හිතුවිලි
වලට මතු වෙන්න නොදී හිත කඹේකින් තදට ගැටගහල තියෙනව වගේ, මුකුත්ම නොකර නිකංම ඉන්න ඕනෙ කියල හිතෙන උදාසීනකමකින් එතිල, පැටලිල ඉද්දි හිතුණ මේක කුරුටු ගාන්න ඕනෙ කියල. හේතුව බුකිය පැත්තෙ හරි ජරමර. අඩියක් තියන්න නෑ කුණුහරුප සාගරේ. විචාර, විවේචන, තද වලි එමට. කැළණියෙ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යාවකට නවක වදය දීල කියන මාතෘකාව තමයි නිමිත්ත. මමත් හතරවටේ ඇවිදල බැලුව. මයෙ අප්පේ කොමෙන්ටු කියෙව්වම මට සම්පූර්ණ භාෂා ඥානය හම්බුණා.
මමත්
තවම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. හෝව් හෝව්... මේ හදන්නෙ යුද්ධෙට එන්ට නෙවේ. එක එක අය විවිධ මතිමතාන්තර එක්ක ඉද්දි මටත් හිතුන මට හිතෙන දේ කියන්න. මේ උලුප්පල ගත්තු සිදුවීමෙදි, වෙච්ච සිදුවීම ඒ විදියටම මම
නොදන්න නිසා, ඒක
ගැන නිවැරදිම අවබෝධයක් මට නැති නිසා ඒ සිද්දිය ලිහන්න- පටලන්න උත්සහ කරන්නෑ. ඒව
හොඳයිද නරකයිද කියල කැටගරි කරන්න මං උත්සහ කරන්නෑ
අපිත්
විශ්වවිද්‍යාලයට ගිය අලුත අපිටත් orientation තිබුණා. අවංකවම කියන්න, අපේ කැම්පස් එකේ අමානුෂිකයි කියල ලේබල් ගහන්න ඕනි දේවල් එකක්වත් සිද්ද වුණේ නෑ. ලිංගික අඩන්තේට්ටම්, බලපෑම් ගෑණු ළමයින්ට තිබුණෙ නෑ. කොමන් රැග් එකෙදි ලැබෙන කායික හිරිහැරයක් නැති රැග් අපිටත් ලැබුන. ඇඟට අතක්වත් තිබ්බෙ නෑ කිසිම වෙලාවක, කිසිම කෙනෙක්.මොනම විදියෙ අනිසි බලපෑමක්වත් තිබුණෙ නෑ- අනිසි කියල මං මේ සඳහන් කරන්නෙ ලිංගික බලපෑම්.
අනන්ත අප්‍රමාණ බැනුම් නං ඇහුව. හිනා නොවිය යුතු තැන හිකිස් ගාල හිනා පැන්නම ඇයි තොට හිනාද, ආතල්ද..? කපපං හිනාව, කපල සාක්කුවෙ දාගනින් කියල බැනුම් අහගන්නව. නමුත් මේක හරිම පුද්ගලානුබද්ධයි. සමහරු වෙලාවකට පර්සනල් ඇරියස් කවර් කරගන්නව කියලත් හිතෙන වාර තියෙනව. පළමු වසරෙදි බොහෝ වෙලාවට මට මේක වදයක් වුණා. ඒත් හවසට බෝඩිමට ගිය ගමන් අපි මේව මතක් කර කර, ඒ ඒ අවස්ථා රඟපාල, සීනියර් අයියල අක්කලාට නම් වානං පට බැඳල ඒව විහිලුවට හරවගෙන බඩ පැලෙනකල් හිනා වෙනව. පහුවදාට හැබැයි කැම්පස් එකට යන්නෙ කාගෙ බැනුමකට අහුවෙයිද කියන බයෙන්.
ඒත්
දැන් අපි කැම්පස් එකේ පට්ට සුපර් සින්නො, සිව් වෙනි අවුරුද්ද. දැන් අපිට රසකර කර මතක් කරන්න තියෙන්නෙ, හිනාවෙවී කතා කරන්න ඉතුරු අර මතක විතරයි. එදා නරක විදියට දැකපු, කරදර විදියට දැකපු දේවල් ඔක්කොම අද අපිට රස මතක වෙලා. කොහොම වුණත් මට මේව රසබර මතක වුණේ ජීවිතේට බලපෑමක් නොවුණු, අනවශ්‍ය රැග් අපිට නොතිබ්බ නිසා.
මේක
සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව අමානුෂික රැග් වලට මූණ දෙන්න උනානම්. ජීවිතේ කඩා වැටෙන, මානසිකව ඇදවැටෙන විදියෙ රැග් වලටනම් අනිවාර්යයෙන් විරුද්ධ වෙන්න ඕනෙ. මං හිතන්නෙ ඒක කරන්න පුලුවන් කැම්පස් එක ඇතුලෙමයි. මං අහල තියනව අපි කැම්පස් එකට යන්න කලින් අපේ කැම්පස් එකෙත් ටිකක් දරන්න අමාරු විදියෙ රැග් තිබුණයි කියල. ඒත් අපිට බැච් හතරකට විතර උඩින් උන්නු සීනියර් වසරක අය්යල අක්කල තිබුණු ක්‍රමේට විරුද්ධ වෙලා එව ටිකෙන් ටික වෙනස් කරගත්ත කියල. වෙනස් විදියට හිතන කොටසකට එකතු වෙලා කැම්පස් එක ඇතුලෙම මේ දේවල් වෙනස් කරගන්න පුලුවනි.
ඒ
නිසා මේ රැග් කතාව එක එක කෝණ වලින් අර්ථ දක්වන්න පුලුවන්. ඒත් මගෙ පෞද්ගලික අදහසනං මේ වතාවෙ නුවුවමනා විදියට මේක මාධ්‍යයෙන්, ෆේස් බුක් හරහා ඉස්මතු වුණා කියනෙක. මගෙ තියරිය තමයි නොදන්න දෙමළෙට ගිහිං වරිගෙ නහගන්නෑ කියන එක. බ්ලොග් ලෝකෙදි විතරක් නෙවේ, හැමතැනදිම මං නොදන්න දේවල් වල එල්ලෙන්න, විවේචනේ කරන්න යන්නෑ. නොදන්න දේ කියවනව, හොයල බලනව, හරියටම අවබෝධයක් එනකල් තර්ක කරන්න, කොමෙන්ට් කොටන්න යන්නෙ නෑ බ්ලොග් වලදි වුණත්. හරියට මගෙ දේශපාලන ඥානෙ වගේ. දන්නෙ ටිකයි නිසා හොට නොදා ඉන්නව, හැබැයි කියවනව. මේක මං අදාළ කරන්න කැමතියි බුකි වීරයන්ට. නිකමටවත් කැම්පස් නොගිය ඈයො අසාධාරණ තර්ක ගෙනෙද්දි, බොහොම කැත වචන වලින් කැම්පස් ළමයින්ට දොස් කියද්දිනම් අපිටත් රිදෙනව. සමහරු තමන් කැම්පස් නොගිය ඇරියස් ඒකෙන් කවර් කරන්න හදනව. කැම්පස් ඉන්න, ගිය හැම ගෑණු ළමයම බඩු කියල කොමෙන්ට් කරල තියෙනව මං එක තැනක දැක්ක. මට හිතුණ ඒ අය අපිත් ගෙදර ඉන්න එයාලගෙ අම්මල, නංගිල වගේම තමයි කියල අමතක කරලද කියලත්. ඕනෙම සමාජෙක වැරදි කරන මිනිස්සු ඉන්නව. එහෙමයි කියල අපි ඒ සමාජෙ හැමෝම කුපාඩි, වනචරයො ගානට දාන්නෑනෙ. කැම්පස් සමාජෙත් විවිධාකාර මිනිස්සු ඉන්නව. එහෙම වෙනස් මිනිස්සු කීපදෙනෙක් හිටි පලියට කැම්පස් ගිය, යන හැමෝම බඩු, තිරිසන්නු වෙන්නෙත් නෑ.හැබැයි හැමෝම අමතක කරපු කාරණේ තමයි ඒ අමුතු ළමයි හැදෙන්නෙත්, එන්නෙත් අපි හැමෝම ඉන්න සමාජෙ ඇතුලෙන්මයි කියන එක.
හැමෝම
කැම්පස් ළමයිට ඇඟිලි දික් කළාට අපිටනම් කැම්පස් එක සුන්දර ලෝකයක්. හිත රිදෙන , කළකිරෙන අවස්ථා නැතුව නෙවේ.. ඕනෙම තැනක ඒ ලෝක ස්වභාවෙනෙ. තිරිසන්නු කියල හංවඩු ගහද්දි අපිව, මේ අපි සමාජෙ වෙනුවෙන් කරපු දේවල්.
සතේකවත් මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී රට වටේ අපේම වියදමින් ඇවිද ඇවිද අපි ඉස්කෝලෙ ළමයින්ට මේ වගේ වැඩසටහන් කළා,"වරෙන් යන්න අපිත් එක්ක" කියන නමින්. උසස් පෙළ ගොඩ දා ගන්න හැටි, ජීවිතේ එන අභියෝග වලට නොවැටී මූණ දෙන හැටි, අපි අපේ අත්දැකීම් වලින් පොඩි වුන්ට කියල දුන්නා. අපි සතයක්වත් හම්බ කලේ නෑ... හැබැයි අපි මාර සතුටක් වින්දා. මේ කතාව සම්පූර්ණයෙන්ම මං වෙන පෝස්ටුවකින් කියන්නම්කො. මේ ඡායාරූප වල සින්නො ජුන්නො එකට ඉන්නෙ, අපි මේවා කළේ එකතු වෙලා, ගැටි නෑ, ලොකුකම් නෑ. මේව තමයි අපේ කැම්පස් ජීවිතේ.
ඔක්කොමත්
හරි, මට හිතුනෙ රටේ පාලක පක්ෂෙටනම් පට්ට, කියලවත් කරගන්න බැරි වැඩක් වුණේ. රටේ අය වැය පරතරේ පියවන්න බෑ යකෝ කියල අහිංසක මිනිස්සු උඩටම වැට් සූත්තරේ දැම්ම. උහුලන්න බැරි විදියට ටෙලි කොමියුනේකේෂන් පැත්තෙන් බදු වැඩි වෙනව. බඩගින්නට බෝඩිං අපේ පිහිටට තිබුනු පිටි කෑම මිල දර්ශනේ වෙනස් වෙලා.ඒ අස්සෙ රටේ උත්තරීතර ආයතනෙ ඇතුලෙ ජනතාව පත් කරල යවපු නියෝජිතයො ගුටි කෙලගන්නව. එහෙන් රට ඇතුළෙ බයානක විදියට ජාතිවාදී රැල්ලක් ඔලුව උස්සනව. පාලකයො ඇස් පියාගෙන, ඒ පැත්තෙන් යසට තිබ්බ විල්පත්තුව එළි කරන් යනව. කවද මේ පාලකයින්ගෙ ඇස් ඇරිල, විල්පත්තු,will පත්තුවෙයිද කියල අපි බලන් ඉන්නව. මේ ඔක්කොම සංගදි වලට අපේ
මිනිස්සු අන්ධයි,
කැම්පස් කෙල්ලොන්ගෙ, කොල්ලන්ගෙ ජංගි තමයි මේ රටේ ජාතික ප්‍රශ්නෙ දැන්. කාලයක් Bra එකක් ඔලුවෙ තියන් නැටුව... ඒකෙන් මේකෙන් මට හිතෙන්නෙ අපේ රටේ මිනිස්සු, මාධ්‍යය, බුකි ඇඩ්මින්ල උනන්දු රටේ යට ඇඳුම් ප්‍රශ්නෙ ගැන විතරද කියල... මේව news තමයි... නෑ කියනව නෙවෙයි. ඒත් මේවට වඩා විසඳගන්න රටේ ප්‍රශ්න තියෙද්දි මට තියන අවුල, මේ දේවල් නිසා ඒවා ගැන මිනිස්සුන්ගෙ අවධානෙ ඇතිද කියන එකයි. කෝමහරි පාලක පන්තියට තාවකාලික පැලැස්තර අලවල දීල, ප්‍රභාකරන් කියනව වාගේ සිංහල මුනියට ඔක්කොම මතක සතියයි කියල ඒ සතිය ගෙවෙනකල් Priority දිය යුතු ඒව යට ගහල අවශේෂ කරුණු මතු කරල පට්ට රැල්ලක් හදන මාධ්‍යයට සහ බුකි ඇඩ්මින්වරුන්ට මගේ බලවත් මෙව්ව එක...

ප.ලි.: මෙහි ලියා ඇති සියලු දෑ මගේ පෞද්ගලික මතයට අනුකූල ය.