කොළඹ අහස කලුම කලු පාටිං මූණ රොබ්බගෙන උන්නෙ. හරියට එයැයිගෙ වද වේදනා සේරෝටමත් මං වග කියන්න ඕනෙ ගාණට. හත්වලාමෙ පහුගිය ටිකේම මාරාවේස වෙච්ච ගාණට මහපොළොවෙ පතුලෙ තිබ්බ අන්තිම වතුර බිංදුවත් කෑදරකමට හූර හූර බීවෙ... ,හරියට කාටවත් අයිති නොවිච්ච,ඒත් හැමෝටම අයිති වෙච්ච ගෑණියෙකුගෙ ඇඟට ගොඩවෙච්ච නාකියෙක් ගාණට. දැං ඉතිං වැහි බර උහුලගන්ට බැරිකොට අපිට පුප්පන්නෙ. කොයිවෙලේ බිම හලාගන්නද කියල බලං ඉන්නෙ. අපි තමයි පලි... ඊයෙත් ප්‍රැක්ටිස් තියාගන්න බැරිවුණා. කෙල්ලො ටික හේබාල ගිහිං, අනෝරාව අල්ලපු වැහි දෙක තුනට කෙල්ලො කීප දෙනෙක් ලෙඩ වෙලත් තිබුණ.
ඕං ඉතිං පටං ගත්ත... මං බස් එහෙකට ගොඩ වෙනකල්වත් ඉවසගන්න බැරුව අහස අඬා වැටෙන්න තියාගත්ත. එහෙටත් වහිනව ඇති. මේ ටිකේ අපාය වගේ ඇති ගෙදර. ඇයි අප්ප හැමතැනම තෙමෙනවනෙ. චුට්ටි ගෙදරම හැලි වලං තෙමෙන තැං වලට කර කර ගේ වටේ දුවනව ඇති.. ගෙන්දගං ගඳ හෝදගෙන, දූවිලි, කාබන් කුඩු හෝදගෙන වහින කොළඹ කඩප්පුලි වැස්සට තෙමෙන්න බැරිකමට මං යාන්තං කඩ අගුවකට පැන්න. කුඩේ තෙමාගෙන බෑග් එකේ දාන් යන්නෙ කෝමද. කඩේ උන්නු කොල්ලො දෙතුංදෙනා කොමල කරනව මං ඇස් කොනින් බලාගෙන. පංචිකාවත්ත පාරට හැරෙන හන්දිය මැද්දෙ මේ ඉන්න යකඩ අස්සයනං වගේ වගක් නැතුව මේ කෙමිකල් වැස්සට තෙමෙනව. උන්නැහේට වැස්ස ගානක් නෑ වගේ නේන්නං මට මේ කොල්ලංගෙ ආල ලීල. අපිට පුලුවනෑ ඔව්වට ප්‍රතිඋත්තර දෙන්න. මේ සුමේ කරනකල්ම බඳින්න බෑ කියල පොරොන්දු කරවගෙනනෙ අපි මේකට ගත්තෙ ඉතිං. මං ඉන්ටර්වීව් එකේ බෝයි කෙනෙක් ඉන්නවද ඇහුවම නෑ කිව්වෙක හොඳට ගියා. සමන්ත අයියනං මූණ නරක් කරං හිටියෙ ඒ ටිකේම, දැන්නං එයාට තේරිල.
තුං මාසෙකිං තමයි මේ ගෙදර යන්නෙ. පිංසෙන්ඩු වෙලාවත් ගෙදර යන්නනං බෑ අක්කත් එක්ක. වෙසක් හින්දයි, වැස්ස හින්දයි වැඩ ටිකක් අඩු වුණා. නිකං තියං මුන්ට කන්න දෙන්න ඕනෙයැයි හිතෙන්නැති එයාට. එයත් ඉතිං හිනාවෙලා හිටියට මාර දූතිකාව වගේ තමා. චුට්ටි ඉඳහිට සමන්ත අයියගෙ ෆෝන් එකෙන් කතා කරපු හැම වෙලේම කියන්නෙම අම්ම දිරාගෙන යන හැටි. යක්කලින් බැස්සම අම්මට විටමිං එකක්වත් අරං යන්න ඕනැ. අප්පච්චි නංගි ගෙට වෙන්නත් කලිං මියැදුනාම, නොකා නොබී අපිටම කරපු අම්ම ඔයාකාර දිරනව බලං ඉන්න පුලුවනෑ.... සස්ටජං එකක් ගන්නත් හිතේ...
බස් එකක් නේන හැටි අප්ප. කොහොමහරි මාව මේ වැස්සට තෙමනකල්නෙ මේ ඔක්කොම. දැං ඉතිං ගෙදර ගිය වෙලේ ඉඳං තියෙන්නෙ කෑම. අම්ම බැරි බැරිගාතෙ වත්තෙ, ඇල ඉවුරෙ ඇවිදල කොස් ද, නෙලුං අල ද, බිලිංචා මාලුද දහසක් ජාති හොයාගෙන එනව. කෙල්ලගෙ කොණ්ඩෙ යනවද මන්ද කිය කිය පලා කොළ හොයන් එනව. මේකි සුදුමැලි වෙලා ගිහින්නෙ කියල හංඟගත්තු කාසි ටික අතගගා හොයාගෙන වැව් මාලුවෙකුත් අරං එනව. නංගි ඉතිං නෝක්කාඩු කියන්න ගන්නව එතකොට, මෙච්චර දවස් ලෙව කෑවා, අම්මට අක්ක එනකල් ඉන්න ඕනෙ මේව ගේන්න කියල. පව්.... පොඩි කෙල්ල. යද්දි චොක්ලට් එකක් ගෙනියන්න ඕනෙ. මටනං ඕව කැවෙනවනෙ දැං තුසරි හින්දා. තුසරි හොඳ කෙල්ල, කොල්ල හොරාට ගෙනත් දෙන කිසිම කෑමක් තනියෙං කන්නෑනෙ. හූනු බිත්තරේ වගේ ටිකක් හරි ඔක්කොමල්ලට බෙදලනෙ කන්නෙ.
මාත් ඉතිං ගෙදර දුවන්නෙ අම්මගෙ අතිං රහට බත් කටක් කන්නනෙ. ඒ කෙසේ වෙතත් තුං වේලම බත් කටක් කන්න. මෙහෙ අපේ කෑමටත් නීති. මාර දූතිකාවි බත් දෙන්නෙ දවල්ට විතරනෙ. උදේට මොනහරි ඇට... මට පෙන්නන්න බැරි මුං ඇට. රෑට එලවලු තැම්බිලි. ඇඟේ ශේප් එක තියාගන්න එකනෙ මෙයාට ලොකුම දේ. ඇත්ත හැබැයි, නැත්තං විනාඩි දහය යද්දි හති. කෝමහරි කමක් නෑ මං මෙහෙ නොකා හරි හම්බ කරොත් අම්මයි නංගියි තුංවේල කනවනෙ දැං. ඉස්සර අපි කෑවෙ දෙවේල, අම්මනං ඒ කන්නත් නැතුවැති. මං කෝමහරි දැං අම්මට තුං වේල කන්න දෙනවනෙ.
බලං ඉඳල ඉඳල කොළඹ-කුරුණෑගල බස් එකකට නැගගත්තෙ. ආයි අම්මේ කියවෙන්නෙ බස් එකට නගිද්දිනෙ. දවසට පැය 6 ගානෙ, සතියට දවස් 6ක් ප්‍රැක්ටිස් කෙරුවම හන්දිපත් රුදා නොහැදි තියෙයිද මං අහන්නෙ. ෂෝ එකක් ළඟනං රෑ තිස්සෙත් ප්‍රැක්ටිස්. කෙල්ලො විහිලුවට කියන්නෙ අක්කට එතකොට, ගෝවින්දගෙ සන්දි සුධා ගෙනත් තියාගන්න කියල. උංගෙ හිකි හිකියට තමයි යංතං හරි මහංසිය නිමෙන්නෙ.
ඇඟ හිරි වැටිල ගියා. මං නටන වීඩියෝ එකක් යන්නෙ බස් එකේ. කොළඹිං පිට තිබ්බු ෂෝ එකකට ගියානෙ අපි සති දෙකකට උඩදි. ඒකෙ වීඩියෝ එක මේ. හතර අතිං වදින පාට පාට ලයිට් එලි මැද්දෙ දිලිසෙන මොණර පිලක පාටිං ඇඳුමක් ඇඳං මං ඉණ කරකනව. ෂෝ පනස් හතක නටල තිබුනට මං ඒ නැටුමක් මේ විදියට දැක්කෙ අදමයි. ස්ටේජ් එකට නැග්ගම සැර ලයිට් එළි හින්දා ඇස් ගිණිකන වැටෙනව. එතකොට පල්ලැහැ බලං ඉන්න කවුරුත් පේන්නෙ නෑ. ඒක අපිට පහසුවක්, හිතේ දෙගෙඩියාවක් නැතුව නටලා දාල එන්න. ඒත් මෙවෙලෙ මට හරි තිගැස්මක් දැනුණෙ. අක්ක හැම නැටුමෙම, තමං මේ කණ්ඩායමේ අයිතිකාරි කියල පේන්න උජාරුවට ඉස්සරහිං නටන එකට කෙල්ලොන්ට කොස්සක් නොතිබුණාම නෙමෙයි. අපිව පේන්නෑනෙ කියල. ඒත් මේ වීඩියෝ එක දැක්කමනං අක්ක විතරක් පෙන්නුවනං හොඳයි හිතුන.කැමරා අයියල දත් තිස් දෙකම පෙන්නල හරි සහෝදරකමට හිනා වුණාට මොකෝ වීඩියෝ කරලම තියෙන්නෙ ඉනයි, නැටවෙන පස්සයි, ලයිට් එලියට දිලිසෙන කකුලුයි විතරනෙ... ඒ ඇඳුමට අඟපසග ඉලිප්පිල පේනව වැඩියි තමා. මේ ඇඳුම ඩිසයිං කරද්දි අක්ක තුසරියි මමයි කුටු කුටු ගෑව අප්ප කොට වැඩියි, කකුල් පේනව කියල. ඒත් ඉතිං අපිට පුලුවනෑ අක්කට උඩිං යන්න. ඕනෑවට වඩා දඟලපියව් ගෙදර යන්න බලාගෙන කියල අක්ක වතාවක් සෙව්මිනීට කෑගැහුව මේ විදියෙම ඇඳුමක් ගැන එකට එක කියවං. ඕං මමත් සල්ලිකාර කෙල්ලක් වුණානං දමල ගහල යන්න තිබ්බ. ඒත්.....
අම්මට මං කියන්නෙ මං ඩාංසිං ඇකඩමියක ඉන්නෙ කියල. නෑ නෙමෙයි, මං ඉන්ටවිව්ත් කියල ගියා ලොකු නමක් තියෙන ඇකඩමියකට. එක වගේ මොඩල් ඕනෙ මූණු සෙට් එකට මගෙ මූණ ගැලපෙන්නැතුවද මංදා මං තේරුන්නෑ... ඉතිං මං මේකට ආව. දැං මං නැට්ටුක්කාරියක්. අම්මට ඕනෙ වුනේ මාව සේපාලිකා මිස් වගේ නැටුං ටීචර් කෙනෙක් කරන්න. පාට පාට මල් මල් සාරි ඇඳං කජු වත්ත මැද්දෙං මං ඉස්කෝලෙ යනව බලන්න එයැයි ආසවෙං ඉන්නැති. මට ලස්සනට නටාගන්න පුලුවං වුණාට මොකෝ, ඉලක්කං එක්ක හරඹ බෑ. ඉතිං මං ගණං ෆේල්. හිතේ හිටපු පාට පාට සාරි ඇඳං උකුල නටව නටව කජු වත්ත මැද්දෙං ඉස්කෝලෙ යන ටීචර්ව මරල දාන්න අම්මටයි මටයි දෙන්නටම සිද්ද වුණා.
අම්මට මං කියන්නෙ මං ඩාංසිං ඇකඩමියක ඉන්නෙ කියල. නෑ නෙමෙයි, මං ඉන්ටවිව්ත් කියල ගියා ලොකු නමක් තියෙන ඇකඩමියකට. එක වගේ මොඩල් ඕනෙ මූණු සෙට් එකට මගෙ මූණ ගැලපෙන්නැතුවද මංදා මං තේරුන්නෑ... ඉතිං මං මේකට ආව. දැං මං නැට්ටුක්කාරියක්. අම්මට ඕනෙ වුනේ මාව සේපාලිකා මිස් වගේ නැටුං ටීචර් කෙනෙක් කරන්න. පාට පාට මල් මල් සාරි ඇඳං කජු වත්ත මැද්දෙං මං ඉස්කෝලෙ යනව බලන්න එයැයි ආසවෙං ඉන්නැති. මට ලස්සනට නටාගන්න පුලුවං වුණාට මොකෝ, ඉලක්කං එක්ක හරඹ බෑ. ඉතිං මං ගණං ෆේල්. හිතේ හිටපු පාට පාට සාරි ඇඳං උකුල නටව නටව කජු වත්ත මැද්දෙං ඉස්කෝලෙ යන ටීචර්ව මරල දාන්න අම්මටයි මටයි දෙන්නටම සිද්ද වුණා.
දෙනෝදාහක් මැද්දෙ මට හරි අසරණකමක් දැනුන. ඔලුව හරවල වටපිට බලන්න බැරිකමක් දැනුන. මාව ගල්වෙලා තිබුණෙ. මූනෙ උලං ඉන්න උන්නු පාට හින්දා ඒ මංමයි කියල වටේ පිටේ මිනිස්සුංට හොයාගන්න බැරිවේවා කියල හිතුවිල්ලක්, පැතුමක් විතරයි මගෙ හිතේ තිබ්බෙ. ඒ වුණාට ළඟ හිටං උන්නු කොල්ල සැලකිල්ලෙං මූණ දිහා බලනව මං ඇස් කොණිං දැක්ක.
අම්ම, චුට්ටි මේක දැක්කොත්.... සමන්ත අයියා මේක දැක්කොත්....මට දමල ගහල ගෙදර නවතින්න හිතුන. ඒත් එතකොට තුං වේලම දැං බඩ පිරෙන්න කන, සැනසිල්ලෙං ඉන්න අම්මට, චුට්ටිට සල්ලි දෙන්නෙ...? ඔහෙ ඕනෙ එකක්. තව අවුරුදු තුනක් හතරක් මේක කරල සමන්ත අය්යට ත්‍රීවීල් කටුවක් අරන් දෙන්න සල්ලි හොයාගන්නව මං. ඊටපස්සෙ ආදායමක් තියෙනවනෙ, සමන්ත අයියව බැඳගෙන සැනසිල්ලෙ ඉන්නව එදාට.
මං කන් දෙක වටේ පිටේ සද්ද වලින් ඈතට අරං ජනේලෙං එලිය බලාගත්ත.
ප.ලි.: කිසිවෙකුට, කිසිඳු වෘත්තියකට ගැරහීම පිණිස නොවේ. නම්, ගම්, සිදුවීම් සියල්ල මනඃකල්පිතයි.
///ඕං මමත් සල්ලිකාර කෙල්ලක් වුණානං දමල ගහල යන්න තිබ්බ. ඒත්.....////
ReplyDeleteසල්ලි වලටම අපිව යට වෙන්න ගත්තේ කවදා කොයි කාලේ ඉඳල මොන හේතුවක් නිසාද මන්දා...
සල්ලි මත්තෙ ලෝකෙ හැමදේම තීරණේ වෙන්න ගත්තු දා ඉඳන් චතූ....
Deleteඅපි එහෙම වුණා නෙමෙයි, අපිට එහෙම වෙන්න සිද්ධ වුණා.
ලස්සනයි, සංවේදීයි, යථාර්තය
ReplyDeleteකාලීන දෙයක් නිර්මාණාත්මකව.
ස්තූතියි ඉයන්. අපිට නොපෙනෙන කතන්දර කොච්චර ඇතිද නේද.
Deleteබුදු අම්මෝ භයානක වැඩ......සැබෑව සහ කල්පිතය අතර ගනුදෙනුව......
ReplyDeleteකතාව කල්පිතයක් වුණාට මේ වස්තු බීජය කල්පිතයක් නෙවෙයි රසික. ජීවිතේ අපිට නොපෙනෙන භයංකාර පැතිත් තියනව, තාම අපි නොදැකපු
Deleteනංගි ඔය කුරුනෑගල තියෙන්නෙ දකුනු පලාතෙ ද? මං එහෙම කියන්නෙ අර එයැයි, මෙයැයි, එයතුයි, මෙයුයි කියන්නෙ දකුනෙ නෙ.
ReplyDeleteකුරුනෑගලනම් (මොකෑ) වගේ වචන ලියන්න ඕනෙ. හැක හැක..
කොහොම උනත් කතාව ලස්සනයි. තවත් පිරිසක ට අපහාස කිරීමක් නෙවෙයි. මේක ඔවුන්ගේ සැබෑ තත්ත්වය යම්තාක් නිරාවරනය කිරීමක් කියලයි මට හිතෙන්නෙ.
ඒක වුණේ මෙහෙමයි කසුන් අයියෙ. කුරුණෑගල වුණාට මං දැං අවුරුදු 4ක් තිස්සෙ මාතර. බාසාව බෝ වෙලා. මෙහෙ මාතර යාලුවන්ට විහිලුවට ඔයැයි, කෑවයි, ඔයාතුයි මෙයාතුයි,සියාතුයි කිය කිය ඉඳල පුරුද්දට ගිහින්.
Deleteඅපි කියන්නෙ හෑ... කොයි..? මොකෑ? කීවා/ ලීවා/ඊවා කියලනෙ.
මේ වගේ කතන්දර අපි අතරෙ නෑ කියන්නෙ කොහොමද නේද...
කුරුණෑගල රියල් ඩැල්.....හැක් හැක්...
Deleteඉතාම සාර්ථක ලියවිල්ලක්!!!!
ReplyDeleteකවුරුත් කතා නොකරන එක් සමාජ තීරුවක් දිහා යථාර්තවාදීව සහ සංයමයෙන් ලියපු ලියවිල්ලක්. සමාජය දිහා අවධියෙන් බලන් ඉන්න අයට තමයි මේ අහුමුලු අතපත ගාන්න පුලුවන්. නැත්නම් ඉතින් එකම වර්ගයේ අඳෝනා තමයි බොහෝ අය ලියන්නේ.
/////කොළඹ අහස කලුම කලු පාටිං මූණ රොබ්බගෙන උන්නෙ. හරියට එයැයිගෙ වද වේදනා සේරෝටමත් මං වග කියන්න ඕනෙ ගාණට. හත්වලාමෙ පහුගිය ටිකේම මාරාවේස වෙච්ච ගාණට මහපොළොවෙ පතුලෙ තිබ්බ අන්තිම වතුර බිංදුවත් කෑදරකමට හූර හූර බීවෙ... ,හරියට කාටවත් අයිති නොවිච්ච,ඒත් හැමෝටම අයිති වෙච්ච ගෑණියෙකුගෙ ඇඟට ගොඩවෙච්ච නාකියෙක් ගාණට. දැං ඉතිං වැහි බර උහුලගන්ට බැරිකොට අපිට පුප්පන්නෙ. කොයිවෙලේ බිම හලාගන්නද කියල බලං ඉන්නෙ. අපි තමයි පලි/////////
මෙන්න මේ කොටස කතාවට හොඳ ප්‍රවිශ්ඨයක්. තදින් දැණුනා.
ස්තූතියි අරුණ අයියෙ. දවස් 3ක් ගං වතුරට කොළඹට කොටුවෙලා ඉඳල ඊයෙ ගෙදර එන්න බස් එකට නැග්ග. බස් එකේ මෙහෙම ෂෝ එකක් පෙන්නනව. මට හුඟක් හිතිල තියෙනව මේක දාල තියෙද්දි ඒ බස් එකට ඒ නටන ගෑණු ළමයෙක් නැග්ගොතිං මොකක් වෙයිද කියල. ඒ අතරෙදි පංචිකාවත්තට හැරෙන හන්දියෙදි යකඩ අස්සය වැස්සට තෙමෙනව දැක්ක. ෆෝන් එක අතට අරන් බස් එකේ එනකල් කොට කොට ආවෙ හිතුනු සේරම කතන්දර ටික. සාර්ථක විදියට ඔබට දැනුනනම් මගෙ මහන්සිය සාර්ථකයි. ස්තූතියි.
Deleteකුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තර තුමා උගන්ඩාවෙ යනකොට අර බඩ ඉඟුරු, කථාව වගේ එකක් ප්ලේන් එකේ ටී වී එකේ ගියා වගේ තියෙයි.
Deleteඅනේ ඒකනං තේරුනෙ නෑ ඉයන්
Delete/ඉඟුරු, කථාව වගේ එකක් ප්ලේන් එකේ ටී වී එකේ ගියා වගේ තියෙයි./
DeleteDidn't get this part
හොඳ නිර්මාණයක් ලේ.පා.හී.මුල ඉඳන් අගටම කුතුහලය දනවනවා.
ReplyDeleteස්තූතියි හැලප..... හිතට වැඩිය වද නොදී නිරායාසයෙන්ම හිතුනු සිතුවිල්ලක්. ඒ නිසා වෙන්නැති හොඳ...හැක්
Deleteනියමයි හීන ,මේ වචන වලින් හිත පහුරු ගාන විදිහට මං ගොඩාරියක් කැමතියි .
ReplyDeleteමීට කලින් මෙහෙම ගෑණු ළමයෙක් ගැන ලියපු කවියක් නම් කියවලා තිබුණා . ඒත් මෙතරම් හදවත පසාරු කරගෙන යන විදිහට ඒ ගැන ලියවුණු කතාවක් කියෙව්වේ අද තමයි.
මං කන් දෙක වටේ පිටේ සද්ද වලින් ඈතට අරං ජනේලෙං එලිය බලාගත්ත.
සුුපිරියි හීන ....
ස්තූතියි මෙතූ. ලින්ක් එකක් තියෙනවනං එවන්නකො. ඔයාලගෙ කොමෙන්ටු නිසා තමයි මට ආයෙ ලියන්න ආසවක් එන්නෙ. ස්තූතියි
Deleteහරිම අපූරුයි ලේපාට හින.. මේ වගේ කතා තියන කීදෙනෙක් අපි අතරෙම අපි නොදැන ඉන්නවා ඇද්ද???
ReplyDeleteමට මතක් උනේ මේ මාතෘකාවට සම්බන්ධ කවියක්..
අනිවා නිර්මාණි. අපි හදිස්සියෙන් අපේ ලෝකෙ දඩිබිඩියෙ දුවද්දි, මේම කතන්දර, ජීවිත කියිතරං මඟ ඇරෙනව ඇතිද...
Deleteමෙතුත් කිව්ව කවියක කතාවක්,
සමාජ විවරණයක් වගේ...
ReplyDeleteම්ම්ම්.. මන්දා ලලිත්. මට ඒ ෂෝ දැක්කම මේක හිතිල තියෙනව. ඒක නිසයි ලියවුණෙ.
Deleteහරිම ඉහලයි... ඔවුන් ගැන ගැස්මක් අපේ හදේ ඇතිකරන්න තරම් ලියවිල්ල සමත් උනා.ඒ කියන්නෙ සාර්ථකයි නෙ.ඔහෙත් කුරුණෑගල ඉඳන් මාතර යනව කියන්නෙ බස් එකේ ශෝ දෙකක් වත් බලන්න චෑන්ස් එක වදිනවානෙ.. ඔය නටන නංගිලා,වැල් වල ඉන්න නංගිලා දකිනකොට 'සල්ලියක් කරන හරියක්' කියල අමුවට හිතෙන තරමටම එයාලගෙ ඉදිරිපත් කිරීම් අපිව අසරණ කරනවා...
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි ගස්. මාතර යන්නෙනං කෝච්චියෙ මං. ඇත්ත, ඔක්කොටෝමත් එහා මෙයාලගෙ ඇඳුම්... සල්ලි වලට කොච්චර දේවල් කරන්න පුලුවන්ද අයියෙ. සල්ලි වලට කොච්චර මනුස්සකං හඟන්න පුලුවන්ද, මිනිස්සුංව කොච්චර පරිවර්තනය කරන්න පුලුවන්ද.
Deleteකොමෙන්ටුවට ස්තූතියි
කදුලු බිදු ඉකිගසන හඩ මටම ඇහෙද්දී
ReplyDeleteමගේ හිත පිරුනු දුක හදවතම පෙලද්දි
අම්මෙ ඔබෙ සුදු මුහුන පෙනි පෙනි මැකෙද්දී
සිනාසෙමි මුලු ලොවට නෙක රැගුම් රග දිදී
.....Dananji(Anju)...
ධනංජි කාලෙකින් මේ පැත්තෙ ඇවිත්... කොයිතරං හේතු නිසා මිනිස්සුන්ට තමන්ගෙ ආත්මෙම පාවලා දෙන්න වෙනවද...
Deleteමගෙ අම්මත් කොයි වෙලෙත් කියන්නෙ පුතෙ හොද රස්සාවක් හොයාගනින් කියල. ටයි එක දාගෙන කරන රස්සාවල් තමයි අම්මල හිතන්නෙ. එත් මට හොදයි නම් පඩි හම්බෙනවනම් හොදම මිනිස්සු පිරිසක් අශ්‍රයට ඉන්නවනම් ලොකෙ මිනිස්සු මොනව කිව්වත් මට මොකො කියන විදිහට තමයි මම ඉන්නෙ. මොකද දන්නවද මෙහෙම කිව්වෙ? ඔයාගෙ කතාවෙ විදිහට ලෝකෙ මිනිස්සු අපි වගෙ මිනිස්සුන්ගෙ රෙන්ට් එක ෆොන් බිල් එක බස් වියදම ගෙවනවනෙ. දෙමව්පියො බලාගන්නවනෙ. ලෙඩ දුක සොයාබලනවනෙ?
ReplyDeleteමේ පැත්තට වෙල්කම් වේවා ටිලාන්. තරහ ගන්න දෙයක් නෑ... මං කිසිම කෙනෙකුටවත්, කිසිම රස්සාවකටවත් අවමන් කරන්න උත්සහ කළා නෙමෙයි මෙතන. මං දකින, හිතෙන දෙයක් ලිව්ව විතරයි.
Deleteස්තූතියි ඔබේ අදහසට
ඔයැයි ලියනවා ලියවිල්ලක් කියවන්න ආසාවේ බෑ.... ඒක හරි හිතට දැනුන කතාවක්... මේ වගේ කතා ඕන තරම් නංගී ... සල්ලී කියන්නේ සුර පප්පගේ අරිෂ්ඨේ වගේ :)
ReplyDeleteඉත්තූතියි කිඹුලි අක්ක. සතුටේ බෑ ඔයාල වගේ ඔකු ඔකු අය ඕම කියද්දි.
Deleteසල්ලි අපේ ජීවිත කන්ට්‍රෝල් කරනව අක්කෙ. ඇත්ත කතාව ඒකයි
ලේ. පා. හීන.. සල්ලි වලට පාලනය කරන්න බැරි තැන් ආවම තමයි තෙරෙන්නෙ මේ යන විදිහ වැරද්යි කියල.. හරියට පහුගිය දවස් ටිකෙ ආව ඟං වතුර වගෙ...
Deleteමතක් වූ නිසා ලියා තබමි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියාගේ ලියමන
ReplyDeleteනෙළුම් කවි ලී කෙළි ඔලිද කෙළි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අළුත් අයිටම්ස් හදනවා
උත්සවත් දැන් වැඩි නිසා
ෂෝස් දිගටම තියෙනවා
නින්ද නෑ රට පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා
ඇගේ හැඩ නැති වෙයි කියා
කන්ඩ දෙන් නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවා
සින්දු විෂුවල් වලට ගියොතින්
දාහ ගානේ ලැබෙනවා
ඒක අමතර ඒ වුණත්
විළුඹ තුනටිය රිදෙනවා
අළුත් නැටුමක දුහුල් ඇදුමට
වශී වුණ පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට අහනවා
මං එපාමයි කියනවා
උත්සවේ දවසේ මගේ මට
අම්ම කී දේ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුත්තක් තියෙනවා
දවස් නවයක් ෂෝස් දිගටම
ඊයෙ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා
අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා
නිසරු අත්පොඩිවිසිල් ඝෝෂෘ
අතර පසුපස තැනක කෙළවර
නොළා ඇසිපිය බලා මා දෙස
අම්ම ඉන්නව පේනවා.
හිතට හුගත් තදින් වැදුණු කතාවක් . ඒ නිසාමයි මේක ආයෙමත් හැහමා්ටම කියවන්න ලියන්න හිතුණෙ. නොදැකපු කවුරු හරි ඉන්නවනම් කියවන්න.
අපේ අධ්‍යාපන ක්‍රමය ඉතාම ඉක්මනින් තියන පටු විදිහෙන් වෙනස් විය යුතුයි කියල හිතුන.. හැම කෙනෙක්ගෙම කුමන හෝ හැකියාවක් තියනවා ස්වාධිනව සධාරණව විඳවන්නෙ නැතුව ජිවිතෙ ගෙනියන්න.. එය සෙවිමයි අධ්‍යාපනයෙ මුලික අරමුණ විය යුත්තේ තරඟය නෙමෙ...
Deleteස්තූතියි කෑ ගහන හිත මේ කවියට පාර පෙන්නුවට. මගේ කතාවට වඩා හුඟක් හිතට දැනුන ඒක.
Delete