Thursday 13 October 2016

වර්ණ- දිනේෂ් උමගිලියගේ වයිරසයට හසු වුණෙමි. (හින්දි+ Top Ten)

පුංචි විවේකයක් ලැබුණම බ්ලොග් එකට ගොඩවෙලා කියවල දුවනව මිසක් අලුත් යමක් ලියාගන්න ඉස්පාසුවක් තිබ්බෙම නෑ. කටුසු තෙමේ බුකිය හරහා නෝක්කාඩුවකුත් එවල තිබුණ. ස්තූතියි ඒ තල්ලුවටත්.

අහම්බෙන්, වැඩ ටිකක් එහෙ මෙහෙ කරන් බ්ලොග් රෝලට එබුණම වර්ණ බ්ලොග් පිටුවෙ අපූරු වැඩක් ලියවිල තිබුණ. ගිය වතාවෙ ඉයන් තුමාගෙ ගීත වයිරස් එක මඟ ඇරුණු එකට හිතේ අමාරුවකුත් තිබුණු නිසා ඒ වාඩුවත් මේකෙන්ම පිරිමහන්න හිතාගත්ත. මේ වර්ණ දිනේෂ් අයියගෙ තේරීම් ටික.

මට පුංචි වෙනස්කමකුත් කරන්න ඕනෙ හැබැයි. දිනේෂ් අයියා සඳහන් කරල තිබුණෙ හින්දි ගීත විතරයි. මට මගෙ ප්‍රියතම හින්දි ගීත අතරට මං බොහොම ආදරෙන් අහන දමිළ ගීත තුනකුත් එකතු කරගන්න ඕනෙ. හේතුව මං සිනමා පිස්සියක්, වෙනසක් නැතුව ඉංග්‍රීසි, හින්දි, දෙමළ, තෙලිගු, මලයාලම් හැම සිනමා පටයක්ම බලනව. ඒවයින් අහුලගත්තු, මගෙ හිත හොරකම් කරපු ගීත ගොන්නක් මේ.....

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ මං ආදරේ කරන ගීත ගොන්නක්. සමහරවිට ඔබේ තේරීමට වඩා වෙනස් ඇති. සමහර ගීත වෙනස්, ගොඩක් දෙනා අහන රටාවෙන් වෙනස්. අලුත් ගීත, පරණ ගීත කලවමේ. ගීතයේ අරුත අපහැදිලි වුණාට සංගීතයෙන්, ගයන කටහඬින් හදවත කම්පනය කරන ගීත වෙන්නත් පුලුවනි. ඒ නිසා අහල බලන්න. ඒ වගෙම කියවන ඈයොත් ගීත එකතුවක් තියල යනවනම් කැමතියි.

1. මං පුංචි කාලෙ අම්මට හොරෙන් නොබල, අම්ම හා කියල බලපු පලමු හා එකම චිත්‍රපටිය මේ. රෝජා.... රූපවාහිනියෙන් බැලුවෙ මං පුංචිම කාලෙ. බලපු පලවෙනි දා කතාව නොතේරුනාට මේ ගීතය හිතේ නැවතුණා. අදටත් මං හරිම ආසවෙන් අහන ගීතයක්.

"රෝජා මගේ පෙම්වතියේ.. ඔබ මගේ ජීවිතය.මගේ දෑස් ඇත්තේම නුඹ දකින්නටයි.නුඹ පිළිබඳව ඇති ලාලසාව මගේ හිත හැරදා නොයයි. නුඹ නොමැතිව මා කෙසේ නම් ජීවත් වන්නද...නුඹ මාගේ දෑස් තුලය, නුඹ මාගේ කණ්ණ්දුළු තුළය...මා දෑස් පියාගත් විටකද නුඹ මාගේ හදවත තුළය.මගේ සිහින තුළය... මගේ සුසුම් තුළය...රෝජා."
අසමාන කටහඬ එක්ක මුහු වෙන ඒ.ආර් රහුමාන් ගෙ සංගීතය හිත සනසවනවා.


2. 1995 වසරෙදි ප්‍රචාරය වුණු Bombay චිත්‍රපටියේ ගීතයක් මේ.
මට හිමි එකම දේ නුඹ පමණයි.නුඹ නැතිව කෙසේ ජීවත් වෙන්නද? මේ තරම් හිතේ ගිනි අවුලවා කුමට, මා වෙත එන්න. ඕ.. මාගේ ජීවිතය, මගේ හුස්මටම යාවුණු ආදරිය. නුඹ ආදර සඳ, මා ඔබ එනතුරු මඟ බලන මහ පොළොව."
මේ ගීතය ඇසුරු කරගෙන මේ තනුවටම සිංහල හා දමිළ ගීතත් ගැයෙනවා. නමුත් මට මේ මුල් ගීයේ තරම් රසයක් දැනුනෙ නෑ ඒ ගීත ඇතුළෙ.


3. මේකත් හරි අපූරු ගීතයක්. මං මේ ගීතයට කොයිතරම් ආදරේද කියනවනම් මගෙ නැගණිය ලවා ඇගේ සංගීත ප්‍රසංගයකදි මං මේ ගීතය ගායනා කරන්න කියල බල කළා. සම්පූර්ණ සිනමා පටයම මට බොහොම සංවේදී වුණා.
Bhool bhulayaai චිත්‍රපටයෙන් මේ ගීතය. සිංහල උපසිරැසියක්නම් හොයාගන්න බැරි වුණා මට.


4. මේ ගීතයේ සැබෑ ගීතය Humpty Sharma Ki Dulhania චිත්‍රපටයෙන්. මේ ලින්කුව හරහා ඒ ගීතය බලන්නටත් පුලුවන්. https://www.youtube.com/watch?v=DEUubbuW0t8
ඒත් මං මෙතෙන්ට අමුණන්නෙ ඒ ගීතය ආලියා භාත් unplugged ගායනා කරන එක. මං වඩා කැමති මේ ගීතය ඇගේ හඬින් අහන්නයි.
"මට නුඹ නැතිව ජීවත් වීමට වුවමනා නැත.
මං නුඹට කුමක් පැහැදිලි කරන්නද. නුඹ නැතිව මගේ හදවත අතරමං ය. නුඹ මගේ ආදරය ගැන දන්නේ මොනවාද...මං නුඹ වෙනුවෙන් මඟ බලා සිටියෙමි. නුඹ මගේ හදවතයි, නුඹ මාගේ ජීවිතය යි."


5. 1942 වසරෙදි අනිල් කපූර් රඟපෑ A love story චිත්‍රපටයේ ගීතයක් මේ. ඒ කාලෙ බොහොමයක් දෙනාගෙ හීන කුමාරයා වුණු කුමාර් සානු තමයි මේ අසමාන හඬේ අයිතිකරු.
"මං මේ කෙල්ල දකින වෙලාවට මට ඈව පේන්නෙ හරියට පිපීගෙන එන රෝස මලක් වගේ. කවියෙකුගෙ සිහිනයක් වගේ. ආලෝකයේ දිදුලන කිරණක් වගේ. කැලෑවක මුව පොව්වෙක් වගේ. රෑක සඳ එළිය වගේ. සුමුදු වදනක් වගේ. විහාරයක දැල්වෙන ඉටිපන්දමක් වගේ. ..."


6. මේ මගෙ දමිළ ගීත කිහිපයෙන් එකක්. මං දන්නව බොහොමයක් දෙනා දමිළ චිත්‍රපට බලන්න අකමැති. නමුත් මේ ගීත අහන්න කියල මං හරිම ආදරෙන් ඉල්ලන්න කැමතියි. මේ වෙනස් රසයක්, 100% ගැරන්ටී බ්‍රෝ. Irudhi suttru මේ චිත්‍රපටියත් අපූරුයි. කාලෙකින් ආර්. මාධවන්ගෙ අපූරු රංගනයක්.
"ඒයි රණ්ඩුකාරයො.., මහත ඇස් දෙකකින් ආත්ම දෙකක් අමුණන්න හොයනවද. මේ සණ්ඩු සරුවල් නවත්තල මාත් එක්ක හාදු ගලපන්න එනවද. තනිකම මගෙ පස්සෙ වැටිල, මං ඔයාව හොයනව. මුලින් ඔයාගෙ හදවත විවර කරන්න, මාව රැකගන්න... පස්සෙ ආදරේට ඉඩ දෙන්න."


7. මේකත් ටිකක් අමුතු දමිළ ගීතයක්. මගෙ යාලු මිත්‍රයොනම් කියන්නෙ මං හොයාගන්නෙම අමුතු ගීත කියල. අහල බලන්නකො. ගීතය නොතේරුනත් සංගීතය සහ අමුතු හැඩතල මට ගීතය සුන්දරව දැනෙන්න හේතුවක් වෙන්නැති.
"ඕ..කෙල්ලෙ,
මං වශී වෙලා, මං වශී වෙලා. ඇතුලතින්, හරියට රවුමක් වගේ ආයෙ ආයෙමත් මං වශී වෙනව. මාව යටපත් වෙලා, මගේ හීන වල මං අතරමං වෙලා, ඒවයින් මාව යටපත් වෙලා."


8. මේකත් දමිළ ගීතයක්. Deiva Thirumagal- දේව දරුවා කියන වික්‍රම් රඟපාන බොහොම සුන්දර, සංවේදී දමිළ චිත්‍රපටයෙන්. තාත්තල බලන්නම ඕනි ඔන්න මේ චිත්‍රපටිය.


9. මේ ගීතය PK චිත්‍රපටයෙන්. මෑතකදි සෑහෙන ජනප්‍රියත්වයක් ලබපු චිත්‍රපටියක්නෙ. ඒ ගීත අතරින් මේ ගීතය මං බොහොම ආසවෙන් අහපු එකක්.
"මගෙ නම්, ඉන්නෙ කොහෙද.. මේ මුකුත්ම අහන්නැතිව, මගෙ පැත්තකින් පියවර කීපයක්... පියවර කීපයක් විතරක්, මාත් එක්ක ඇවිදන් යන්න එන්න.
මුකුත්ම නොකියා, කිසිම දේකට ඇහුම්කන් නොදී, මගෙ අතේ එල්ලිලා, පියවර කීපයක්.... පියවර කීපයක් විතරක්, මාත් එක්ක ඇවිදන් යන්න එන්න."


10. මේ ගීතයත් PK චිත්‍රපටියෙන්මයි. ආගම් සිය ගාණක් අදහන අතරෙ ඒ එක එකක් වෙනුවෙන් මිනී මරාගන්න අපිට ඒ දේවල් වල නිස්සාරකම අපූරුවට පෙන්නන්න මේ ගීතයට පුලුවන් වෙලා කියල මට හිතුන. මේ හඬ සහ සංගීතය මගේ හිත බැඳල තියාගන්න හේතුවක් වෙන්නැති.


12 comments:

  1. මෙන්න බට කැලේ ගිණි තියනෝ !!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ගිය වතාවෙ ඉයන් ගිනි තියන්න ගත්තු වෙලේ මට මිස් වුණානෙ. මේ වතාවෙ මදිපාඩුව පියව ගත්තා. මන්ද ඔන්න, දිනේෂ් අයිය තමයි වග කියන්න ඕනෙ

      Delete
  2. මෙදා සැරේනම් මාත් ගිණිතියන්න හවුල්වෙනෝ....

    ජයවේවා!!!

    ReplyDelete
  3. එහෙනම් මේ වතාවෙත් සිංදු ටිකක් එකතු කරගන්න පුලුවනි ප්ලේ ලිස්ට් එකට.

    ReplyDelete
  4. මෙන්න වෛරසේ උඩු දුවනෝ.

    මම මේ අළුත් ජාතියේ සිංදු වැඩියම අහනවා අඩුයි. මොකද පරණ ඒවා වගේ නෙමෙයි ඒවයේ වචන ගොඩක් වෙලාවට තේරුම් ගන්න හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මටනම් දිනේෂ් අයියෙ වචන තේරුම නොතේරුනත් සංගීතය, හඬ අපූරුයිනම් මං සින්දුවට වහ වැටෙනව. ඒකයි දෙමළ ගීතත් සමහර ඒව ආසවෙන් අහන්නෙ

      Delete
  5. ලේ මේ samjhawan සිංදුවේ මේ කටහඬින් අහල තියනවද බලන්න. මට ගොඩක්ම හිතට වැදුනේ ඒ කටහඬ. Deiva Thirumagal මම ආසම දෙමළ ෆිල්ම් එකක් ඔය සිංදුවටත් මම ගොඩක් ආසයි. ගොඩක් හිතට දැනෙන සිංදුවක්

    link 1

    මෙන්න ලේ ට මං ගානෙ සිංදුවක්

    link 2

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි. ගීත දෙකම ඔන්න මගෙ ප්ලේ ලිස්ට් එකේ. වික්‍රම්ගෙ චිත්‍රපට ගොඩක ගීත අපූරුයි. හුඟ දෙනෙක් නොබැලුවට, දෙමළ චිත්‍රපටි සමහරක අපූරු ගීත තියනව.

      Delete
  6. මේ ගීත දහයටම කැමතියි . වැඩියෙන්ම හතර වෙනි ගීතයට. ස්තුතියි මේ සුන්දර ගීත අපිත් එක්ක බෙදා හදා ගත්තට .

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පැත්තෙ නාපු ටික දවසට අලුත් යාලුවො ගොඩක් දැක්ක. ස්තූතියි මේ පැත්තෙ ආවට. 4වෙනි ගීතයට මේ හංසිගෙ කොමෙන්ටුවෙ තියන ලින්ක් එකත් අහල බලන්න, හරිම අපූරුයි ඒ හඬත්.

      Delete
  7. සින්දු කොතනද මන් එතන වගේ හින්දා අහම්බෙන් මෙහෙට කඩාපාත් උනේ අදමයි.ඉයන් පටන් ගත්ත මේ සින්දු රැලි කෙරුවාව නිසා බොහොම ලස්සන බ්ලොග් ටිකක් දැන හදුනා ගන්න ලැබුනා.අන්න ඒක තමා ගොඩක්ම වටින්නේ.ඔයාගෙ මේ ලිස්ට් එකේ මගේ ලිස්ට් එකෙත් උඩින්ම තියෙන ගීතයක් තියෙනවා,බොම්බෙ ෆිල්ම් එකේ තුහිරේ....
    ඉතින් ඉඩ තියෙන වෙලාවක එහෙටත් ඇවිත් යන්න කියලා ආරාධනා කරනව.

    http://kavisandalla.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නව මේ පැත්තට, දිගටම එන්න කියලත් ආරාධනා කරන ගමන්. සින්දු උන්මාදෙ හැමෝටම තියෙනව බලන් ගියාම. එන්නම් සඳවතී, ෆලෝවක් දාගන්නම්කො.

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...