත් හිතුවක්කාරකමටත්, වුණු දේ වුණාවේ කියා දරු ගැබ හලා කෙල්ලක ලෙස ගෙදරට එන්නට අකමැති වූ හින්දාත් තාත්තාත් අයියාත් මා අතහැර දැම්මෝය.

                   දෑසට කඳුළක් ගෙවදියි. මේ තරම් කඳුළු අම්මා සිහිවීද, යටි කය පුරා ඔඩු දුවන වේදනාවටද, කිරිබරට ඇදුම් දෙන ලය දරා ඉනු නොහැකි වීද, ජීවිතේ අසීරුම මොහොතේ මා හැර ගිය කළලයේ වර්ණදේහ අඩක හිමිකරුවා- මිතුන් සිහිවීද නැතහොත් එළියට අවුත් නෙක නෙක පාට හැඩතල ඇසින් උරාගන්නට වරම් නොලබාම, තලු මරා ඈටම පිම්බී කිරෙන් ඉතිරී ගිය ම'ලමැද උරා බොන්නටත් ඉඩ නොතියාම මා සිඟිත්තී අවසන් ගමන් ගිය හින්දාද නොදනිමි. ඈට පණ දෙන්නට අබ මිටක් සොයා අම්මාට ගමන් යන්නට ගත සවිය එන්නටත් මතු ඕ මෙලොවින් පිටමංව උන්නාය.බොඳව ගිය කඳුළු ඇස් ඔසවා මුල්ම වරට ඈත මෑත බලමි. වාට්ටුවේ දොරකඩට නෙත් යොමා අම්මා කොහිදැයි සොයමි.

                      දෑස රැවටීද..., විශ්වාසයක් නොවේ. රෝගී ඇඳෙහි යකඩ ඇඳ විට්ටමට හිස තියා, ඇඳේ නුහුරු පැත්තේ ඔහු බලා හිඳියි. හිස අද්දරම අකුණක් පිපිරිණ. ඔහු ඇවිදින් ය.
"මිතුන්..."
කෙඳිරිල්ල මගේය. දෑස් යළි යළි පිසදා බලමි, සිහිනයක් නොවේ, වේදනාබර සිනහවක් වතේ තවරා ඔහු ඇවිත් උන්නේය. විශ්වාස කරන්න.. මගේ වේදනාවන්ගෙන් අඩක්ම සැණින් මැකී යයි, හිතට සවියක් දැනේ, අසරණ හිත තවත් මා ළඟ නොවී.

පසුතැවිල්ලක් තැවරුණු සිනාවකින් ඔහු මහිස අත තියයි.
"රිදෙනවද මැණික..."
දෙවන හෙණ ගෙඩිය පුපුරා ගියේ ය. ' තමුසෙ, ඕයි, සරනි...' මේ ඔහුගේ උපරිම ආදරේ වචන ගොන්නයි. පෙමින් බැඳී ගෙවුණු වසරටම මෙවැනි වදනක් කියුවාම ය.  මගේ හිත පුපුරා ගියේ මේ කරුණාවටය. සියලු කායික වේදනාවන් රැලි වැටුණු සුදු ඇඳ ඇතිරිල්ල උඩ ගොඩ ගසා, යන්තමින් ඇදි ඇදී අවුත් කෙලින් වී ඔහුට වාරු වීමි. මෙතෙක් දස මසක්ම තනිකමට, කාත් කවුරුවත් නැති අසරණකමට යකඩ ගැහැණියක්ව උන්නෙමි, තනිවම කුසේ දරු ගැබ රකින්නට යුද වැදීමි. දැන් හොඳටෝම හති ය. තව දරන්නට සවි ඇති මුත් පෙම් කළ හිත සවියට ඇවිදින්ය. ඒ හිත පාමුල සියුමැලි ගැහැණියක වී, ඉටිපන්දමක් සේ ඇවිලී යන්නට පුලුවන. පරඬලාවක් සේ දැවී අලුවී යන්නට පුලුවන. ඉතින් දැන් එළඹෙන්නේ හදේ වේදනා නිවාගන්නා නිමේෂයයි.

"දූ නැතිවෙලා මිතුන්..."
හද පතුල පිරුණු වේදනා ගිනි කන්දක්ව පුපුරා යයි, මං ඉඩ හලෙමි. දෑස පොඟවමින් ගලන කඳුළු ඔහු ලය තෙමමින් පල්ලම් බසී. වෙනදා මගේ කඳුළක් මායිම් නොකරන ඔහු, හඬා වැලපී අවසන් වන තුරුම මා ලයට තුරුලු කර උන්නේ ය.

මතු සබැඳි....

ප.ලි. : කතා ලිවීමට නොව කතා හැදීමට හැකිකම් ඇත. මේ ලියා ප්‍රසිද්ධියේ අතහැරි පළමු කතාවයි.

Sunday 17 April 2016

ඕං අවුරුදුත් ඉවරයි.

සිංහල අලුත් අවුරුද්ද සුටුස් ගාද්දි ඉවරවෙලත් ගිහින්. දවස් තුන හතරක තිබුණු කලබලේ හිමිං හිමින් අඩුවෙලා යනව. අම්මේ තිබිච්ච කලබල. හිතුණෙ මේ ටිකේ ඇවිදලම කකුල් දණහිස් ළඟටම ගෙවිල යයි කියල. අපේ ගමේ කියන්නා වගේ, ඒ තොවිලෙත් ඉවරයි ඉතිං. දැං ඉතිං ආයෙම අර දඩිබිඩි ජීවිතේ පටන් ගන්න වෙනව. හෙට කියන්නෙ සඳුදා, හෙට ඉඳන් ආයෙ හති වැටෙන ජීවිතේ. අම්මප හිරිගඩු පිපෙනව මතක් වෙද්දිත්.

අලුත් අවුරුද්දෙ රූපවාහිනී නාලිකා තරඟෙට අවුරුදු උත්සව තියද්දි තොරතෝංචියක් නැතුව කියවන නිවේදිකාවකගෙ හඬ මට අහම්බෙන් ඇහුණා. ඈ කියනව වක්කඩේ දණ්ඩි පැටවු පොරකන, එරබදු ගමේ ඇවිත් දෙවැට රතු පාටින් පුරවන, කොහෝ හඬ ගම දෙවනත් කරන, පුංචි ඈයො පංච දාන...... මෙයාකාර කාරණා ගොඩක් ගේන අලුත් අවුරුදු ඇවිත් කියල. ඇගේ වචන හරි අපූරුවට ගලං ගියා. (මේ මට මතක මගෙ වචන මිසක් ඇය කියූ කාව්‍යමය බස නෙවෙයි.)

ඒත් නිවී සැනසිල්ලෙ හිතුවම මට හිතුනෙ ඒ කතන්දර ඉස්සර අවුරුදු ගැන මිසක්, දැන් අවුරුද්ද ගැන නෙමෙයි කියල. මං ඉන්නෙ ගමක... ගමක කිව්වට පට්ටම ගමක (බොරළු පාරවල් විතරක් තියෙන, එක ලංගම බස් එකක් දුවන, කතන්දර වල තියන සිරාම සිරා ගමක) නෙමෙයි. ඒ උණාට ගමේ බාගෙකම මායිම කඳු වැටි. අපේ ගෙදර ළඟිං පටන් ගත්තු ගමං කිලෝමීටර දෙකතුනක්ම වැටිච්ච වෙල් යාය ඉවර වෙන්නෙ කිරිසුදු වෙහෙර වහන්සේ නමක් වැඩ ඉන්න පන්සල ළඟින්. ආයෙම පන්සලට එහායිනුත් පටං ගන්නෙ ඒ විදියෙම වෙල් යායක්. ඉතිං ගමක් කියන්න මේ ඇතිනෙ. විස්වාසෙං කියන්නෙ, මෙච්චර ගමේ මං උන්නු දවස් පහ හයේ ඇහුණෙ නෑ කොහෝ නාදයක් අද වෙනකල්. අද හවස හයට විතර එකපාරටම අතරමං වෙච්චි කොහෙක්ද මන්දා, බොහොම ඈතින් ඇහුණ කොහෝ නලාව. ඇහෙද්දිම මගෙ හිතට සතුටක් දැනුණට මොකද, මට හිතුණෙම ඒක ඇඬිල්ලක් මිසක, වසන්තෙට ආවැඩිල්ලක්නං නෙමේ කියල. නිරායසයෙංම මට මතක් උණේ මගෙ පුංචිත්තං කාලෙ, කොහා කෑගහන වාරයක් ගානේ කෑ ගහන්නෙ මං. ටික වෙලාවකිං අහළ පහළ මගෙ රස්තියාදු සනුහරේම කොහාට ඇටෑක්. අන්තිමේ කොහාට මාරාවේස වෙලා 'අනේ කෙල්ලෙ පල' කියන්නා වගේ අන්තිම කොහෝ සද්දෙ මං දිහාට විසිකරල යන්න යනව. කොහාට ඒ වසන්තෙ අමතක ගාණයි, දැං කොහෝ සද්දෙත් මලානිකයි.

එරබදු යායට පීදිච්චි දෙවැටවල් පාළුවෙලා ගිහිල්ල. ඉස්සර රතු පාටට පෙති හැලිච්ච දෙවැට දිගේ, බිම හැලෙන ඇහැළ මල් වල රේණු කලංකෙ, රේණුවෙ නැම්මට අමුණල දිගට දිගේ මාල, තෝඩු එල්ලං කිරි අම්ම පස්සෙං නාන්න වෙලේ ළිඳට ගියපු අතීතෙ හිතට එනව. ඒත් එරබදු අමනාපෙං... පිටගං ගිහිං.

ඉස්සර අවුරුද්ද කියන්නෙ කජු වාරෙ. කජු මල් අස්සෙං රිංග රිංග කජු නාඹර කඩන කිරි අම්මගෙං අනන්ත අප්‍රමාණ  බැනුං අහනව මං, එයා කජු කඩන කෙක්කට ලොකුකමට උදව්වට අතගහල. පාලු වත්තෙ කජු ගස්, රතූම රතු කජු පුහුලං අත්වල එල්ලං උන්නෙ ඒ දවස්වල අපි වෙනුවෙංමයි. වටේ පිටේ කෙලි සනුහරේම ඇදගෙන මං කජු ගස්වල. ගවුං කෑලි පුරාම කජු කහට, ඇඟ පුරාම ඉවසන්න බෑ, ගස් ගඳ. ඒ කාලෙ අවුරුද්දට කජු නාඹර ව්‍යංජනේ තුං හතර පාරක්ම කාල. දැං.... කජු ගස්වල මලුත් නැති තරං. කජු පුහුලමක් කහට පෙරාගෙන කන්න,කජු නාඹර මාලුවක් රහ කර කර කන්න ලැබුණෙම නෑ මේ වතාවෙ.


තිත්ත පැටව් නටන්නෙ කෝමද වක්කඩේ..., නොමිලේ දෙන පොහොර ඕවර් ඩෝස් ගහල, කෘෂි රසායන කුඹුරට ඉහල නෙවේ- නාවල. හිස් බෝතලෙත් වක්කඩේ පාවෙනව. ඉස්සර අප්‍රේල් වැහි ඇල්ලෙ අපි අම්මට හොරෙං වක්කඩට පනිනව. මහ වැස්සට හෝ ගාල ගලන දිය පාර මඩ පාට වෙන්නෙ, වක්කඩවල් කඩාගෙන එන්න තියෙන විසේට. අම්මට අහු උනාම තමයි වැඩේ. කෝටුවකුත් අරං එන්නෙ වක්කඩ ළඟට.ගෙදරට යනකල් ගැහි ගැහී, කෝටු පාර වදිනවට බයයි, මඩකරියො වගේ මඩ වතුරෙ ජබිගහල හීතල.

ඔක්කොටෝමත් එහා... කරදඬු උස් මහත් වුණාට පස්සෙ අවුරුද්දත් කොට වෙලා. පුංචි කාලෙ අවුරුදු චාරිත්‍ර මහ ගොඩක් වගේ දැනුණ, සත්තයි.. අවුරුදු හරි දිගයි. දැං අවුරුදු උදාවයි, ගිනි මොලවන්නයි, ගණුදෙනු කරල ආහාර අනුභවයයි විතරයි. පුංචිත්තා කාලෙ මං හරි දිගට දැනුනනෙ. ඒ කාලෙ වගේ අවුරුද්දෙ විසිතුරකුත් නෑ මට. අවුරුද්දකට මාසෙකට විතර කලිං අම්ම, නංගි එක්ක ටවුමට ගිහිං කදමලු පිරෙන්න අලුත් ඇඳුම් අරං, "කඩේ බත්" කාල ආපු ලස්සන අවුරුද්ද, වැඩ අල්ලන වෙලාවට මාර සීරියස් වෙලා පොතක් කියවපු අවුරුද්ද, කැවිලි පිඟානක් අරං අම්මගෙ සායෙ කොණක එල්ලිල ගම වටේ ගියපු, වැඩිමල් කවුරුහරි කමක්නෑ වැඳල පොතක් සබන් කෑල්ලක් ඉල්ලගෙන ඒකට සතුටිං පිම්බුණු අවුරුද්ද හොරු අරං ගිහිං. ආයෙ ඉතිං පොඩි කෙල්ලක් වෙන්නත් බැරිකොට, ඒව මතක විතරක් වෙලා තියේවි.

මේ අවනඩු අස්සෙ ඒ ලස්සන "අලුත්ම අලුත්" අවුරුද්ද කොහෙන් හොයන්නද... මට හිතෙන්නෙ මේක දැං වාණිජ අරමුණු නිසාම කැලැන්ඩරේ එල්ලං ඉන්නව මිසක, මිනිස්සුන්ට උවමනා නෑ අලුත් වෙන්න. ලබන අවුරුද්දෙත් මේ වගේ අවුරුදු ඒවි. කොහා වසන්තෙට කලින් ඇවිත් බෙරිහං දෙන්නැතිවෙයි... එරබදු ගහට නින්ද යාවි...කජුගස් අපිව අමතක කරාවි...ඒත් කැලැන්ඩරේට වරදින්නැති එක විස්වාස නිසා ලබන අවුරුද්දෙත් "අලුත් නැති අලුත් අවුරුද්දක්" ඒවි.

Tuesday 12 April 2016

කෙල්ලන්ගේ සිහිවටන එකතු කිරිල්ලේ පිස්සුව




බ්ලොගය අමාරුවෙන් හදාගත්තට මොකෝ දවස් ගාණක් තිස්සෙ මට කුරුටු ගාගන්න නිමිත්තක්වත් හිතේ එකලාසයක්වත් නෑ. මං ඉතිං ලියන්නෙක් නෙවේ වෙච්චිකොට මට යමක් කුරුටුගාගන්නනම් ඇතුළාන්තයෙන් එන රිදීමක් ඕනෙ. කියවන ඔබ එකඟ නොවෙන්නත් පුලුවන්. ඒත් සමහර වෙලාවට මගෙ හිතේ අහුමුලුවල ඉසියුම් වේදනාවක් ගේන කෙනිත්තිල්ලක් එනව, හරියට නියපොත්තක් අගින් කවුරුහරි කොණහනව, හූරනව වගේ හැඟීමක්. ඒ රිදිල්ල සමනය වෙනකල් මට ආවේසෙකින් වගේ ලියන්න හිතෙනව. මං අමාරුවෙන් කුරුටු ගාගන්න හැඟීම් එළියට එන්නෙ එහෙමයි. දවස් ගාණක් බලන් ඉඳලත් එයාකාර ආවේගයක් හිතට නාපු එකේ මට හිතුණ රෝස පාට හීනෙක පාට උලන්න. ( මං හීන වලට පාට ගාපු හැටි, ඒම නැත්තං මගෙ හීන කැටගරිය බලන්න මෙතනිං යන්නකො)

බෝඩිමේ බිත්තිත් දාඩිය හලාගෙන, මං වටකරං මට ඔරවනව. මට පාළුයි...නිරායසයෙංම මගෙ හිතට ගොඩ වෙන්නෙ "එයා". කෙල්ලෙක්ට ෂෝයි කියල මං විහිළු කරන ඒ දිග ඇස් මට පිටිපස්සෙං එබිකං කරනව. (ඒ ආදරේ කෝලං බලන්න මෙතනින් යන්නකො.)

රස්නෙ හුස්ම බෙල්ලෙ පිටිපස්සට වදින පුරුද්දට මං ඇකිලිලා යනව. අපේ දඬුමොණරගෙ පිටේ එයාට පිටිපස්සෙන් වඳුරු මොටෙක් වගේ එල්ලිලා යද්දි අංශුවක්වත් අත නෑර පපුවට ඔබාගන්න ආසවෙන් කොළඹ ඉඳන් කුරුණෑගලට යනකල් මිලියන වාරයක් එයාට නොදැනි ඒ උරහිස ඉඹ ඉඹ පපුවට ෆුල් ටෑන්ක් පුරවගත්තු “ඔයාගෙ සුවඳ” මගෙ වටේ දැනෙන්න ගන්නව. නොදැනිම මං මගෙ හීන ලෝකෙ.

මේක කියවන්නෙ එක එක වයස් මට්ටං වල අය, නොදැන  නෙමෙයි මං. දැං තට්ට පෑදිල, බඩ ඇවිත්, ආදරේ අඳුනන්නෑ වගේ උන්නට ඒ හැමෝම ජීවිතේ එක කාලෙකදි මටත් වඩා බොළඳ සහ ආදරනීය විදියට ආදරේ විඳපු ඈයො. ඒ මතක පොත් දිග ඇරෙන්නත් එක්ක කියවන්නකො.

අවුරුදු 25ක්ම උණාට මොකද, ආදරේ අවුරුදු දහයක් පරණ වුණාට මොකද... මට තාම තියෙන්නෙ කෝඩුකාර ආදරවන්තියකගෙ හීන, හිච්චි බිච්චි කෙල්ලකගෙ හීන. "ආදරේ අඳුනන්නැති මගෙ ගල් ගෙඩිය" මුලාදෑනිය වගේ වවං ඉන්න රැවුල් කොණේ එල්ලිල ඔන්චිලි පදින්න, ඒ දිග ඇස් අස්සෙ - ඇහිපිල්ලමක් යටට වෙලා නිදාගන්න හිතෙන හීන වල ඉඳං, ගල් ගෙඩියාට රසට උයල කවන්න, පොඩි බබෙක් වගේ ඒ නාකි සීයව හුරතල් කර කර බලාගන්න තරමෙ මහ ගෑණියකගෙ හීන මට තියනව. නොකිව්වට හැම කෙල්ලක්ටම තියෙන හීන මේ...

කෙල්ලොන්ට තියෙනව එක එක විදියෙ පිස්සු. සමහරු මල් වවනව, බලු පැටවු පූස් පැටවු දරුවො වගේ හදාගන්නව. සමහරු ඇඳුම් පැලඳුම් එකතු කරනව. මගෙ මිතුරියක් හිටිය, එයාගෙ ආසාව සෙරෙප්පු එකතු කරන්න. මට විස්වාසයි එයාගෙ සෙරෙප්පු එකතුව අර්ධ ශතකයක් පන්නල ඇති. ආයෙ පිස්සියක් හිටිය, එයාට තිබුණෙ ජපානෙ ගැන පින්තූර, විස්තර එකතු කරන පිස්සුවක්. ඉස්කෝලෙ කාලෙ පිස්සුවෙන් වගේ ජපානෙ ගෑවිල තිබුණු කොළ කෑලි, පින්තූර කෑලි පවා එකතු කළා. හැබැයි කෙල්ල ඒ හීනෙ හැබෑ කරන් ජපානෙ ගිහින් ආව. ආයෙ හිටිය පිස්සියක්, හැරී පෝටර් තමයි ජීවිතේ. හැරී පෝටර් පොත් ටික පිස්සුවෙන් වගේ එකතු කළා. පැන්සල් පෙට්ටිය පුරාම හැරීගෙ ස්ටිකර් අලෝගෙන. ඔන්න ඕමයි කෙල්ලන්ගෙ පිස්සු.

මට ඒ කාලෙ ඉඳන් තිබුණු පිස්සුව තමයි අපේ මනුස්සයගෙ (මෙහෙම කිව්වට මේ අපේ මනුස්සය වෙන්න ඉන්න මනුස්සය හොඳද) පරණ බඩු එකතු කරන එක. හිකිස් ගාල හිනා පැන්නට මොකෝ තාමත් මං ළඟ තියෙනව ඒ ආසාවෙන් එකතු කරගත්තු ගැජමැටික් ටික. වැඩිපුරම මං ළඟ තියෙන්නෙ එයැයිගෙ අතේ තිබිල ගලවගත්තු පරණ වෙච්චි පිරිත්නූල්, කොල්ලො දාන අත් පළඳනා එහෙම. ඉස්සර මං පන්සල් යනව කියල ගියාම මෙයා සැදී පැහැදී ඉන්නව පිරිත් නූලක් ගේනකල්. අම්මට, කේලං කියන නංගිච්චිට හොරා හාමුදුරුවන්ගෙං ඉල්ලගන්න ( ඉල්ලගන්න කීවට එක නූලක් දුන්නම හාමුදුරුවො, ඊළඟ නූලත් අතට දානකල් හෙල්ලෙන්නෑලු) පිරිත් නූලක් කෝමහරි අරං එන විත්තිය දන්නවනෙ. සමහරවිට ඒක යවන්නෙත් එයාගෙ යාළුවෙක් අතේ. (හැංගි හොරා කරපු ආදරේ ගැන සමහර විස්තර මෙතන තියනව.) ආයෙ කවදමහරි මාව දකිනකල් ඒ ඔක්කොම බැඳගෙන අතේ…, අලුත් නූලක් දෙන්නෙ මං අර දුඹුරු වෙච්චි නූල් ටික රාජසන්තක කරගෙන තමයි. ඒ කලෙ තදටම තිබ්බ අතේ වියපු පටි බැඳිල්ලක් කොල්ලන්ගෙ. මං දැනං හිටිය ඒ එක නූලක් වියන හැටි. මං ඉතිං ඒ වියන ඒවත් ගැටගහල කිළුටු වෙද්දි මගෙ සුරක්ෂිතාගාරෙ.

ඉස් ඉස්සරෝම මං එයා දැකපු දවසෙ ඇඳන් හිටපු කබල් ටී ෂර්ට් කටුවත් ඒ කෞතුකාගාරෙ තියෙනව. කටුව කිව්වට ඒව මට රත්තරං වටිනව. මොබයිල් ෆෝන් නැතුව, අහම්බෙකින් කැමරා දැකපු ඒ දවස් වල, අපිට එකතු කරගන්න සෙල්ෆි තිබුන්නෑනෙ. අපේ සිහිවටන වුණේ මේව තමයි. ඉස්සර මෙයා කොතැන දැක්කත් ඔලු ගෙඩියෙ කැප් එක නම් වරදින්නෑ. බලෙන් ගලවගත්තු හඩු කැප් තොප්පියකුත් මං ළඟ තියනෝ..

හොඳම කොටස ඒක නෙවෙයි. මට කොච්චරක් පිස්සුද කියනවනං ඒ කාලෙ,  අහම්බෙං 'එතුමගෙ' උරහිසේ වැටිල තියනව දැකල පැනලා අහුලගෙන ලේන්සුව අස්සෙ හංඟන් ආපු කේශ ධාතු දෙකකුත් මගෙ කෞතුකාගාරෙ තියෙනව. ඒක නැතිවෙයි කියල බයට අනේ මං ඒ කාලෙම ඒක මගෙ පුද්ගල හැඳුනුම්පතේ කෙලවරකිං අලවගත්ත. යාළුවො බඩ අල්ලං හිනාවෙද්දි අනේ මං ඒක සෑයක් හදන්න තරං ආදරෙං පරිස්සම් කළේ. තාමත් ඒක අයිඩෙන්ටිය කොණේ තියෙනව, සැලකිල්ලෙන් බැලුවොත් මිසක් පේන්නැති නිසා උවදුරක් නෑ.

මේක ලියල වගකිවයුතු පුද්ගලයන්ට පාරෙ යන්නත් නෑයි කියල බැණුං කෝටියක් තියෙයිද දන්නෑ. කෙල්ලන්ට පිස්සුනෙ කියල පිරිමි දරුවො කියනව ඇත්තෙත් කෙලි හීන මෙයාකාර හින්ද වෙන්නැති. අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ, හැම කෙල්ලම මං වගේ නට් කේස් එකක් නෙවෙයි... බෝම සීරියස් ගෑණු දරුවොත් ඉන්නව. පිරිමි දරුවො ආදරේ කරන්න පටං ගන්න කලින් චුට්ටක් හොයල බලන්න වෙයි. සීරියස් ගතිගුණ තියන කෙනෙකුට මේ වගේ නට් කේස් එකක් ලැබුණොත් ...? දන්නෑ. නැගල යන්නත් ඉඩ තියනව. මගෙ පෞද්ගලික අදහස නං කෙල්ලක් වුණාම චුට්ටක් මේ වගේ පිත්තු තියෙන්නත් ඕනෙ ඕං. අනේ ඒ වුණාට මහප්‍රාණ නොපිරිච්ච කෙලි ජීවිතේක හීන හරි ලස්සනයි, අහිංසකයි. මේ තරං නාකි වෙලත් ඒ රෝස පාට හීන ලෝකෙට  කෙල්ලො ආදරේ ඒකනෙ.

ප.ලි. : එයා,මෙයා, මනුස්සය කිය කිය ලියන එක හරිම අමාරුයි. හිතුවට හිතුවට රැජිස්ටර් කොරන්න නමක් තාම හිතා ගන්න බැරි වුණානෙ. කමත්වා කස්ටිය. පැටලිල්ලක් නැතුව කියවගන්න පුලුවන්ය කියල හිතෙනව.

Friday 8 April 2016

නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.


නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි.

"දුඹුරු පැහැ දිය පසා කරගෙන උඩ නගින
සුදෝ සුදු පෙණ කැටිත්තක සිරවෙමි.
හදිසියේ තෙරපි තෙරපී උඩ අවුත්
පෙණ කැටිත්තට නියකොණින් ඇන සිදුරු කර
පුපුරවා දමමි."



පතුල සිතිවිලි උපද්දයි...
පතුලටම සිරව ඉනු නොහී සිතිවිලි
පෙණ කැටිත්තක එතී
හිටිගමන් කලඑළි බසී.
කලත කලතා බීර, අවුත් උඩ
මට වද දිදී ලියැවෙයි....

             හාල් සුවඳ, කෙටෙන හාලක අමු පුසුඹ, මෝල්ට් සුවඳ, දහයියා පුසුඹ පහුකරං මං ඇවිදන් එනව. ටිකකින් නැහැ තුඩු හාරවන් කටුක ඇමෝනියා ගන්ධයක් දැනෙයි. ඊළඟට නැහැ තුඩුවලට රිංගන්නෙ ඒ කෙටුන ධාන්‍ය වල පැහෙන සුවඳක්. බීර ගැන දන්න ඇත්තො දන්නව මේ සුවඳ... ජීවිතේට බීර උගුරක් තොල නොගෑවුණත් මටනං දැන් වෙරි. නැතිවෙයිද ඉතිං...? උදේ ඉදන් රෑ වෙනකල් මගෙ ස්වාසනාලිකා, අනු ස්වාසනාලිකා පහුකරන් ගර්තවලත් පිරෙන්නෙ මේ පැහුං පුසුඹ වෙච්චිකොට, සුවඳ දැනෙද්දිත් මට වෙරි.

               බීර ලීටර දහස් ගණන්..නෑ, දසදහස් ගණන් පැහෙන, පිරවෙච්ච ටැංකි අතරින් මං ඇවිදං යනව. බීර පෙණ වගේ කෝටි ගාණක් හිතිවිලි මං ඇතුලෙ පෙරලි කරනව, බලෙංම උඩට නැගගෙන ඇවිත් පුපුරලා යනව. මේ ලියන්නෙ ඒ හිතිවිලි මිසක්, මේක බීර ඇඩ් එකක්වත්, ආගම් පිළිබඳ විචාරයක් නොවෙන විත්තිය ඉස්ඉස්සරෝම කියන්න ඕනෙ. මේක පිටිපස්සෙ විවිධාකාරෙ තර්ක, සදාචාර හා සංස්කෘතික කාරණා ගොඩයි.. මේ පැහෙන බීර බිංදුවකින් රැකෙන ජීවිත එමට. හාල් ඇටේ වවන, උක් වවන, සීනි හදන, මුට්ට කරගහන, නැව් පදවන, රියසක හසුරුවන එකී මෙකී නොකී ජීවිත ජීවත් වෙන්නෙ මේ වෘත්තියෙන්. ඒ වගේම රට ඇතුලෙ බොහොමයක් ජීවිත අවුල්වෙන්නෙ, ජීවිත අහිමි වෙන්නෙ, කඩා වැටෙන්නෙ, පවුල්වල කොඳුනාරටි දෙදරන්නෙ මේ හේතුවෙන්මයි.  තෝරාගැනීම ඔබේ. මං උදේ හවා දකින දෙයක් අකුරු කළා විතරයි මේ....

                  ජීවිතේටත් එක එක සුවඳ තියෙනව. එක එක රස තියනව. විවිධාකාරෙ අමුද්‍රව්‍ය එකතුවෙල, පදමට කලවං වුණාම, නියම පදමට, නියම කාලෙට ජීවිතේටත් නියම රස එනව. ඒ රහ පුද්ගලානුබද්ධයි. ඔබ තෝරන්නෙ ඔබට උවමනා බ්‍රෑන්ඩ් එක. සමහරවිට ඔබේ තේරීම වෙන කෙනෙකුට රුචි නෑ. ඔහුගෙ තේරීම ඔබට අපුලයි. ඒක ඔබේ බීර ටේස්ට් එක. මේක ඔබේ ජීවිතේ ටේස්ට් එක. ඔබේ රුචියටයි ඔබ ජීවිතේට එකතු කරගන්න අඩුවැඩිය තීරනේ කරන්නෙ.

               ඔබ තෝරගන්න අඩුවැඩිය, ඔබ නිසි පදමට පිලිවෙලට එකතු කරනව. හැබැයි හදිසියෙ ගිල දානව. ඔබ බොන්නෙ බීර නෙමෙයි, ඒකෙන් එන්නෙ ඔබට උවමනා රස නෙවෙයි. ඒ නිසා ඉවසන්න. ජීවිතෙත් පැහෙන්න ඉඩ තියන්න. කාලය තමයි බොහෝ දේවල් වලට නියම ඔසුව. ජීවිතේට ගැලපෙන පදම අරන් එන්න කාලෙටත් ඉඩදෙන්න.

              පදමට පැහෙන බීර, නල දිගේ මහ දුරක් ඇවිත් ඇහිරෙන්නයි හදන්නෙ. බොහොම විසිතුරු පිට අසුරනයක් අර එක එක රහ මුහුවෙච්ච බීර ටික වටේ එතෙනව, හරියට එක එක රහ මුහුවෙච්ච, දුක සැප කලවං වෙච්ච ජීවිතේ දේදුනු පාට, විසිතුරු පිටකවරෙකින් වැහිල තියනව වගේ.
               මෙතන ඉඳන් වෙන්නෙ ජීවිතේ කණපිට. එක පොදියට එන බීර ඇසුරුම් පිටස්තර මිනිස් බලපෑමක් නැතුව තමන්ගෙ ගමන යනව. හිස් කෑන් වලට බීර පිරෙනව,හැම එකටම එකම ප්‍රමාණෙකින්, එකම කොලිටියකින්.. සීල් වෙනව, ඇදට, ඇලවෙලා එන, හරිපාරෙන් පිට පනින, නියමිත ප්‍රමාණෙට නොපිරිච්ච අසුරන ඒ ගමනෙන් විසි කරල දානව. එක ගොඩට එන බීර කෑන් පිලිවෙලකට ඇහිරෙනව, පොලිතීන් අහුරනයක එතෙනව. මං බලං ඉන්න ගමන්, මේ සංගදිය ජීවිතේට ගලපන්න පොරකනව. ම්හු... අනිත් පැත්ත ජීවිතේ.

                ජීවිතේට නිසොල්මනේ, එකම තාලෙකින්, එකම වේගෙකින්, එකම රටාවකින් ගලන්න ලැබෙන්නෑනෙ. ළිඳ මගේ නං, මං ළිඳේනං කාටවත් ඇයි වේදනා කියල ජීවත් වෙන්න ජීවිතේ අපිට ඉඩ අරින්නෑ. අඳුනන, නන්නාදුනන ඇඟිලි ගැහිලි එමටයි. ජීවිතේ ගලං එන හැම මොහොතක්ම එක වගේ, එකට රිද්මෙකින්, එකම කොලිටියකට තියෙන්නෙත් නෑ. හරි පාරෙන් පිටපනින, ඇදගහන වෙලාවන් වල ඒ මොහොත එළියට ඇදල දාන්නවත්, ඒක නිවැරදි කරල දෙන්නවත් ක්‍රමයක් නෑ. කට්ට කාලමයි දිරවගන්න විදිය හොයාගන්න වෙන්නෙ. අපේ හැම හැඟීමක්ම,අත්දැකීමක්ම ජීවිතේ ඇතුලෙ එකම කොලිටියට, එකම ස්ටෑන්ඩර්ඩ් එකටත් නෑ. සමහර ඒවා පට්ට රස. සමහර ඒව කටේ තියන්න බෑ. ඒමයි කියල විසිකරන්නත් බෑ.

                 ජීවිතෙත් ලේසි පාසු නෑ අප්ප. බියර් බීමත් ලේසි නෑ වගෙයි. උත්සහ කලේ වෙනස් විදියට බැලුවොතින් වෙනස්ම විදියකට පෙනේවිද බලන්න. ඒකයි බීර පාට හීනයක් අටවගත්තෙ. එසේනම් මගේ කතාව අවසානයි. අසා සිටී ඔබ සැමට ස්තූතියි.