Monday 13 June 2016

වැවට උඩින් කොක්කු ගියා





පොළොවත් පැලී ගිනියම් වූ  පෑවිල්ලේ
වියලී ඉපල් වුණු මාදං ඕවිල්ලේ
දහදිය ගත තෙමන සැඩ ඉර නෑවිල්ලේ
නෙළුඹල හොයයි අපෙ අම්මා තාවල්ලේ

ඉර පායා ඉර මුදුනට එන්න එපා
සැඩ හිරු රැසින් අපෙ අම්මා තවනු එපා
නෙළුඹල දෙන්න වැව නුඹ පැකිලෙන්න එපා
අප්පා නැති අපිට බඩගිනි වෙන්න එපා

දෙපත් කපා අක් වැහි පිට වැහි වැටුණා
සියපත් රතට වැව එක යායක් කෙරුණා
පන්සල ළඟ කඩේ මල් මිටි ගොඩ ගැහුණා
කහවනු හොයං අම්මා වැව වෙත ඇදුණා

වැව් දිය රළු වෙසින් රළ පිට රැළි නැගුණා
දිය බොර වුණත් අම්මා තව දුර ඇදුණා
බොර දිය රැළි අතර ඈ මංමුලා වුණා
අම්මා හංගගෙන වැව් දිය හිනාවුණා

නෙළුඹල හදා වැව් දිය මත මල් පිපුණේ
වැව හින්දමයි මෙතුවක් කල් කුස පිරුණේ
අම්මා උදුර ගත්තත් වී අපිට විනේ
වැව් දිය එක්ක හෙම නෑ අපි තරහ වුණේ

නුඹෙ අම්මා නුඹ දමලා කොතැන ගියා
මල් කඩලා නෙළුඹල ගලවන්න ගියා
වැව උතුරා අම්මා වැව ඇතුලෙ තියා
වැව හිනැහුණා වැවට උඩින් කොක්කු ගියා...

44 comments:

  1. නුඹ විදිනා අපමන මව් පෙම දැකලා
    උනු වී ගියා මගෙ හදවත දුක්වීලා
    මට නැති මවගේ පෙම ලැබගනු සිතලා
    කැදවගත්තා නුඹෙ මව මා වෙත යැදලා......
    .....මීට වැව.......

    ලස්සනයි ලේ. පා. හී. මට සින්දුවක් මතක් වුණා. නෙලුම් නෙලන්න ගිය පොඩි දුවෙක් වැවට බිලිවුණු සිදුවීමකට ලිව්ව සින්දුවක්. ඒත් ලිව්වේ කවුද කියන්නේ කවුද කියලා මතක නෑ.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නෙ දුමී ඔය සුදු නෙලුම කෝ සොරබොර වැවේ ගීතය... මං හුඟක්ම ආස ගීතයක්.
      මේ කියන විදියත් වෙන්න පුලුවන් නේ... හැබැයි තාත්තත් නැති දරුවො තනි කරල අම්මව ගත්තු එකනම් වැව කරපු අසාධාරණයක්

      Delete
    2. ගායනය: ඩබ්. ඩී. අමරදේව
      පද රචනය: රත්නශ්‍රී විජේසිංහ

      Delete
    3. ඉස්කෝතුයි කසුන් අයියා

      Delete
  2. ජන කවි ආරෙන් ලියවුණු ලස්සන කවි පෙළක්... අත්දැකීම නම් දුක්බරයි තමයි. ඒ දුක්ඛිත ගැමි ජීවිිතය ගැමි කවි මඟට අරන් තියෙන විදිය අපූරුයි.

    මෙතනදි වැව හිනැහුණා නොකියා වැවත් අම්මා ගැන දුක් වෙන බවක් එකතු වුණා නම් හොඳයි කියල හිතෙනවා පෞද්ගලිකව.. නමුත් වැව කියන්නෙ ධනවාදී ආර්ථික රටාව කියන අර්ථයෙන් ගත්තොත් නම් හිනැහුණා කියන එකේ වරදකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක මං ඉස්කෝලෙ 11 වසරෙ ඉද්දි ලියපු කවියක් තරු අක්කා. ඒ කියන්නෙ දැන් අවුරුදු 9කට විතර කලින්.බ්ලොග් එකේ පෝස්ට් කරද්දි විචිකිච්චාවකුත් තිබුන. මට උවමනා වුණෙත් ජනකවි ආරට කවියක් ගැටගහගන්න තමයි.

      වැව ගැන නොහිත ලියලද... අක්ක කිව්වමයි හිතුනෙ. මං හිතුවෙ වැව ගැන තරහ නොහිතපු පොඩි එකෙක්ගෙ හිතකින්. ඒ නිසා වැව අත ඇරෙන්නැති. බොහොම ස්තූතියි තරුරසී.

      Delete
    2. අද හිටියනන් 20 වසරෙ

      Delete
    3. කවිය ජනකවි ආරට ගොඩනැගුණු හරිම සාර්ථක උත්සාහයක්... වැව හිනැහුණා කියන එක ගැටලුවක් නෙවි. ඒත් ඒක මගෙ හිතට දැනුණෙ එහෙම නොවුණා නම් හොඳයි කියලයි. අම්මව හංගගෙන වැවට උණත් හිනාවෙන්න පුලුවන්ද වගේ අදහසක්...

      9 වසරෙදි මෙවැනි කවියක් ලියවුණා කියන්නෙ ඔයා සංවේදි, දක්ෂ කවිකාරියක් නංගි.. සුබ පැතුම් ඔයාට.

      Delete
    4. 9 නෙවෙයි 11 වසර නේද? කොහොම වුණත් ලස්සනයි හොඳේ.

      Delete
    5. @තරු අක්කා...
      ස්තූතියි අක්කා. ඔව්, 11 වසරෙදි. දක්ෂ නම් මන්දා, මං කවි ලියන්න බයයි අක්කෙ. මං විස්වාස කරන විදියට කවියකට ඒකටම අයිති වචන තියෙනව. ඒ වචන ඇරුණම වෙන වචන රීප්ලේස් වෙන්නෙ නෑ, උනොත් මං කියන තේරුම එන්නෑ. කවියෙකුට පුලුවන් වෙන්නෝනෙ හරිම වචනෙ හරි පරිස්සමට එතෙන්ට තෝරන්න. මෙ මං විශ්වාස කරන දේ. පට්ට පණ්ඩිත නොවී කවිය සරල වෙන්න ඕනෙ. හදවතටම දැනෙන්නත් ඕනෙ. මට ඒක කරගන්න බැරිවෙයි කියල මං බයයි අක්කෙ.

      @ ඉයන්
      ඒකනෙ. අපරාදෙ මඟ හැලුණෙ. දිගටම ගියානම් අද විස්සෙ. හැක්

      Delete
    6. බයවෙන්න එපා කවිකම ඔයා තුළ තියෙනවා. ඔයා කවිය තේරුම් අරන් තියෙනවා. කවියට තියෙන මේ ගෞරවය, ආදරය ඔයා හොඳ කිවිඳියක් කරාවි.. දිගටම ලියන්න.

      Delete
    7. Thank you very much sisy...Those words are like magic drink for me.

      Delete
  3. අපූරුයි ලේ......

    මීට සමාන සිද්ධියක් අහලා තිබුනා... ඒ කතාවේ නම් තාත්තා මියගියේ... වැවට බිළි වෙලා නෙවෙයි... කිබුලෙක් ඩැහැගෙන.... මට ඒ සිදුවීම මතක් උනා....

    ආයෙත් අගෙයි...

    ReplyDelete
    Replies
    1. පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ වගේ ගීත ඒම ගැයුනට, ගමේ ජීවිතේ රහයි, නිදහස් කිව්වට අපි හිතාමතාම අමතක කරන පැතිකඩක් ගැමි ජීවිතේ තියෙනව නේද නිර්මාණි. රහයි, නිදහස්...ඇත්ත, ඒත් තිත්ත පැත්තකුත් තියෙනව.

      Delete
  4. නුඹෙ අම්මා නුඹ දමලා කොතැන ගියා
    මල් කඩලා නෙළුඹල ගලවන්න ගියා
    වැව උතුරා අම්මා වැව ඇතුලෙ තියා
    හිත හඬවලා වැව මත්තෙන් කොක්කු ගියා...

    අපූරු නිර්මාණයක්...රුහිරු වන් සිහින.....:)

    ReplyDelete
    Replies
    1. රවි අයියා කාලෙකින්...
      හුඟක් අය වැව හිනැහුනා යෙදුමට කැමති නැති හැඩයි...පද ගැලපුමට ඉස්කෝතුයි බ්‍රෝ.
      රුහිරු වන් සිහින... හා හා හා... ඒකත් පට්ට.

      Delete
  5. වර්ථමාන දේශපාලනය සහ ලාංකීය සාමාන්‍ය ජනතාව.

    ReplyDelete
    Replies
    1. මොක...? හාකො හාකො. ළමය පාඩම් කරන වැඩ කෝමද දැන්...?

      Delete
    2. Why fencing...? Is this the answer when I asked about studies..?

      Delete
  6. ලස්සන පද ගැලපිල්ලක් ලේ........... ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ කුරුට්ටෝ... ජයවේවා.

      Delete
  7. බොහොම සංවේදී පද පෙලක්...නුවර කළාවියෙ ජන ජීවිතය පෙලන කටුකත්වයත් මේ පද අස්සෙන් මම දැක්කා. කාලෙකට කලින් සත්‍ය සිදුවීමක් පාදක කරගෙන රත්න ශ්‍රී ලිව්ව මේ ගීතයත් මගේ මතකයට ආවා. බලන්න සිංහල භාෂාව මොන තරම් පොහොසත්ද කියලා..මිනිස් භාවයන් කදිමෙට විස්තර කරන්න ඇති තරම් වචන තියෙනවා...එහෙම නේද...

    සුදු නෙළුම කෝ සොර බොර වැවේ
    මල් සුවඳ කෝ මහියංගනේ
    පුන් පෝයදා පාළොස්වකේ
    මල් නෙළා විකිණූ පන්සලේ

    වැවට කලුවර යා වුනා
    සංසාර දුක බෝ වුනා
    නෙළු මල් මිට ඉහිරුනා
    එහා ඉවුරට පාවුනා

    සුදු නෙළුම කෝ....

    සිහින් සිරිපොද වෑහුනා
    ඉවුරු දෙකොපුල සේදුනා
    සුදු නෙළුම් මල දෑස පියවී
    මෙහා ඉවුරට පාවුනා

    සුදු නෙළුම කෝ...


    ගායනය - W.D.අමරදේව
    සංගීතය - W.D.අමරදේව
    පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete
    Replies
    1. දුමීත් සඳහන් කරල තිබුණ මේ ගීතය ගැන. මෙතන ලිව්වට ස්තූතියි සිරා අයියෙ. හින්දි භාෂාව ලෝකෙ ගීතවත්ම භාෂාව කියනව වගේ, සිංහල භාෂාව වෙන්න ඕනෙ අර්ථවත්ම භාෂාව. (දැන් නෂ්ට වෙන භාෂා අතරෙ තිබ්බට ). මේ තරං ලස්සන යෙදුම්, පරිපූර්ණ හඬවල් (සියලු හඬ වලට අකුරු තියෙනව අපිට, කිහිපයට ඇරෙන්න ) තියෙද්දි අපි අපේ භාෂාව බැහැර කරන්නෙ, ඉංග්‍රීසියට තැන දෙන්නෙ.,දරුවො ඉන්ටර්නැෂනල් යවන්නෙ...පස්සෙ උන්ට සිංහල රචනයක්වත් අමුණගන්න බෑ.

      Delete
  8. සිරාවටම අම්මට කෝල් එකක් දෙන්ට හිතුන. (දවස ගානෙම අම්මට තාත්තට කෝල් කරනව ට අමතරව තව එක්ස්ට්‍රා කෝල් එකක්) 😍

    ReplyDelete
    Replies
    1. දෙන්න දෙන්න. අන්න මේකෙන් හොඳ වැඩක් වුණා. අම්ම ඔයාව මතක් කර කර ඉන්නව ඇති. කතා කරන්න ටිලාන්, අම්ම කොච්චර සතුටු වෙයිද ඔයාගෙ කටහඬ ඇහුනම.

      Delete
    2. Are you writing a blog Tilan? If yes, plz mention the link.

      Delete
  9. බොහොම සංවේදි පද ගැලපුමලක්. ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියෙ....

      Delete
  10. හරිම අපූරු පද ගැලපුමක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැස්සේ....

      Delete
  11. තව කී කාලයක් මේවා අපිට ලියන්න දකින්න අහන්න වෙයි ද දන්නේ නැ..

    ReplyDelete
    Replies
    1. රජය දැහැමි වෙලා, හැම දෙනාටම එක වගේ නැතත් ප්‍රමාණවත් තරමට ජීවන තත්වෙ උඩට ඇවිත් කේතුමතී පුරයක් ඇතිවෙන දවස වෙනකල් මේව අහන්න වෙනව චතූ...hikz

      Delete
  12. හරිම සංවේදී කවි පන්තියක්.
    මුහුදු යන ධීවරයෝ සමහරවිට මුහුදටම බිලි වුනත් ඒ කවුරුවත් මුහුද එක්ක තරහා වෙන්නේ නැහැනේ.ඉතින් අම්මා හංගගත්තා කියලා වැව එක්කත් තරහා වෙන්න බැහැනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් අයියා...
      අම්ම අප්ප දෙන්නම නැති දරුවන්ටත් දැන් බඩගෝස්තරේ හොයල දෙන්නෙ වැවමයි.. ඉතිං තරහ වෙලා කෝමද.

      Delete
  13. හිතට වැදුණා . කවි ලියන්න බෑ බෑ කීවට මේ තියෙන්නේ කවි! ඒ මෙහෙම ලිව්වා නම් දැන් කොහොම ලියයිද? සුපිරියි හීන !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතූ කෙල්ල.

      Delete
  14. පැටියා කාලෙ ලිව්වත් හරි අගේට පද ගැලපලා නම් තියෙනවා.. අර අන්තිම පදේ ගැන ඉහත අදහස් වලට එකඟයි. මෙන්න ගස්ලබ්බා ගැටයා කාලෙ ලියපු එකක්..
    http://gaslabba.blogspot.com/2015/03/blog-post_13.html
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කියෙව්ව ගස් ලබ්බගෙ කවිය. යස අගේට ලියල තියෙන්නෙ. ස්තූතියි අයියෙ

      Delete
  15. මේක කතාවකට හරවලා දුන්න නම් මම කියවනවා.. කවි තේරෙන්නේ නැහැ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. අපෝ මොකක්ද යසිත්... මේක ඒ තරං මහප්‍රාණ තියෙන කවියක්වැයි..

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...