Tuesday 17 May 2016

අම්මා- සමෝසමේ ආදරේ දුන්නී...


වඳුරු පැටව් වාගේ එල්ලගෙන දෙපැත්තෙං
නංගියි මමයි,
ආදරේ දුන්නී,
සමෝසමේ ආදරේ දුන්නී...

යක් පැටව් වගේ පැටලි පැටලී
රණ්ඩු වෙද්දී අපි
"දෙන්නම කට වහපියව්කො"යි
සමථ කරන්නී...

ලෝකෙත් එක්ක තරහට
වචන විසි කරද්දී මං
"ඔව් ඉතිං මං තමයි පලි සේරෝටම" කියන්නී...

දුක් ටික විහිංම අරන් ඈ ළඟට
අපිට නොදැනෙන්ට ජීවිතේ තිත්ත,
අපිට නොපෙනෙන්ට ජීවිතේ බර
පසුපසට තල්ලු කර,ඇගේ සිරුරින් මුවා කර
හිනා මල් විතරක්ම පෙන්නන්නී...

තියා පිඟන් හතර පෝලිමට
පුරවා අපේ ටික රස මසවුලින්
අප්පච්චිට,මට,නංගිට
දෙපාරක් බෙදන්නට මදි නොවෙන හරි ගානට,
බත් ඇටයක් දෙකක් ඇගෙ පිඟානෙන් තියා
"මටනං බඩගිනිත් නෑ,නොකා ඉද්දි ඔයාල කෑ ගහන හින්ද කන්නෙ"යි කියන්නී....

දවසේ ඇගේ වැඩ කන්දරාව අහවර
අපේ රෙදිත් හොය හොයා හෝදන,
"අනේ අම්මෙ මේකත් මැදල දෙන්නකෝ" කීවම
මැසිවිල්ලක් නැතුවම
මේ සුමේ හරි හරියට කරන්නී...

හැමදාම 9 වෙන්ට කලිං
දුර බනු තිරය උඩ "AMMA CALLING"
ඇගේ රුව තියා, නිවා හිත
හෙලෝ කියන්නටත් කලින්
"මගෙ පුතා කෑවාද, අද මොනවද කෑවෙ
බඩ පිරෙන්න කෑවද"යි අහන්නී....

"පුතාට සල්ලි ඇතිද,
මට ඕකමයි කල්පනා වෙන්නෙ දැං"
"කවද්ද ඔයා එන්නෙ පුතේ"
කෙලවරක් නැති කතා මව මවා කියන්නී...

දවසම හරි හරියට
කෙල්ලක් වාගේම දුව පැන කලත් වැඩ
මැසිවිලි නොකියන්නී,
ඉඳහිට බාම් කුප්පියක් අරන් ළඟ ඉඳගෙන
"ටිකක් ගාන්නකො පුතේ, මගෙ මේ කකුල් කැක්කුම"යි කියන්නී....

නොකී කතා එමට.
ලියන්නේ කෝම ඔක්කොම මෙතැන..
මං අහන්නෙ,
ගැහැණියකට පුලුවන්ද මේ තරං
සවිමත් වෙන්න,
පරාර්ථකාමී වෙන්න...?
මං කියන්නෙ,
හැමෝටම බෑ දේවතාවියක් වෙන්න..
ඈට විතරයි පුලුවන්
ඈ ගැන නොහිතා බිංදුවක්වත්
අපි ගැනම හිතන්න...

වෙන වචන නෑ...
හරියන එකම වචනෙ,
" අම්මා"

හැමදාම නොකිව්වට මං
ඔයා දන්නව අම්මෙ,
මාත් ආදරේ විත්තිය.

බුදු සරණයි...
ලෙඩ දුක් නැතුව
හුඟක් කල් අපිත් එක්ක ජිවත් වෙන්න ලැබේවා.
සතුටින්ම හිත පිරෙන්නයි පැතුවෙ.
සුබම සුබ උපන් දිනයක් අම්මෙ.

 ලොකු පුතා

17 comments:

  1. Supiri subha pathumak.. mamath subha upan dinayak pathuwa kiyanna ayata.. e wagema oyath e wage ammek wenna hitha ganna kawada hari.. jaya!!!

    ReplyDelete
  2. නිදුක් නිරෝගි සුවය පතමි!!!!!

    ReplyDelete
  3. අම්මාට සුභ උපන්දිනයක් වේවා..!!
    ලඟ ඉන්නකම් නෙමෙයි ටිකක් දුරට ගියාම හොඳ පෙනෙන්න පටන් ගන්නෙ.ඒකයි අපේ අවුල..
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඇයයි අම්මා......සුභ උපන්දිනයක් අම්මේ....

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් අම්මා !දෙනෙත කඳුලින් බොඳ වුණා හීන .....මේ ලියලා තියෙන්නේ හරියටම අපේ අම්මා ගැන තොරතුරු වගේ . එකම වෙනස ඈ හවස හයට මට කතා කිරීම පමණමයි . විශිෂ්ටයි හීන .....

    ReplyDelete
  6. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල අපිත් ඔන්න ප්‍රාර්තනා කරනවා

    හිතට වදින කවියක්

    ReplyDelete
  7. අම්මලා එහෙමයි.

    සුබ උපන්දිනයක් අම්මට.

    ReplyDelete
  8. ඔයාගෙ අම්මට සුබ ම සුබ උපන් දිනයක්!
    තවත් දිගු කලක් යෙහෙන් වැජඹෙන්න වාසනාව ලැබේවා.

    ReplyDelete
  9. //////දුක් ටික විහිංම අරන් ඈ ළඟට
    අපිට නොදැනෙන්ට ජීවිතේ තිත්ත,
    අපිට නොපෙනෙන්ට ජීවිතේ බර
    පසුපසට තල්ලු කර,ඇගේ සිරුරින් මුවා කර
    හිනා මල් විතරක්ම පෙන්නන්නී...////


    ඒක ඇත්ත ..
    හැම අම්මා කෙනෙක්ම මෙහෙමයි..

    ඒක ඇත්ත ලේ.. අම්ම ඉස්සෙල්ලාම අහන්නේ කෑවද කියලා.. මාත් කෑවෙ නැතත් කියන්නේ කැව කියලා.. නැත්තන් ඕකම හිතනවා.. ඒත් අම්මා පස්සේ දැනගත්තා ඒක බොරුවක් කියන එක.. අම්මලා එහෙමයි..

    අම්මාට සුඹ උපන් දිනයක් වේවා.. නිරෝගි සැප වැඩි වේවා..

    ReplyDelete
  10. ගුණ කියා නිම කරන්නට බැරි, අම්මා.
    ඈ අප වෙනුවෙන් විදින දුක් කොපමණද ?
    ඇත්තෙන්ම අම්මෙක් නැති ජීවිතේ සිතාගන්නට බැරිය.
    අම්මේ, ඔබට දරුවන්ගේ ආදරය රැකවරනය ලැබෙන
    පින්බර උපන්දිනයක් වෙවා !!!

    ජයවේවා !!!

    ReplyDelete
  11. මවට නිදුක් නිරෝගී සුවය පතමි.ඇයට සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  12. ..සුභ උපන්දිනයක් අම්මේ...

    ReplyDelete
  13. ඇයට සුබ උපන් දිනයක් !!

    ReplyDelete
  14. ඉතා ම අවංක ලියැවිල්ලක් සෝයුරී.. අම්මා කෙනෙක්ගෙ ආදරය කියන්නෙ වචනයෙන් කියලා නිම කරන්න පුලුවන් දෙයක් නෙමේ.. හැමදාම එයා ගාවට වෙලා ඉන්න.විවාහක ව ගෙදරින් යන්න වුණොත් යන තැනකට එයාලවත් අරන් යන්න.. කවදාවත් තනි වෙන්න දෙන්නෙපා.ඒගොල්ලන්ගෙ ජීවිතය රඳා පවතින්නෙ ඔයාලගෙ ආදරය මත්තෙයි..

    ReplyDelete
  15. මේවා කවි නෙමෙයි.ආත්ම ප්‍රකාශන.ඇත්ත....අම්මා කෙනෙක්ට කවි ලියන්න අපිට බෑ.ඒ අපි තාම ගොබ්බයෝ නිසා.කවදහරි දවසක අම්මා කෙනෙක් වෙලා මේ කියලා තියන දේවල් තමන්ගේ ළමයින්ටත් කරලා නිදහසේ පාඩුවේ ඉන්න වෙලාවක අම්මගේ ආදරය ගැන කල්පනාකරලා කවියක් ලියන්න.අන්න එදාට සමහරවිට අම්මා ගැන කවියක් ලියන්න පුළුවන්වෙයි. ඒත් වැඩේ තියන්නේ නිදහස කියන දේ කවදා ලැබෙයිද කියන එකෙයි.මොකද අපේ අම්මලා අලිවගේ ළමයි හැදුවට තාමත් නිදහසගැන දන්නේ නැති නිසා.

    ReplyDelete
  16. මේ හැම සුබ පැතුමකටම හැම දෙනාටම ගොඩක් ස්තූතියි. මං අම්මට මේ ටික පෙන්නුව, එයාට හරිම සතුටුයි. මේ කොමෙන්ටු මට ලොකු හයියක්..

    ReplyDelete
  17. අම්ම කියන වචනෙම තියෙන්නෙ ඈ ගැන හොඳම නිර්වචනෙ. අපිට ට්වෙන හොඳ ඉලස්ට්‍රේෂන් නෑ... ඒ හැම වචනෙම තිබුණෙ අම්ම ගැන ආදරේ සහ මේ හැම කොමෙන්ටුවකම තියෙන්නෙ ඔබේ අම්ම ගැන ඔබෙ හිතේ තියෙන ආදරේ. මෙතැන කොමෙන්ටුව තියන්න කලින් හැමෝම තමංගෙ අම්ම මවාගෙන විත්තිය මට දැනුන. බ්ලොග් ලෝකෙ මගෙ සහෝදර සහෝදරියො හැමෝටම ස්තූතියි.

    ReplyDelete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...