Sunday 3 July 2016

එකොළොස් අවුරුද්දකට කලින්.....



හදවතේ අපමණ සියපත් පිපී තියේ.... ඉඳහිටක මදපවනක පැටලී පෙති එකිනෙක සසල දියට වැටී පාවේ, මතක ඔරු වාගේය.

ඒ මතක ඔරුවක නැගී දහනව හැවිරිදි කෝටු ඉලන්දාරියෙක් මා සොයා එන්නේ ය. එක අතක සුරුට්ටුවක් ගානට රෝල් කළ පොතක් වී...රෝස පාටට හුරු රිබන්  පටියක් පොත කෙලවරින් එල්ලේ. බස් නැවතුමේ යකඩ වැටට බෝම සැප පාසුවට හේත්තුවීගෙන ඉන්නා ඉලන්දාරියාගේ පයක් යකඩ රාමුව මත්තේ..., ඇස් පඩිපෙලින් බැස එන සේනාව ළඟය . ඉලන්දාරියා හරි නොසන්සුන් ය... විටෙක ඒ මේ අත බලන්නේ ය. රූප රාමුවේ නැතත්, යනඑන කොලු ගැටයෙක් නවත්තා 'මචං වෙලාව කීයදැ'යි ඇසුවේ වන්නටත් පුලුවන. ඔහුට හරි හදිස්සි වූවාට ඔරලෝසුවට හදිස්සියක් නැති ගානයි....

තවත් මතක ඔරු මල් පෙත්තක් සසල දිය මත පාවේ.

එහි ඉන්නේ කෙල්ලෙකි. සුදු ගවුමකට ටයි පටියක් ඇන්ද, නහය හරි කෙලින් දෙපැත්තට බෙදා කරල් දෙකට ගෙතූ කොණ්ඩ කරල් දෙකක් වන වනා, කෙල්ලන් රොත්තකට මැදිව එන හරි දඟ කෙල්ලකි. එන්නේ නොවේ  , එවෙන්නේය. පඩිපෙල බහින්නේ නොව, ඉබේ බැස්සෙන්නේ ය. කිසි හදිස්සියක් නොවේ, කිසි ගනිච්චියක් නොවේ... කෙල්ලන්නේ ඉවරයක් නැති අල්ලාප සල්ලාප ඔයාකාරම ය. හදිස්සියෙන්ම කෙල්ල, ඉලන්දාරියා දකින්නී එල්ලෙන්නට ළඟ ඉන්නා මිතුරියගේ අත සොයන්නී. හංඟන්ට හැදුවාට කෝම, කෙලි රෑන මැද්දෑවේම කෙහල්කැන වැට පැන්න හැටි...!  මිතුරී-කොට කෙල්ලගේ කණට ළංව 'මං කිව්වෙ අර අයියා තමා'යි කියන්නට කෙල්ලට සිද්දවුණු හැටි...

ඉලන්දාරියා උන් මතක ඔරුව දිය සුලියක ය.  ඔරුව වාගේම කොල්ලාද කලබලෙනි. පඩිපෙලින් බහින කෙලිත්තී මං දැක්කකොට ඔහුට නොපෙනී කෝම...?

ගෙවූ වරු ගණනම කෙනෙක් ඉලන්දාරියාගේ නොඉවසිල්ල බලා උන්නානම්, දැන් මේ පිපිච්ච මූණු පොඩ්ඩ, හිනාවෙන ඇස් දකිද්දී ඒ ඉලන්දාරි හිත පතුලම නිසල දියක් සේම දකින්නේ ය.

ඉලන්දාරි හිතේ ගැස්ම, කෙලි හිතේ තිගැස්ම මැද උන් වටා ලෝකය නිශ්චල වූවාදැයි ඔවුනගෙන්ම ඇසුව මනාය. 'ඒ නංගී ලස්සනැ'යි කියා ඉලන්දාරියාගේම පණිවුඩ ගෙනා දූතයෙකුට වතාවක් ඈ  කණට ගහන්නෙමැයි කියා කැට තියුවේලු. ඉලන්දාරියාම 'ඉල්ලන් අනුන් දැරි' වචනාර්ථයෙන්ම වතාවත් මේ  දැරිවිගේම හිත ඉල්ලා තිබුණේ ය. "බෑ....හ්,එපා" යි කෙල්ල කියා තිබුණේලු. 'අමතක කරලමු පැරණි කතා' යි මුමුණ මුමුණා ඉලන්දාරියා අද ආවේම දෙකින් එකක් බේරාගන්නට වන්නට ඇත.

දැන් ඉතිං මතක ඔරු කුමට ..., මටත් ගොතන්නට පුලුවනි කතාවේ ඉතිරිය. කාටවත් නෑහෙන්නට ඉලන්දාරියා ආදරේ කියාගන්නට ඇති. වතාවක් දෙවතාවක් කියූ තැන දඟ කෙල්ල බිම බලාගෙනම හිස වනන්නට ඇති.
අර රෝස පාට රිබන් පටිය..., ඒ පොත් සලකුණක්.

විස්වාසෙටම අද, රෝස පාට මැකුණු ඒ රිබන් පටියත් එක්කම පොත් සලකුණ කෙල්ලගෙ සැමරුම් ගොන්නෙ  ඇති. සතියකට දෙකකට වතාවක් ඉලන්දාරියා, ඒ බස් නැවතුමේම, ඒ යකඩ වැටට හේත්තු වෙලාම කොණ්ඩ කරල් දෙක වන වන, කොණ්ඩ කරලෙන් ලිස්සපු කලු රිබන් පටියක් හොයන්නා වාගෙ බිම බලන්, කෙල්ලො නඩේට  මැදිවෙලා අර දඟ කෙල්ල එනකල් මඟ බලන්නැති. සුදු ගවුම හින්දා කතා නොකර මඟතොට, ඇස් වලින් රහස් කියන්නැති.

ඉතිං ආදරේ කරන්නැති.....


41 comments:

  1. මගේ පෝස්ට් එකකට කමෙන්ට් කරද්දී දෙන්න පුළුවන් ලොකුම උපදෙස දුන්නා මම හිතන්නේ....ඒත් එදා නොදුන්න තව එකක් කියන්නම්.කවදාවත් ඔය දෙන ආදරේ පොඩ්ඩක්වත් අඩුවෙන්න දෙන්න එපා.මොකද පිරිමියෙක්ට ඒ ආදරේ අඩුවුනගමන් ගොඩාරියක් තේරෙනවා.

    මෙච්චර ගොඩක් කියවන්නේ එදා බැනපු නිසාමයි. නැත්තන් එහෙම මේ පැත්ත බලන්නෙවත් නෑ..එදා ඉදන් තිබුන ආදරේ පරිස්සම්කරගනින්....දෙන්නම.....මොකද ඔය ආදරේ හරි දුර්ලබයි......

    ජයවේවා නංගියේ....

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් මාව මතක් වුණා.. මතකයි මතකයි... ස්තූතියි ඒකට. //කවදාවත් ඔය දෙන ආදරේ පොඩ්ඩක්වත් අඩුවෙන්න දෙන්න එපා.මොකද පිරිමියෙක්ට ඒ ආදරේ අඩුවුනගමන් ගොඩාරියක් තේරෙනවා.// අනේ ඉතිං කෙල්ලොන්ටත් මේම තමයි අයියෙ.
      බැනපු හින්දනම් කියවන්නෙ වැඩක් නෑ... අපිව මතක් වෙලාමයි එන්න ඕනෙ. හික් හික්. කෝම වුණත් බොහොම ස්තූතියි අයියෙ, අප්‍රමාණ වැඩ අස්සෙත් අපිව මතක් වුණානෙ.

      Delete
  2. සුභ සංවස්තරයක් පතමි. මේක හමුවීමේ සංවස්තරයද? විවාහ සංවස්තරයද? දෙකමද?

    ReplyDelete
    Replies
    1. //සංවස්තරයක්//
      හික් හික්. විහිළුවටනෙ නේහ්..?අනේ මං තාම විවාහක නෑ ඉයන්. මේ කියල තියෙන්නෙ අපි ආදරේ කරන්න අරන් ඊයෙට අවුරුදු එකොලහක් වුණා කියල.
      යටින් ඔන්න රසිකට හිනාවකුත් ගිහින් තිබුණ. ලබන අවුරුද්දෙවත් ගැටේ ගහගන්න තමයි බලන්නෙ මං...

      Delete
    2. ආහ් සමාව භාජනයකට දමන්න. පන්සලේ පිරිත් නූල් එහෙම වැඩිපුර අරන් ඇවිල්ල දෙනකොට මම හිතුව ඒකකින් හරි මෙලහකට ගැට ගහගෙන කියල.

      Delete
  3. සුබ පැතුම් ඔබේ සුන්දරම ප්‍රේමයට...ඒ වගේම මේ සටහනයි, පද පෙළයි හරිම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. සුබ පැතුමටයි, කොමෙන්ටුවටයි දෙකටම

      Delete
  4. ආදරේ, බැදීම වැඩි වෙනවලු දුරින් ඉන්න තරමටම. සංසාරේ පතා ආ ඔහුව අතාරින්න එපා කවදාවත්. අඩුවක් කරන්න එපා ආදරේ කිසිවිටෙකත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඒ කියන්නෙ ළඟින් ඉද්දි බැඳීම ඊට අඩුද දුමී අයියේ... අයියෝ බඳින්න බැරියෝ......විහිළු හොඳේ. බොහොම ස්තූතී දුමී. දැන්නං කොල්ලට උවමනා වුණත් දුම්මල ගහලවත් එළවන්න බැරිවෙයි. හිකිස්

      Delete
  5. මට හිතුනා පොස්ට් එකක් වත් ලියන්නේ නැතුව ඉන්නකොට හැක හැක. අක්කණ්ඩි සුබ පැතුම්. අර කිව්ව කොල්ලටත් මේක යැව්වා නම් තමයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. යවන්න දෙයක් නැහැ. එයාව දැන් ගෙදරටම ගෙනත් තියාගෙන ඉන්නවා... හැක්

      Delete
    2. ඒ කියපු කොල්ලට යැව්ව සලිත මල්ලි. ස්තූතියි. අනේ මොන සැමරුම් ද කොල්ලො. ඔලුවට කලබලේ... ටිකක්..., ටිකක් නෙවේ හොඳටම වැඩ තිබුණ.

      Delete
    3. තාම ගෙදරට ගෙනත් තියාගන්න බැරි වුණා ඉයන්...

      Delete
    4. ඉයන් පටලගෙන නේද... රසික මේ හිනා වෙන්නෙ ඒකයි ඉයන්.

      Delete
    5. ආහ් සමාව භාජනයකට දමන්න. පන්සලේ පිරිත් නූල් එහෙම වැඩිපුර අරන් ඇවිල්ල දෙනකොට මම හිතුව ඒකකින් හරි මෙලහකට ගැට ගහගෙන කියල.

      Delete
    6. ලොකු බාජනේකටම දාල දුන්න ඔන්න සමාව.

      Delete
  6. ප්‍රේම පුරාණයට සුභපැතුම්... මටත් අහන්න තියෙන්නෙ ඉයන් අහපු දේමයි..
    කාලෙකින් ආවේ නැත්තේ මේ සැමරුමට සූදානම් උන නිසා ද මන්දා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි. අනේ නෑ...කාලෙකින් එන්න බැරි වුණෙ මට ඔලුව ළඟටම උසට වැඩ. ට්‍රේනින් ඉවර වුණා, Reports, presentation හැදිලි තිබුණ. මට final exam මේ ටිකේ . නිදහසක් නෑ ඔළුවට.

      Delete
  7. සුබ පැතුම් ඈ! හරිම ආදරණීය පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ සුබපැතුමට. අහද්දිත් සතුටුයි කුරුටු ගාපු දෙයක් ලස්සනයි කියවෙද්දි

      Delete
  8. සුභ පැතුම් ලේ කපල් එකට.....මම හිතන්නෙ ඔය කියල තියෙන්නෙ Q එක ගැන...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික මල්ලි. ඔව් ඔව්... මෙයා අත්දැකීමෙන් වගේ කියන්නෙ. එතන කවුරුහරි එනකල් බලන් ඉඳල තියෙනව වගේ. එතන තමා. මාර්ග සංවර්ධන එක ළඟින් කිව් එකට බහින තැන ගැන මේ කියන්නෙ.

      Delete
    2. ඔව් ඉඳ තියනව...අපේ ගෝත සෙට් එක එනකන් ඉඳල තියනව...:D

      Delete
    3. අනේ හවස හයට විතර ඉඳපං ඔතන.. කාක්කො දත් මැදලා බිමට කෙල ගහනවා ඔන්න

      Delete
    4. අයියා ටූත්පේස්ට් පාර කාල තියෙනව වගේ.... කුරුණෑගල පැත්තෙද...? ඒකනෙ මෙච්චර හොඳට දන්නෙ. දැන්නම් එතන ලයින් එකේ කාක්කො නැද්ද මන්දා.

      Delete
  9. සුබ පැතුම්...! පරණ වෙන්න,පරණ වෙන්න ආදරේ රස වැඩිලු...:)

    ReplyDelete
    Replies
    1. ආදරේ එතකොට වයින් බ්‍රෑන්ඩ් එකක් වගේ නේද මනෝජ් අයියා... ස්තූතියි

      Delete
  10. සුබපැතුම් සහෝදරී..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරී...

      Delete
  11. ශහ්ඃ.. යස අපූරුවට වචන අස්සට ආදරේ පොවලා.. කොල්ලා වාසනාවන්තයා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්කෝතුයි ගස් අයියෙ... ආදරේ වෙච්චිකොට වචන වලටත් බෝවෙලා මයෙ හිතේ. කොල්ලා දන්නෑ අප්ප ඒක. හිකිස්

      Delete
  12. සුභ පැතුම් මචෝ උබල දෙන්නටම. සුභ අනාගතයකට ආශීර්වාද කොරනව. ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටිලාන්... කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණෙ, අදයි හොයාගත්තෙ. සමාවෙන්න ප්‍රතිචාරෙ මේ තරම් පමා වුණාට

      Delete
  13. දැන් කසාදයක් බැදගෙන ආදරය කලොත් නරකද... මගේ සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අම්මප අනන්ත හිතෙනව සිරා අයියෙ. ඊට කලින් කරන් යුතුකම් ටිකක් තියෙනව සහ මගෙ මංගල්ලෙට මමම ප්‍රතිපාදන හොයාගන්ට ඕනෙ, අම්මලාට අමාරුයි. ඒ නිසා ජොබ් කටුවක් හොයාගන්නකල් ඉන්න වෙනව. කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණෙ, අදයි හොයාගත්තෙ. සමාවෙන්න ප්‍රතිචාරෙ මේ තරම් පමා වුණාට

      Delete
  14. අපූරුයි...
    ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවෙක්... ස්තූතියි සම්පත්. කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුණෙ, අදයි හොයාගත්තෙ. සමාවෙන්න ප්‍රතිචාරෙ මේ තරම් පමා වුණාට

      Delete
  15. Happy anniversary machanlaaa.. 🎉

    ReplyDelete
  16. සුබපැතුම් දෙන්නටම.. එක එක වයස් සීමා වලදි ආදරේ එක එක පාට ගන්නවනේ... ගන්න ගන්න පාටේ දීප්තිය අඩු නොකර දිගටම තියාගන්න ලැබේවා කියලත් කියන්නම් ඕන.. අනිත් එක පොඩි පොඩි වැහි වැහලා පායන ඉර එක්ක නැගෙන දේදුන්න වගේ ආදරෙත් කාලෙන් කාලට අලුත්ම පැහැයකින් දිලේවි.. ඒ පැහැය හරියට අඳුරගෙන දිගටම යන්න දෙන්නම...

    ReplyDelete
    Replies
    1. කවියක් කතන්දරයක් වගේ හරිම සුන්දර මේ සුබ පැතුමට බොහොම ස්තූතියි නිම්නි....

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...